අනුරපුරෙන් සෙංකඩගල නුවරට සිරි දළදා ගමන් මඟ
ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා කාලිංග දේශයේ සිට හේමමාලා කුමරිය සහ දන්ත කුමරු
දළදා සමිඳු වැඩමවාගෙන ලක්දිව නැඟෙනහිර දිශාවට අයත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ
‘ලංකාපට්ටනයට ගොඩබැස්සහ.
එදින රාත්‍රියෙහි ඒ අසල දේවාලයක ආගන්තුක බමුණකුගේ සත්කාර ලැබූහ. පසු දින හේමමාලා
කුමරිය සහ දන්ත කුමරු ඇතුළු නුවරට පැමිණෙන අවස්ථාවේ දී සඟවාගෙන ආ දළදා වහන්සේ
ප්‍රථම වරට තැන්පත් කළේ, මඩුකන්දේ බවට ඉතිහාසයේ තොරතුරු සඳහන් වේ. වංශකථාවන්හි එන
මණ්ඩපදීපය මඩුකන්ද වශයෙන් ද සැලකේ.
මේඝගිරි විහාරය
හේමමාලා කුමරිය හා දන්ත කුමරු රට අභ්‍යන්තරයට ගමන් අරඹා අනුරපුර සමීපයේ ඉසුරුමුණි
විහාරයට පැමිණි බවත්, ලක්දිව ප්‍රථම වරට දළදා වහන්සේ වඩා හිඳවූයේ මේඝගිරි විහාරය
නම් වූ ඉසුරුමුණියේ බවත් පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි.
ධම්මචක්කගේහය
සිරි දළදා වහන්සේ මේඝගිරි විහාරයට වැඩම වූ බව දැනගත් කිත්සිරිමෙවන් මහරජු මහත්
පී‍්‍රතියට පත්ව මේඝගිරි විහාරයට පැමිණ දළදා වහන්සේ හිසින් දරමින් පෙරහරින් අනුරපුර
ඇතුළු නුවරට වැඩමවා රජ මැඳුරෙහි අලංකාර ව සැරසූ සිහසුනෙහි දළදා වහන්සේ තැන්පත් කළේ
ය. ඉන් අනතුරුව නන්දන නම් මහ උයනේ දේවානම්පියතිස්ස රජු විසින් ගොඩනැංවූ
‘ධම්මචක්කගේහයෙහි’ දළදා වහන්සේ තැන්පත් කළ බව වංශ කථාවන්ගෙන් හෙළි වේ.
පොලොන්නරුව
දළදා වහන්සේ වැඩ සිටි දෙවැනි ප්‍රධාන රාජධානියයි. අටදාගෙය, වටදාගෙය, හැටදාගෙය ලෙස
දළදා මළුවෙහි තරමක් උසට නැඟුණු බිමක ප්‍රධාන දළදා මැඳුරු තුනක නටබුන් අදත් දක්නට
ලැබේ. ඉන් පැරණිතම දළදා මාලිගය වන්නේ අටදාගෙය යි.
දඹදෙණිය
දළදා හිමි වැඩ සිටි තෙවැනි රාජධානියයි. තුන්වැනි විජයබාහු රජතුමා විසින් තම රාජ්‍ය
උරුමය තහවුරු කරනු වස්, කුරිරු මාඝගෙන් ආරක්ෂාවට දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා
ධාතුන් කොත්මලේ පව්වෙහි වැඩ සිටි බව දැන දඹදෙණියට වැඩම කරවනු ලැබ තිබේ.
සතුරු සේනාවන්ගෙන් එල්ල විය හැකි උපද්‍රවවලින් ආරක්ෂාව පිණිස වඩාත් සුරක්ෂිත වූ
කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වතයෙහි දළදා මැඳුරක් තැනවීය.
