සුවාසූ දහසක්
ධර්මස්කන්ධයේ පහස ලද සතර දළදා වහන්සේ
සතර දළදාවන් ද නොවිසිරුණු ධාතු අතරට අයත් වේ. දළදා යනුවෙන් හඳුන්වන්නේ “රදනක” නම්
වූ දත් විශේෂය යි.
රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත්වලට “දාඨා” යනුවෙන් කියනු ලැබේ. මේ දත් සතර
අනෙක් දත්වලට වඩා මදක් උල් ය.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු
ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු හිඩැස් නොවීය. එසේම
දත් උස් නොවී, කෙටි නොවී, ඇල නොවී, සියලු දත් මුතු ඇට පෙළක් මෙන් සම ව පිහිටා
තිබුණි. දළදා සතර අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත විය.
සතර දළදාවන්ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට “දාඨා ප්‍රභා” යැයි කියනු ලැබේ.
සතර දළදාවන් හොඳින් දැක ගැනීමට ලැබෙන්නේ සර්වඥයන් වහන්සේ සිනා පහළ කරන අවස්ථාවන්හි
දී පමණි. මේ සතර දළදාවන් වැඩ සිටින තැන් බුද්ධවංස පාළියේ ධාතු පූජනීය කතාවේ මෙසේ
දැක්වේ.
“එකා දාඨා තිදසපුරේ -
එකා නාගපුරෙ අහු,
එකා ගන්ධාරවිසයෙ -
එකා කාලිංගරාජිනො”
මේ ගාථාව පාලි ධාතුවංශයේ ද දක්නට ඇත. මෙය මහා පරිනිර්වාණ සූත්‍රයේ දක්වා ඇත්තේ මෙසේ
ය.
“එකා හි දාඨා තිදිවෙහි පූජිතා
එකා පන ගන්ධාරපුරෙ මහීයති
කාලිංගරඤ්ඤො විජිතෙ පුනෙකං
එකං පුන නාගරාජා මහෙන්ති.”
මේ අනුව එක් දළදාවක් තව්තිසා දෙව්ලොවේ ද, එක් දළදාවක් නාග ලෝකයේ ද, එක් දළදාවක්
ගන්ධාර දේශයේ ද, එක් දළදාවක් කාලිංග දේශයේ ද වැඩ සිටිති.
තව්තිසාවේ වැඩ සිටින්නේ ද්‍රෝණ බමුණාගේ ජටාව තුළ සඟවා තිබියදී සක්දෙව් රජු ලබා ගත්
දකුණු දළදාවයි. මේ දකුණු දළදාව දකුණූ උඩු දළදාව ද එසේත් නැති නම් දකුණූ යටි දළදාව
දැ’යි කියා සඳහන් නොවේ. දළදාව ලබා ගත්තේ ධාතු බෙදන අවස්ථාවේ දී ය. මෙය රසවත්
කතාවකි. කතාව මෙසේයි.
ද්‍රෝණ බමුණා ධාතු බෙදීමට සූදානම් වී රන්දෙණ විවෘත කළේ ය. එකල්හි රජ දරුවෝ රන්දෙන
අසලට පැමිණ ඒ තුළ වැඩ සිටි අස්ථි ධාතුන් වහන්සේ දැක මහත් වූ දුකට පැමිණ “ස්වාමීනි
භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර අපි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබළන රන් කඳක්
වැනි ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය දුටුවෙමු. එහෙත් දැන් රන්වන් වූ ධාතුන් පමණක් ම ඉතිර
විය. ස්වාමීනි, මෙය ඔබ වහන්සේට තරම් නොවේ යැයි කියා බැගෑපත් ලෙසින් හඬා වැලපෙන්නට
පටන් ගත්හ.
