ජීවිතය අලුත් වන මොහොත
මඟ හැර නොයන්න
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
අලුත් ජීවිතයක් ගැන ඔබ ඕනෑතරම් හිතලා ඇති. පරණ විදිහ වෙනස් කර ගෙන අපි අලුත් වෙන්න
ඕනෑ කියලා හිතවත් අයත් එක්ක කතාවෙලත් ඇති. අඳින පලඳින විදිහ, විලාසිතා, කාමරය තියෙන
පිළිවෙළ පවා වෙනස් කරලා ඇති අලුත් වෙන්න හිතාගෙන.
නමුත් බොහෝ දෙනකුගේ ජීවිතේ නම් තාම පරණ ඇති. ඉතින් අද මේ ලිපිය ඔබට අලුත් වීම
පිණිසයි. ජීවිතයක් ලස්සන වෙන්නේ අලුත් වීමෙන් ම යි. දවසක් දවසක් ගානේ, මොහොතක්
මොහොතක් ගානේ ටික ටික හෝ අලුත් වෙන ජීවිතයක් ම ගොඩනඟාගන්න මහන්සි වෙන්න. එබඳු
ජීවිතය සුන්දරයි.
ඔව්! කාමරයක් වුණත් අපි අලුතින් අස් කරද්දී වැඩකට නැති කොළකෑළි, වෙනත් රොඩු ආදිය
ඉවත් කරනවා. කුණු කූඩයට දැමිය යුතු දේ කුණු කූඩෙට දැමීමෙන් ම සෑහෙන කොටසක් පිළිවෙළ
කර ගන්න පුළුවන්.
අන්න ඒ විදිහමයි, ඔබ ජීවිතේ හැඩි කරගෙන තියෙන්නේ එක එක අමනාපකම්වලින් නම්, ඒවත්
තියාගෙන කොහොමද ජීවිතේ අලුත් කර ගන්නේ. ඒ නිසා අමනාපකම් පරණ වෙවී පල්වුණා ඇති. අපි
ඒවා ඉවත් කරමු. අලුත් වෙමු.
මට බැන්නා. මට වංචා කළා. මට චපල වුණා. මාව රැවැට්ටුවා. මගේ ජීවිතේ වටිනා කාලයක්
අපතේ යැව්වා. මට හින්ට් ගැහුවා ආදී වශයෙන් පරණ වෙවී, පල් වෙවී තියෙන අදහස්වලට ඔබ තව
තවත් වෙහෙසවන්න දෙන්න එපා!
සමාව දීමෙන්, ඉවසීමෙන්, මෛත්‍රිය පැතිරවීමෙන්, ඒ අය කරගත්ත දේ ඒ අයටයි, කියලා
උපේක්ෂාවට පත්වීමෙන් පරණ අමනාපකම් ඔක්කොම ජීවිතෙන් අයින් කරන්න. පළිගැනීම, එකට එක
කිරීම, රිදවීම, රිටන් එකක් දීම, වරදිනකල් බලාගෙන ඉඳීම වගේ හීන, ආසාවන් හිතේ තියා
ගන්න එපා.
‘මට අමනාපකම් ගැන හිත හිතා අපතේ දාන්න කාලයක් නෑ. මට අලුත් වෙමින් ගොඩනඟාගත යුතු
ජීවිතයක් තියෙනවා. මම ඒ කටයුත්ත කරන්න ඕනි’ කියලා පරණ අමනාපකම් උපේක්ෂාවෙන්
අතහරින්න. හිත සැහැල්ලු කර ගන්න. ඔබ පරණ නොවී අලුත් වෙන්න.
අලුත් ජීවිතයකට ආසා කෙනෙක්, පරණ අඩුපාඩු නම් ඉවත් කර ගන්න ම ඕනි. පරණ අඩුපාඩු එහෙම
ම තබා ගෙන ජීවිතයක් අලුත් කර ගන්නෙ කොහොමද?
