[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හෙළ සංස්කෘතියට අභිමානය ගෙන දුන්නේ උතුම් දළදා වහන්සේ යි

හෙළ සංස්කෘතියට අභිමානය ගෙන දුන්නේ උතුම් දළදා වහන්සේ යි

දීර්ඝ කාලයකට පසුව ලෝ වැසි බෞද්ධ ජනතාවට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්තම වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දැක බලා වන්දනා මාන කිරීමේ පුණ්‍යවන්ත මොහොත උදා වීමට තිබෙන්නේ තවත් දින කීපයක් පමණයි. ස්වාමීන් වහන්ස, ඒ දුර්ලභ භාග්‍යය පැහැදිලි කරමින් ම මේ සාකච්ඡාවට එළඹෙමු

මේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ම තමන්ගේ ජීවිතවලට ලැබුණු දුර්ලභ අවස්ථාවක්. පින් පුරවා ගැනීමේ භාග්‍යයක් ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුදු සිරුරේ වැඩ සිටි ධාතුන් වහන්සේ කොටස් තුනකට බෙදා වෙන් වුණා. ඒ අනුව, රන්වන් පාටින් බබළන මුං පියළි ප්‍රමාණයේ ධාතුන් වහන්සේ නැලි 05කුත්, කඩ සහල් ප්‍රමාණයෙන් යුතු ධාතූන් වහන්සේ නැලි 05කුත්, අබ ඇට ප්‍රමාණයෙන් යුත් ධාතුන් වහන්සේ නැලි 06කුත් ලෙස නැලි 16ක් සම්බුදු සිරුරේ වැඩ සිටියා.

මගධ නැළි 02ක් ද්‍රෝණයක් වන අතර, ද්‍රෝණ 08ක් ධාතූන් වහන්සේ බුදු සිරුරේ වැඩ සිටියා. ඒ අතර කැඩී බිඳී විසිරී නොයා සප්තමහා ධාතූන් වහන්සේ ලෙස ධාතූන් වහන්සේ හත්නමක් බුදු සිරුරේ ඉතිරි වූවා.

තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු බුදු සිරුරේ කැඩී බිඳී විසිරී නො ගිය විශාලතම ධාතුන් වහන්සේ ශ්‍රී නළල් තලයේ පිහිටි ලළාට ධාතූන් වහන්සේ යි. ශ්‍රී ශරීරයේ උරහිසේ සිට දෙඅත් දක්වා දෙපසට විහිදෙන අකු ධාතූන් වහන්සේ දෙනමත්, මුඛ පද්මයේ වැඩ සිටි සතර දළදා වහන්සේත් සප්තමහා ධාතුන් වහන්සේ කියා හඳුන්වන්නේ. ඒ ධාතුන් වහන්සේ හත් නම අතරින් සෙංකඩගලපුරවරයේ වැඩ සිටින්නේ උත්තම වාම ශ්‍රී දළදා වහන්සේ යි.

දළදා හාමුදුරුවෝ ලක් ධරණී තලයට වැඩම කළ මොහොතේ සිට බැඳුණු චාරිත්‍ර විධික්‍රම හා සංස්කෘතින් අප රට තුළ ආරම්භ වූවා. මිහිඳු මාහිමියන්ගේ ආගමනය සමඟ ලාංකේය සමාජය, සංස්කෘතිය බුදු දහම සමඟ මුසු වූවා. ඒ අනුව ලාංකීය ජන සමාජය තුළ විශේෂ වූ පූජා වස්තු දෙකක් ලංකාවේ චාරිත්‍ර විධික්‍රම මුල් බැස ගන්නට හේතු වූවා. එදා සිට අද දක්වා ම පූජා විධි, සංස්කෘතික අංග, ලක්වැසියන්ගේ හදවත්වලට කාවාදී තිබෙනවා.

ස්වාමීන් වහන්ස, දළදා වහන්සේ හා බැඳුණු ශ්‍රේෂ්ඨ වටිනාකම් ලාංකීය සමාජයට ගැළපුණේ මොන ආකාරයෙන් ද?