මෙසේ හඬා වැලපෙන රජ දරුවන්ගේ ප්‍රමාදය දුටු ද්‍රෝණ බමුණා වහා සර්වඥ දකුණු දළදාව ගෙන
තම ජටාව තුළ සඟවා ගත්තේ ය. දෙව්ලොවට අධිපති සක්දෙව් රජු බුදුරදුන්ගේ දකුණු දළදාව
නොදැක
“සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරකු විසින් ගනු ලැබුවා ද?” යි කියා දිවැසින් බලන
කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුළ සඟවා ගෙන ඇති අයුරු දුටුවේ ය.
දැක “මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?” යි කියා
බලන කල්හි නොහැකි බව දැක “මොහුගෙන් ධාතූන් වහන්සේ ගනිමි” යි සිතා ඉතා සියුම් අතක්
මවා ඔහුට නොදැනෙන සේ දකුණු දළදාව ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙන
තව්තිසා දෙව්ලොවට ගොස් ධාතු කරඬුව සිළුමිණ මහා සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේ ය.
ද්‍රෝණ බමුණා ධාතු බෙදා හිස අතගා ධාතුන් වහන්සේ නැති බව දැක “හොරාට ගෙන ජටාවේ සඟවා
ගත් දළදාව කවුරුන් විසින් හැර ගත්තාදැ?” යි කියා ඇසීමට නොහැකි ව “මෙහි මටත් වඩා
හොරෙක් ධාතූන් වහන්සේ ගෙන ඇතැ”යි සිතා කිසිවක් නොදන්නා සේ නිහඬ ව සිට ධාතු බෙදා
අවසානයේ රජ දරුවන්ට දන්වා ධාතු බෙදූ රන් නැළිය ගත්තේ ය. ඒ හැර ඔහුට වෙන කිරීමට
කිසිවක් නොවීය. මේ කතා පුවත මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන් ම පාලි ධාතුවංශය,
සිංහල ථූපවංශය, පූජාවලිය යන ග්‍රන්ථයන්හි ද දක්නට ඇත.
මෙසේ සර්වඥයන් වහන්සේගේ එක් දකුණු දළදාවක් තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑය තුළ වැඩ
සිටිති. අනෙක් දකුණු දළදාව මුලින් වැඩ සිටියේ නාග ලෝකයේ ය. පසුව මේ දකුණු දළදාව
ලක්දිවට වැඩම කරවනු ලැබීය. මෙය සිදු වූයේ කෙසේද?
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නමැති නා රජු මහත් වූ දුකට
පත්ව “අවසාන වතාවටත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා කරන්නෙමි”යි සිතා මහත් වූ
නාගයින් පිරිවරා ගෙන කුසිනාරාවට පැමිණ මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැනට ගොස්
එකත්පසෙකින් සිටියේ ය.
ධාතු බෙදීමේ දී ද්‍රෝණ බමුණා එක් දකුණු දළදාවක් තම ජටාවේ සඟවා ගත්තේ ය. පසුව අනෙක්
දකුණු දළදාව බිම දමා පයින් වසා ගත්තේ ය. දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු
ජයසේන නා රජු දුටුවේ ය. දැක ඔහුට නොදැනෙන සේ ධාතූන් වහන්සේ ඍද්ධියෙන් ගෙන නාග භවනට
ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද
පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන්ගේ සිසුවකු වු මහින්ද නමැති තෙරණුවෝ
නාග භවනට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කළහ. ගිරිඅභය රජතුමා මහින්ද
තෙරුන් සතු ව පැවති ඒ දකුණු දළදාව නිදන් කර ස්තූපයක් කළේ ය. එය “සෝමවති මහා සෑය”
නම් වෙයි. මේ ස්තූපය ඉදිකරනු ලැබුවේ ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී ය.
සෝමවති මහා සෑයේ වැඩ සිටින දකුණූු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහාර්යයන් සිදුකරන ධාතූන්
වහන්සේ නමක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.
