උත්තම මුනි දළදා උරුමයෙන්
ලක් මව පින්කෙත වූ දා
රාජකීය පණ්ඩිත දර්ශනපති
වැලිවිට සෝරත නා හිමි
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ
කොටස්වලට බෙදී ගිය අතර, ඊට අයිතිවාසිකම් කියන්නට බොහෝ දෙනෙක් අරගල කළ බව මහා
පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ.
කුඩා කැබලිවලට පත්වූ සර්වඥ ධාතූන් වහන්සේට අමතරව ශේෂ වූ ප්‍රධාන ධාතු කොටස් හතකි.
සතර දළදා වහන්සේ ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ හා ගි‍්‍රවා ධාතුන් වහන්සේ
යනු ඒවායි.
මහනුවර දළදා මාලිගයේ වැඩ සිටින වාම ශ්‍රී දන්තධාතූන් වහන්සේ දැවෙන චිතකයෙන් ඉවතට
වැඩමවා ගෙන ඛේම මහරහතන් වහන්සේ විසින් කාලිංග දේශයේ බ්‍රහ්මදත්ත නම් රජකුට බාරදුන්
අතර, ඔහු දැඩි මිථ්‍යා දෘෂ්ටිකයකු වුවත් දළදා ප්‍රාතිහාර්යයන් දැක විසිතුරු
මාලිගාවක තැන්පත් කොට පුද පූජා පැවැත්වීය.
කාලිංග දේශයේ පාලනය ගෙන ගිය රජවරු හත් දෙනෙක් ම දළදා වහන්සේ උදෙසා විවිධාකාර පුද
සත්කාර සිදු කළත්, ඉන්පසු ව පහළ වූ ගුහසීව රජු, දළදා වහන්සේ කෙරෙහි අප්‍රසාදයෙන්
කටයුතු කළ අතර, අමාත්‍යවරු හා ජනතාව ඒකරාශි වී දළදා වහන්සේ නගර මධ්‍යයේ අලංකාර
මණ්ඩපයක වඩාහිඳුවා විවිධාකාර පුද සත්කාර කළහ.
තමන්ගෙන් ඇතිවූ අතපසුවීම මඟහරවා ගැනීම සඳහා ගුහසීව රජතුමා නගර මධ්‍යයට ගොස් දළදා
වහන්සේ උදෙසා පුද පූජාවන් සිදු කොට දළදා වහන්සේ මාගේ හිසමුදුනේ පිහිටාවා යැයි
ප්‍රාර්ථනාවක් කළේ ය.
එකෙණෙහි ම දළදා වහන්සේ අහසට පැන නැඟී, රජුගේ හිස් මුදුනෙහි රැස් විහිදුවමින්
ප්‍රාතිහාර්යය පෑහ. එයින් අසීමිත ප්‍රමෝදයට පත් වූ ගුහසීව රජතුමා දළදා වහන්සේ තමාගේ
මාලිගාවට රැගෙන ගොස් එහි තැන්පත් කොට විවිධාකාර පුද පූජාවන් පැවැත්වීය.
දළදා වහන්සේ උදෙසා පවත්වන පුද පූජාවන් නොඉවසූ මිථ්‍යා දෘෂ්ටිකයෝ ඒ කාලයේ ප්‍රබල රජ
කෙනකු වූ පාණ්ඩව රජු වෙත ගොස් දළදා වහන්සේ පිළිබඳ වැරැදි මත ගොඩනඟමින් දළදා වහන්සේ
විනාශ කර දැමීම සඳහා රජු පෙළඹවූහ.
රජු වහාම ගුහසීව රජුට හා බෑනණුවන්ට දළදා වහන්සේ ගෙන එන ලෙස අණ කළේ ය. පාණ්ඩ්‍ය
දේශයට ගෙනයාමට පෙර එම අවස්ථාවේ දී ද දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑ බව මහාවංශයේ සඳහන්
වේ.
කරඬුවෙන් ඉවතට ගොස් ආකාශය තුළ රක්ත වර්ණ රශ්මි මාලා විහිදුවමින් සඳරැස්
විහිදුවන්නාක් මෙන් මුළු නගරය ම ඒකාලෝක කළ අතර, නැවත ගිනිකඳක් මෙන් දිලිසෙමින්
නොයෙක් ප්‍රාතිහාර්ය පෑහ. මේ අවස්ථාවේ ගුහසීව රජතුමාගේ බෑනණුවන් වූ දන්ත කුමාරයා
අතිශය සන්තෝෂයට පැමිණ දළදා වහන්සේට විවිධ පුද පූජාවන් පැවැත්වූ බව මහාවංශයේ සඳහන්
වේ.