මාලිගාගල
දෙවැනි පරාක්‍රමබාහු රජු රාජාභිෂේකයෙන් පසු දන්ත ධාතුන් වහන්සේ බෙලිගල පර්වතයෙන්
දඹදෙණි පුරවරයට වැඩමවීය. මාලිගාගල නම් පර්වතයෙහි දළදා මාලිගයක් තනවා එහි දළදා
වහන්සේ වඩා හිඳුවීය.
ශ්‍රී විජයසුන්දරාරාමය
විජයසුන්දරාරාම දළදා මාලිගාව මුලින් ම ඉදි කළේ දඹදෙණි රාජධානිය කර වූ තෙවැනි
විජයබාහු රජු ය. අනතුරුව ඔහුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජු මෙම ධාතු මන්දිරය
තෙමහල් ප්‍රාසාදයක් ව ඉදිකොට නවකම් කරවූ බව වංශකතා වේ දැක්වේ.
යාපහුව
පළමු වැනි බුවනෙකබාහු රජු යාපහුව රාජධානිය වඩාත් සුරක්ෂිත කොට සෞභාග්‍යවත් නගරයක්
බවට පත් කළේ ය. ඒ අසලින් විසිතුරු දළදා මාලිගාවක් කරවා දළදා වහන්සේ එහි වඩා හිඳුවා
පුද පූජා පැවැත්වීය. පොලොන්නරු රාජධානියෙන් පසු ගොඩනැඟුණු දළදා මාලිගා අතුරෙන්
වඩාත් විසිතුරු දළදා මාලිගාවක් ලෙස යාපහුව දළදා මාලිගාව සැලකේ.
කුරුණෑගල
දළදා වහන්සේ වැඩ සිටි පස්වැනි රාජධානිය කුරුණෑගල රාජධානිය යි.
සිවුවැනි පරාක්‍රමබාහු රජු බිතුසිතුවමින් මනහර වූ රන් තොරණින් යුතු තුන්මහල් දළදා
මාලිගාවක් කරවූ බව කියැවේ.
ගඟසිරිපුර
දළදා වහන්සේ වැඩ සිටි සයවැනි රාජධානිය යි. එනම් ගම්පොළ රාජධානිය යි. මෙහි දළදා
වහන්සේ තැන්පත් කර තිබිණි යැයි පැවසෙන්නේ නියම්ගම්පාය විහාරයේ ය. එහි අඩිතාලම අනුව
අනුරපුර යුගයට අයත් යැයි සැලකේ. සිවුවැනි විජයබාහු රජු ක්‍රි.ව. 1267 - 1270 අතර
කාලයේ දී මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ බව චූලවංශයේ සඳහන් ය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි හත්වැනි රාජධානිය යි. මෙම රාජධානිය ගොඩනැඟූ අලගක්කෝනාර
හෝ අනතුරුව රජ වූ රිදී සත්දහසකින් කරඬුවක් සාදා දළදා වහන්සේට පිදූ පස්වන බුවනෙකබාහු
රජු හෝ, ඉක්බිති ව රජ වූ වීරබාහු රජු හෝ එහි තැන වූ දළදා මාලිගයක් පිළිබඳ තොරතුරු
අනාවරණය නොවේ. එහෙත් කෝට්ටේ සයවැනි පරාක්‍රමබාහු රජු දවස විචිත්‍ර වූ රමණීය දළදා
මාලිගයක් කෝට්ටේ මාලිගාතැන්න ප්‍රදේශයේ ගොඩනඟා තිබූ බවට තොරතුරු හෙළි වේ.
දෙල්ගමුව රාජමහා විහාරය
දළදා වහන්සේ වැඩ සිටි අටවන රාජධානිය සීතාවක යි. ආරක්ෂිත පරිසරයක පිහිටි නිසා ම
කෝට්ටේ රාජධානියේ සිට සීතාවක රාජධානියට දළදා වහන්සේ වැඩම වූ අවස්ථාවෙහි මායාදුන්නේ
රජු විසින් ආරක්ෂාව සලසනු වස් සබරගමු විහාරය හෙවත් දෙල්ගමුව රාජමහා විහාරයේ දළදා
මාලිගයක් කරවා දළදා වහන්සේට පුද පූජා පැවැත්වීමට එහි වැඩ විසූ මහින්දාලංකාර මහ
තෙරුන් වහන්සේට පැවරීය.