ගන්ධාර දේශයේ ද දළදා වහන්සේ නමක් වැඩ සිටිති. ගන්ධාරය බුද්ධ කාලීන භාරතයේ පැවති
සොළොස් මහා ජනපදවලින් එකකි. මෙහි සීමාවන් කෙතෙක් දුරට විහිදී තිබුණා දැ’යි නිශ්චිත
ව කිව නොහැකි වුවත් උතුරු පකිස්ථානයේ හා ඇෆ්ගනිස්ථානයේ විශාල ප්‍රදේශයක් පුරාණ
ගන්ධාර දේශයට අයත් ව තිබූ බව සැලකේ. බුද්ධ කාලයේ මේ දේශය පාලනය කළේ බිම්බිසාර මහ
රජුගේ මිතුරකු වූ දැහැමි පුක්කුසාති රජු ය. මහා කච්චාන මහ රහතන් වහන්සේ මෙරට ධර්ම
ප්‍රචාරක කටයුතු සිදු කළ අතර, බුදුරදුන් ජීවමාන සමයේ දී ම මෙරට බුදුසමය පැතිරී ගියේ
ය. ලෝක ප්‍රකට තක්සලා විශ්වවිද්‍යාලය පිහිටියේ ද මෙහි ය.
පාලි ධාතු වංශයේ සඳහන් ව ඇති ආකාරයට ගන්ධාර දේශයට වැඩම කරවනු ලැබුවේ බුදුරජාණන්
වහන්සේගේ වම් උඩු දළදාවයි. මේ දළදා වහන්සේ ගන්ධාර දේශයට වැඩම කරවනු ලැබුවේ කෙසේ ද?
ද්‍රෝණ බමුණා ධාතු බෙදීමේ දී එක් දකුණු දළදාවක් තම ජටාවේ සඟවා ගත්තේ ය. අනෙක් දකුණු
දළදාව බිම දමා පයින් වසා ගත්තේ ය. වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සඟවා ගත්තේ ය. ධාතු
බෙදන ද්‍රෝණ බමුණා බුදුරදුන්ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සඟවා ගත් අයුරු පෙර
බුදුවරුන්ගෙන් විවරණ ලද මහා පින් ඇති ගන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් දුටුවේ ය. දැක
කුසල් සිතින් යුතු ව ඒ දළදා වහන්සේ ගෙන ගන්ධාර වැසියන් ද සමඟින් තම රටට ගොස් චේතිය
නමැති වනයේ වම් උඩු දළදා වහන්සේ තැන්පත් කර පුද සත්කාර පැවැත්වීය.
ගන්ධාර දේශයේ චේතිය නමැති වනයේ බුදුරදුන්ගේ වම් උඩු දළදා වහන්සේ තැන්පත් කළ බව
සඳහන් ව තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් සඳහන් නොවේ. ගන්ධාර දේශයට වැඩම කරවූ දළදා
වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැ’යි නිශ්චිත ව කිව නොහැකි ය. මේ දළදා
වහන්සේ වැඩ සිටින ස්ථානය ගැන විවිධ මත දක්නට ඇත.
පාලි ධාතුවංශයේ සඳහන් ව ඇති ආකාරයට කාලිංග දේශයට වැඩම කරවනු ලැබුවේ බුදුරජාණන්
වහන්සේ ගේ යටි වම් දළදාවයි.
දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේගේ සිසුවකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිතකයේ
ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා
වහන්සේ භාර දුන්හ. මුලින් මිසදිටුවකු වූ මේ රජු මහ තෙරුන් නිසා බුදු සසුනෙහි පැහැදී
බුදුදහම වැලඳගෙන, මනහර මන්දිරයක් තනා, දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා
පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක පමණ කාලයක් කාලිංග දේශයේ රජදරුවන්ගේ මහා
සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ.
පසුව එරට පාලනය කළ ගුහසීව රජතුමා පරසතුරු උවදුරුවලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු
රිසියෙන් හේමමාලා කුමරියට සහ දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස්
දුන්නේ ය. හේමමාලා කුමරිය බැමිණියකගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුළ සඟවා
ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමඟින් නැව් නැඟී ලක්දිවට පැමිණියා ය. ඔවුන්
පැමිණෙන විට ලක්දිව රජකම් කළේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමා ය.