ඉන්පසු දළදා වහන්සේ පාණ්ඩ්‍ය රජු වෙත ගෙන ගිය අතර මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ අදහස්වලට
නැඹුරු ව සිටි රජු එකෙණෙහි ම දළදා වහන්සේ ගිනි වළකට දමා පුලුස්සන්නට උත්සාහ දැරීය.
එසැණ දිලිසෙන අඟුරු වළෙන් පැන නැඟුණු දළදා වහන්සේ නෙළුම් කෙමියක් මත පිහිටා සුදු
බුදු රැස් විහිදුවමින් ප්‍රාතිහාර්ය පෑහ. මිථ්‍යා දෘෂ්ටිකයෝ මේ අවස්ථාවේ දී ද
වැරැදි මත ගොඩනඟමින් දළදා වහන්සේ විනාශ කර දමන්නට කරුණු ගෙනහැර දැක්වූහ.
මුලාවට පත් වී සිටි පාණ්ඩ්‍ය රජතුමා කිණිහිරයක් ගෙනවිත් දළදා වහන්සේ ඒ මත තබා කුළු
ගෙඩියකින් තළන්නට උත්සාහ දැරූ අවස්ථාවේ දී දළදා වහන්සේ කිණිහිර ඇතුළට කිඳා බැස
එළියට ගැනීමට නොහැකි ව සියලු දෙනා බලා සිටියහ.
කිණිහිරෙන් දළදා වහන්සේ මුදා ගන්නා කෙනකුට වටිනා වස්තූන් දෙන බව කියමින් අණබෙර
යවන්නේ, බොහෝ දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වූ අතර කිසිවකුටත් දළදා වහන්සේ ඉන් මුදා
ගැනීමට නොහැකි විය. ඒ අවස්ථාවේ සිල් සමාදන් වී, සීලය පුරමින්, දැහැමින් කටයුතු කළ
අනේපිඬු සිටුතුමාගේ හත්වැනි පරම්පරාවේ සිටි සුභද්‍ර නම් සිටුවරයා එම ස්ථානයට පැමිණ
සිදුකළ සත්‍යක්‍රියාවෙන් පසු ව දළදා වහන්සේ කිණිහිරෙන් මුදා ගත් බව සඳහන් වේ.
එම ක්‍රියාව ද මායාවකින් සිදු කළ කාර්යයක් බව මිථ්‍යා දාෂ්ටිකයන් විසින් පෙන්වා
දුන් අවස්ථාවේ පාණ්ඩ්‍ය රජු විසින් දළදා වහන්සේගේ තවත් ප්‍රාතිහාර්යයක් පෙන්වන ලෙස
සුභද්‍ර සිටුවරයාට නියෝග කළේ ය. එවිට සුභද්‍ර සිටුවරයා සුවඳ පැන් පිරවූ භාජනයකට
දළදා වහන්සේ වැඩම වූ අවස්ථාවේ හංසයකු දියෙහි පාවෙන්නා සේ සමාන ව දළදා වහන්සේ
ප්‍රාතිහාර්ය පාමින් සිටුවරයාගේ දෙඅත්ලෙහි කරකැවෙන්නට පටන් ගත් බව මහාවංශයේ සඳහන්
වේ.
මේ කිසිදු ආකාරයකින් සතුටු කරන්නට නොහැකි වූ මිථ්‍යා දෘෂ්ටිකයන් නගර මැද හාරන ලද
වළකට දළදා වහන්සේ දමා පස් පුරවා ඇතුන් ලවා පාගමින් හිර කරන්නට නියෝග කළ අවස්ථාවේ
වළෙන් පැනනැඟුණු දළදා වහන්සේ සත්රියන් පමණ උසට වැඩම කොට නෙළුමක් මත වැඩ සිටි
අවස්ථාවේ ඒ දෙස බලා සිටි සැදැහැවත්තු තම ආභරණ පවා ගලවා දමමින් දළදා වහන්සේට පුද
සත්කාර කරන්නට වූහ.
මේ ආකාරයෙන් විවිධ ප්‍රාතිහාර්යයන් පෑවත් පාණ්ඩ්‍ය රජු පැහැදීමට පත් නොවූ අතර දළදා
වහන්සේ තමන් සතු කර ගන්නට ගුහසීව රජු සමඟ යුද්ධයකට එළඹුණේ ය.