ඒ නිසා බුද්ධිමත් ව තේරුම් ගන්න. දිනයකට, වේලාවකට, නැකතකට ඔබේ ජීවිතය අලුත් කර
දෙන්න බෑ. ඔබ යම් මොහොතක පරණ වැරැදි හදාගන්න ඕනි කියලා හිතට ගන්නවා ද, අන්න ඒ මොහොත
තමයි ඔබේ ජීවිතයේ අලුත් වෙන මොහොත.
අනික් උදවිය ප්‍රාණඝාත, සොරකම්, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය ආදී නොයෙක් අඩුපාඩු
කරමින් ඉඳීවි. ඒක මගේ ප්‍රශ්නයක් නොවෙයි. මම නම් ඒ වැරැදි කරන්නේ නෑ කියලා හිතක්
උපදවන්න. බොරු, කේළාම්, හිස් වචන, පරුෂ වචන, නින්දා, ගැරහිලි, අපහාසවලින් සතුටු වෙන
පිරිසක් මැද මම නම් වචනය රැක ගෙන ඉන්නවා’ කියලා හිතක් උපදවන්න.
ලෝභකම්, මසුරුකම්, ක්‍රෝධය, අමනාපකම් හිතේ පුරවාගත් අය ඉන්නවා. නමුත් මම නම්
මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී උතුම් සිතිවිලිවලින් හිත පුරවා ගන්නවා කියලා
හිතක් උපදවන්න. ඔව්! පරණ වෙවී, පල් වෙන පිරිසක් මැද්දේ දුර්වලතා, අඩුපාඩු, පව්,
අකුසල් අයින් කර ගෙන ඔබ පරණ නොවී අලුත් වෙන්න.
බොහෝ දෙනකුගේ හිතවත්කම් කල් යන කොට පරණ වෙනවා. අන්තිමට ඇති කර ගත්ත හිතවත්කම්
ජීවිතයට මහා වධයක් වෙලා. මේකට හේතුව නුවණින් තොරව හිතවත්කම් පැවැත්වීමයි. ඔබ හොඳ
හිතවත්කම්, ඉවසිලිවන්ත හිතවත්කම්, අවංක හිතවත්කම්, මිත්‍රශීලී හිතවත්කම්, ඔබ ව
තේරුම්ගත්ත හිතවත්කම් පතන කෙනෙක් නම් ඔබ තව ම පරණයි!
අලුත් වෙන්න මේ විදිහට. ඔබේ හිතවත් අයට ඔබ පුළුවන් තරම් හොඳ හිතවතෙක් වෙන්න. ඔබ
ගොඩාක් ඉවසීමෙන් හිතවතුන් එක්ක කටයුතු කරන කෙනෙක් වෙන්න. ඔබේ හිතවත් අයට ඔබ අවංක
හිතවතෙක් වෙන්න. ඒ අය පිනට, කුසලයට, යහපතට, ධර්මයට යොමු කරන, ඒ අයව පවෙන්,
අකුසලයෙන්, අයහපතෙන්, අධර්මයෙන් බේරා ගැනීමට කටයුතු කරන මිත්‍රශීලී හිතවතෙක් වෙන්න.
ඔබ හිතවතුන් තේරුම් ගෙන ඒ අයට පහසුවක් වෙන විදිහේ හිතවතෙක් වෙන්න.
කෝටි අටසියයක් වගේ මහා ජනකායක් මේ ලෝකයේ ජීවත් වුණාට අපිට අපේ ජීවිත කාලෙම ඇසුරට
ලැබෙන්නේ කොතරම් පොඩි පිරිසක් ද? ඒ පිරිස පවා ඇසුරු කරන්න අපිට ලැබිලා තියෙන්නේ
කොයිතරම් පොඩි ජීවිත කාලයක් ද. ඒ නිසා හොඳ නුවණින් යුක්ත ව හිතවත්කම් පරණ වෙන්න
නොදී ඔබ අලුත් වෙන්න.