දළදා වහන්සේගේ වැඩි ආරක්ෂාව උදෙසා තෙරුන් වහන්සේ මහා කුරහන් ගලක් තනවා එහි දළදා
වහන්සේ තැන්පත් කරවා විහාරයෙහි දහඅට රියන් සම්බුදු පිළිම වහන්සේ අසල වඩා හිඳුවා
තේවාවන් සිදු කළහ.
සෙංකඩගලපුර
පළමුවැනි විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1592 -1604) සිය රාජ්‍ය උරුමය තහවුරු කර
ගැනීම සඳහා සීතාවක කුරුවිට දෙල්ගමුව රාජමහා විහාරයෙහි වැඩ සිටි දළදා වහන්සේ
සෙංකඩගලපුරයට වැඩමවීය.
පළමු දළදා මාලිගාව පෘතුගීසීන් විසින් විනාශ කළ හෙයින් දෙවැනි රාජසිංහ රජු පැරැණි
දළදා මාලිගාව තිබූ ස්ථානයෙහි ම දෙවන දළදා මාලිගාවක් දෙමහල් කොට තැනවීය.
එම දළදා මාලිගය ද ලන්දේසීන් විසින් විනාශ කළ හෙයින් දෙවැනි රාජසිංහ රජුගේ පුත් දෙවන
විමලධර්මසූරිය රජු තෙවැනි දළදා මාලිගය තෙමහල් මාලිගාවක් ලෙස තැනවීය.
එම දළදා මාලිගය ඉපැරැණි වී විනාශයට ළං ව තිබූ හෙයින් විමලධර්මසූරිය රජුගේ පුත්
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු හතරවැනි මාලිගය දෙමහල් කොට ඉදි කළේ ය. අද අපට
දක්නට ලැබෙන්නේ එම පැරැණි දළදා මාලිගාව යි. මහනුවර රාජධානියේ සෙනරත් රජු සමයේ,
දෙවැනි රාජසිංහ රජු සමයේ දී හා දෙවැනි විමලධර්මසූරිය රජු සමයේ සෙංකඩගලපුරය,
මැදමහනුවර, දුම්බර පන්සිය රට සිට යළි සෙංකඩගල දළදා මාලිගාවට වැඩම වීම සිදු වී ඇත.
නරේන්ද්‍රසිංහ රජු දවස දළදා වහන්සේ සෙංකඩගලපුර, මැදමහනුවර, විහාරවත්ත, උඩදුම්බර,
පිටිගොඩ තැන් හි වැඩ සිටි බව ද සඳහන් ය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ (1746 - 1779) දී සෙංකඩගලපුර, මැදදුම්බර සැතපෙන ගෙය,
මැද මහනුවර, කෙවුල්ගම ලෙන් විහාරය, උඩකුඹුරේ ගිනිකඳුර ගල්ලෙන, මැදවතුර ගල්ලෙන,
මීමුරේ, නාවලතැන්න, කුණ්ඩසාලේ ආදී තන්හි ද දළදා වහන්සේ වැඩ සිටියහ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ ( 1798 - 1815) සෙංකඩගලපුර, අරත්තන, හඟුරන්කෙත,
මැදවිටිය, මැදමහනුවර විහාරය, බඹරගල විහාරය, කොත්මලේ පුසුල්පිටිය, හිඳගල දඹුලු කැලය,
නිත්තවෙල රාජමහා විහාරයේ දළදා වහන්සේ වැඩ සිටි බව සඳහන් ය.
- දීපා පෙරේරා |