සෙංකඩගල වැඩ සිටින උත්තම දළදා වහන්සේ සහ අනුරාධපුරයේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවෝ යන මේ පූජනීය වස්තු දෙකම ලංකාවේ වෙන ම ම සංස්කෘතියක්, වෙන ම සම්ප්‍රදායයක් ඇති කරන්නට පුදුමාකාර ලෙස බලපෑමක් කළා.

දඹදිව් තලයේ වැඩ සිටි දළදා වහන්සේ කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේ ලංකාදීපයට වැඩම කරවනු ලැබුවා. එදා සිට හෙළ සංස්කෘතිය තුළ ඉතා ම විශිෂ්ට, පූජනීය, උත්කෘෂ්ඨ ලෙස රාජ්‍යත්වයේ සංකේතය ලෙස දළදා හාමුදුරුවෝ පත් වුණා. එය ලංකාවේ බෞද්ධ සංස්කෘතියක් නිර්මාණය වීමට දායක වූ හැරවුම් ලක්ෂය යි. මේ රටේ යම් කෙනෙක් ළඟ දළදා වහන්සේ වැඩ සිටී ද ඔහු මේ රටේ පාලකයා වීමට සුදුසුයි කියා පිළිගත්තා. ඒ අදහස, සංස්කෘතිය රට තුළ මුල්බැස ගත්තා. මෙසේ දළදා වහන්සේ සතු අයකුට රාජ්‍යත්වය හිමි වෙනවා කියන සංස්කෘතිය ජන සමාජය තුළ ව්‍යාප්ත වීමත් සමඟ දළදා වහන්සේ ආරක්ෂා කිරීම, දළදා වහන්සේට පුද සත්කාර කිරීම, ආදී ලෙස දළදා වහන්සේ හා සැබැඳි චාරිත්‍ර විධි රැසක් ඇතිවුණා. දළදා වහන්සේ උදෙසා සුවිශේෂ බෞද්ධ සම්ප්‍රදායයන් නිර්මාණය වුණා.

යමෙක් විසින් දළදා හාමුදුරුවන්ගේ භාරකාරත්වය ගනු ලබන්නේ ද, ඔහු රජකමට, රටේ පාලනයට, සුදුසුයි කියන සම්ප්‍රදාය මේ රටේ අනාදිමත් කාලයක සිට පැවත එනවා. මේ රටේ යමෙක් රාජ්‍යත්වයට පත්වෙනවා ද? ඔහු බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ශ්‍රී සද්ධර්මය සරණ ගිය, ආර්ය මහා සංඝරත්නය සරණ ගිය, දළදා හාමුදුරුවන් දිවි දෙවැනි කොට ආරක්ෂා කරන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් විය යුතුයි, කියන සම්ප්‍රදායය රට තුළ ස්ථාවර වුණා. එනිසා මෙරට පාලකයෙක් බිහි වෙනවා ද? ඔහු අනිවාර්යයෙන් ම බෞද්ධයෙක් විය යුතුයි කියන සම්ප්‍රදාය මුල් බැස ගත්තා.

අනුරාධපුර රාජධානියේ සිට ලක්දිව විවිධ රාජධානි හා බැඳුණු සංස්කෘතිකාංග නිර්මාණය වීමට බලපෑවේ දළදා හාමුදුරුවන්ගේ හිමිකාරීත්වය ද?

යම් කෙනකුට දළදා වහන්සේ හිමි නම් ඔහු රාජ්‍යත්වයට සුදුසුයි කියන දේ සමඟ මෙරට අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටේ, මහනුවර රාජධානි බිහිවුණා. රටේ අගනගරය මාරු වෙනවාත් සමඟ ම ඒ ප්‍රදේශවල රාජමාලිගාව අසල ම දළදා මාලිගාව ද ඉදි වූවා. එය ගෘහ නිර්මාණ ශිල්පය වර්ධනයට ද රුකුලක් වූවා. එය සංස්කෘතියේ නවමු මාවතක්. යම්කිසි තැනක දළදා වහන්සේ වැඩ සිටියා නම් ඒ තැන වෙන ම පුද පූජා චාරිත්‍ර විදි ආරම්භ වූවා වගේ ම ඒ තුළ බෞද්ධාංග ඓතිහාසික ව තවත් පෝෂණය වුණා.