ඔබේ ජීවිතය තුළ මේ වෙද්දී උපදවාගත් යම් ගුණවත්කම් තිබෙනවා නම් මොනම හේතුවක් නිසාවත්
ඒ ගුණදම් දශමයක්වත් වැනසෙන්න දෙන්න එපා! ගුණධර්ම කියන්නේ ඔබේ ජීවිතේ ඔබට තිබෙන
වටිනාම දේ කියලා තේරුම් ගන්න. වටිනාදේක වටිනාකම තේරුම් නොගත්තොත් ඒක සැහැල්ලුවට
ගන්නවා. අවසානයේ ඒ වටිනා දේ වටිනාකම බාල වෙලා යනවා.
එනිසා ඔබේ ගුණදම් වටිනාකම තේරුම් අරගෙන අවධානයෙන් යුක්තව රැක ගත්තොත් ඔබේ ගුණදම්
පරණ වෙන්න නොදී ටිකෙන් ටික නමුත් අලුත් කර ගන්න පුළුවන් වේවි. නොතිබුණු ගුණදම්
උපදවා ගන්නත්, තිබෙන ගුණදම් රැකගෙන දියුණු කර ගන්නත්, ගොඩාක් උපකාර වෙනවා පසුවිපරම.
පසුවිපරම කියන්නේ කරපු, කියපු, හිතපු දේ පිළිබඳ ව තමන් තමන් ගැන ම අවධානයකින්
විපරම් කර බැලීමයි.
මේක දිනපතා ඔබ කරන්න පටන් ගන්න. සෑම දිනයක් ම අවසන් කරන්න පෙර තමන් දවස ගත කරපු
ආකාරය ගැන යම්කිසි නිදහස් විපරමක් කරන්න. ඒක බොහොම විවෘත අවංක විපරමක් වෙන්න ඕන. මම
මොන වගේ දේ කරමින් ද අද කාලය ගෙවා දැම්මේ? උදේ සිට මේ දක්වා මොන වගේ දේ ද මම කතා
කළේ? මට අද දවසේ තිබුණු අදහස්, ආකල්ප, සිතුම් පැතුම් මොනවද? කියා. තමන් ගැන යම්කිසි
විපරමක් දිනපතා ම කරන්න.
එවිට ඔබට පෙනෙන්නට ගනීවි ඔබේ අඩුපාඩු. ඒ දේ ජීවිතෙන් ඉවත් කරන්න හිතට ගන්න. ඔබට
පෙනෙන්න ගනීවි මේ දක්වා නොතිබුණු අඩුවක් අද දවසේ මගේ ජීවිතේට එකතු වෙලානේ කියලා. ඒක
දුටු වහා ම ඉවත් කරන්න. ඔබට පෙනේවි ඔබේ මෛත්‍රිය. ඒ ගැන සතුටු වෙන්න. තව තවත්
වැඩිදියුණු කර ගත් මෛත්‍රියකින් ජීවත් වෙන්න හිතට ගන්න. ඒ වගේ ලස්සන ගුණදම්, ඔබේ
සීලය, ඔබේ මනුස්සකම් ඔබට පෙනෙද්දී ඔබ සතුටු වෙන්න. තව තවත් ඒ දේ වැඩිදියුණු කර
ගැනීමට හිතට ගන්න.
ඔබට ම සිතේවි මේ මේ වගේ ගුණධර්ම හදාගන්නත් තිබ්බා නම් තව හොඳයි කියලා. ඒ උදෙසාත් ඔබ
මහන්සි වෙන්න. මතක තියාගන්න ගුණධර්මයක් දියුණු කර ගන්න ඕනි කියලා ඔබ සිතන සිතිවිල්ල
පවා ඔබට මහා යහපතක්.
ඉතින් ගුණධර්මවලට පරණ වෙන්න දෙන්න එපා! ටිකෙන් ටික හෝ පුළුවන් තරම් ඒ ගුණදම් දියුණු
කර ගෙන ඔබ අලුත් වෙන්න. මේ වටිනා කරුණු සිත්හි දරාගෙන අපිත් පරණ නොවී අලුත් වෙමු.
|