ගුහසීව රජු ද තමා යුද්ධයෙන් පරාජයට පත්වුවහොත් දළදා වහන්සේ සිංහල දේශයට වැඩමවා ගෙන
යන ලෙස තම බෑනණුවන් වූ දන්ත කුමරුට හා දියණිය වූ හේමමාලාවට නියෝග කර සිටියේ ය.
ගුහසීව රජු යුද්ධයෙන් පරාජය වන බව වටහා ගත් හේමමාලා හා දන්ත කුමරු යන දෙදෙනා
බ්‍රාහ්මණ වේශයක් ගෙන දළදා වහන්සේ ලක්දිවට වැඩමවාගෙන යෑමට කටයුතු කළහ.
දළදා හාමුදුරුවන් වහන්සේ ලක්දිවට වැඩමවාගෙන එන අවස්ථාවෙහි ගිමන් හැරීමේ අදහසින්
එක්තරා ගඟක් සමීපයෙහි නැවතී දළදා හාමුදුරුවන් වහන්සේ ගඟ ඉවුරෙහි වැලි දාගැබක
තැන්පත් කරමින් මඳක් විවේක ගත් බව සඳහන් වෙයි.
එම අවස්ථාවෙහි අහසින් වැඩම කළ මහ රහතන් වහන්සේ නමක් වැලි දාගැබෙහි සුදු බුදුරැස්
විහිදෙන අයුරු දැක එම ස්ථානයට වැඩම කරමින් වන්දනා කර, ඒ අසල ගිමන් හරිමින් සිටි
හේමමාලා සහ දන්ත කුමරු යන දෙදෙනාගේ තොරතුරු විචාරා ඇත.
ලක්දිවට යන ගමනේ දී යම්කිසි කරදරයක්, උවදුරක් සිදුවුවහොත් තමන් වහන්සේ සිහිපත් කරන
ලෙසට මතක් කිරීමෙන් අනතුරුව රහතන් වහන්සේ වැඩම කළ බව සඳහන් වෙයි. අනතුරුව නාග
ලෝකයෙන් පැමිණි පණ්ඩුහාර නාගරාජයා දළදා හාමුදුරුවන් වහන්සේ ගිලගෙන තමන්ගේ නාග භවනයට
රැගෙන ගිය බවත්, කරඬුව සහිත දළදා හාමුදුරුවන් වහන්සේ නොදුටු දන්ත කුමාරයා හා
හේමමාලා රහතන් වහන්සේගේ නම සිහිපත් කළ පසු උන්වහන්සේ නැවතත් නාග ලෝකයට වැඩම කර දළදා
කරඬුව වැඩමවාගෙන ඇවිත් නැවතත් දළදා වහන්සේ බාර කර ඇත.
දළදා හාමුදුරුවන් වහන්සේ ලක්දිව වැඩම කරන අවස්ථාවෙහි මහ මුහුදෙහි නැව් නැඟී ගමන්
කරන විට වටේ තිබෙන රළ පහර සියල්ලක් ම සංසිඳී ගිය බවත්, නැව වට කර ගෙන නාග ලෝකයෙහි
සිටි නාගයන් පිරිසක් හත් දිනක් තිස්සේ ම මල් පූජා කරමින්, ආරක්ෂා කරමින් ගමන් කළ
බවට තොරතුරු ලැබෙයි.
ඉන් අනතුරුව කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා දළදා වහන්සේ බාර ගැනීමෙන් පසු සුදු
බුදුරැස් විහිදුවමින් දළදා වහන්සේ පාන ලද ප්‍රාතිහාර්යය දැක සිංහාසන මස්තකයෙහි වඩා
හිඳුවා සුදුමල් පූජා කරමින් පුද පූජා සිදුකරන අවස්ථාවෙහිත් ප්‍රාතිහාර්යය පාමින්
රජතුමාගේ සිත්සතන් පහදවන්නට කටයුතු කර ඇත.
මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාවංශයේ 37 වැනි පරිච්ඡේදයේ හා දාඨා වංශයෙහි දක්නට
ලැබේ. ලක්දිවට වැඩම කරන තෙක් දළදා වහන්සේ පවත්වන ලද ප්‍රාතිහාර්යයන් ඉහතින් ගෙනහැර
දැක්වූ ආකාරයට ම පෙන්වා දිය හැකි ය.
- හේමමාලා රන්දුනු |