සෙංකඩගල පුරවරය කී පමණින් බොදු හදවත්හි සුපහන් හැඟුම් ඇති කරන්නට තරම් දළදා වහන්සේ බෞද්ධ ආකල්පයන්ට ඇති කළ බලපෑම කෙබඳු ද?

දළදා වහන්සේ හෙළ කලාවට කෙතරම් විශිෂ්ට දායකත්වයක් දුන්නා ද කියනවා නම් අඛණ්ඩ ව ලෝකයේ සංස්කෘතික උත්සවයක් පවත්වා තිබෙනවා නම් ඒ අපගේ දළදා වහන්සේ විෂයෙහි පවත්වනු ලබන පෙරහර මංගල්‍යයයි. පෙරහර මංගල්‍යය සම්බන්ධ නැටුම්, ගැයුම්, වාද්‍ය භාණ්ඩ වගේම දළදා වහන්සේ විෂයයෙහි තිබෙන වෙනම සංස්කෘතීන් ලංකාවේ සංස්කෘතියට සාධනීය බලපෑමක් සිදු කළා. හෙළ කලාව නිර්මාණය වන්නේ දළදා වහන්සේ හා සැබැඳිවයි. ඒ හෙළ කලාවේ උත්කෘෂ්ඨතම අවස්ථාවක් වන වර්තමානයේ ලොවක් බලා සිටින, ලොවක් මවිත කරන ඇසළ පෙරහර මංගල්‍යය යි. ඒ අනුව හෙළ කලාව පෝෂණය කළ පෙරහර සංස්කෘතිය පටන් ගන්නේ දළදා වහන්සේ සමඟ යි.

අනුරාධපුරයෙන් පසු ව පොළොන්නරුව, දඹදෙණිය ආදී බෞද්ධ භික්ෂූන් වහන්සේ වැඩසිටින ස්ථාන, මහා විහාරීය සම්ප්‍රදාය ඇතිවීම ආරම්භ වන්නේත් දළදා වහන්සේ සමඟ යි.

දළදා හාමුදුරුවෝ කෝට්ටේ පුරවරයට වඩිද්දී කෝට්ටේ මහා විහාර භික්ෂූන් වහන්සේ වැඩ සිටිනවා. දළදා හාමුදුරුවෝ දඹදෙණියට වඩිනවිට මහවිහාරිය භික්ෂූන් වහන්සේ එතැන වැඩ සිටිනවා. භික්ෂූන් වහන්සේගේ ව්‍යක්ත, සාධනීය බව දළදා වහන්සේ නිසා සිදු වූවා.

වර්තමානය තුළ ද රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකන්නේ දළදා හාමුදුරුවෝ යි. මේ රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ තමන් බලයට පත් වූ විගස ම උතුම් වූ දළදා වහන්සේ වන්දනාමාන කර ගැනීමේ ආකල්පය අනිවාර්යය චාරිත්‍රයක් බවට පත්ව තිබෙනවා. අපගේ මවකට දරුවෙක් ලැබුණොත් ඒ දරුවා දළදා හාමුදුරුවන්ට පුජා කරන්න ඕන කියන ආකල්පය බොදු හදවත්වලට කා වැදුණා. එලෙස බෞද්ධ සංස්කෘතීන් විශාල ප්‍රමාණයක් දළදා හාමුදුරුවෝ සමඟ මිශ්‍ර ව පවතිනවා.

එනිසා දළදා හාමුදුරුවෝ කියන්නේ ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ම අධ්‍යාපනය, රාජ්‍ය තන්ත්‍රය, හෙළ කලාව, කෘෂිකර්මාන්තය, ආර්ථිකය කියන මේ සෑම දෙයකට ම බුදුදහම සම්මිශි‍්‍රත වූ ආකල්පයන්ගෙන් සාධනීය බලපෑමක් කළ උත්තම වස්තුවක් ලෙසයි අප හඳුනාගත යුත්තේ.

බක් පුර පසළොස්වක

 අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා 03.24 පුර පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා 05.53න් ගෙවේ.
12 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

First Quarterපුර අටවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]