(ක්‍රි.ව. 301 - 328)
හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජු වෙත ගොස් දළදා වහන්සේ රජුට භාර
කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදා වහන්සේ තැන්පත් කර,
දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිඳුවා මහත් වු
පුද සත්කාර පැවැත්වීය.
එතැන් සිට සිංහල රජදරුවන්ගේ අප්‍රමාණ ගෞරවාදරයට හා වන්දනාවට පත් වූ දළදා වහන්සේ මේ
වන විට මහනුවර ශ්‍රී දළදා මැදුරේ අගනා කරඬු සතක් තුළ වැඩ සිටිති. දළදා වහන්සේ
නොයෙක් අවස්ථාවල දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්යයන් සිදු කර ඇත. මේ සියලු විස්තර
දාඨා වංශය, දළදා සිරිත යන ග්‍රන්ථ කියැවීමෙන් දත හැකි ය.
දළදා වහන්සේ සිව් නමක් වැඩ සිටියත් දැනට සියැසින් දැක බලා ගෙන වැඳ පුදා ගැනීමට හැකි
එකම දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මැදුරේ වැඩ සිටින සර්වඥයන් වහන්සේගේ යටි වම්
දළදා වහන්සේ යි. ලෝකවාසී කෝටි සංඛ්‍යාත බෞද්ධයෝ දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන්
වහන්සේ ලෙස සලකා වැඳුම් පිදුම් කරති.
“චත්තාළීස සමා දන්තා -
කෙසා ලොමා ච සබ්බසො
දෙවා හරිංසු එකෙකං -
චක්කවාළපරම්පරා”.
මහා පරිනිර්වාණ සූත්‍රය අවසානයේ ඇති මේ සතරපද ගාථාවට අනුව බුදුරදුන්ගේ සම සතළිස්
දන්ත ධාතු ද, කේශ ධාතු ද, ලෝම ධාතු ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවන් ගෙන ගොස් ඇත.
බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර දෙව්මිනිසුන් සහිත ලෝකයාට වැඳ පුදා ගෙන පින් සිදු කර
ගැනීමට මේ ධාතුන් ශේෂ වීමට අදිටන් කළ බව පාලි ධාතුවංශයේ සඳහන් වේ.
මෙහි සම සතළිස් දන්ත ධාතු යනු සතර දළදා හැර ඉතිරි දන්ත ධාතු තිස්හය නමයි. දන්ත ධාතු
තිස්හය නමක් යැයි සඳහන් නොකර සතළිසක් යැයි දක්වා ඇත්තේ ආසන්න සංඛ්‍යාව සැලකීමෙනි.
මෙසේ බුදුරදුන්ගේ දන්ත ධාතු ද, කේශ ධාතු ද, ලෝම ධාතු ද නොයෙක් සක්වළින් පැමිණි
දේවතාවන් ගෙන ගිය බව සඳහන් කර තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.
ඒත් හියුං සියං හිමියන් ඉන්දියාවේ හා ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක බුදුරදුන්ගේ
දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින බව තම දේශාටන වාර්තාවේ සඳහන් කර තිබේ.
එහි සඳහන් කර ඇති ආකාරයට ඇෆ්ගනිස්ථානයේ බාමියාන් දේශයේ එක් විහාරයක බුදුරදුන් ගේ
දන්ත ධාතුවක් හැරුණු විට පසේ බුදුවරයන් වහන්සේ නමකගේ දන්ත ධාතුවක් ද, සක්විති රජ
කෙනකුගේ දන්තයක් ද තැන්පත් කර තිබුණි. පසේ බුදුරදුන් ආදි කල්පික උතුමකු නිසා
උන්වහන්සේගේ දන්ත ධාතුව අඟල් 5ක් තරම් දිග ය. සක්විති රජුගේ දන්තය අඟල් 3ක් තරම්
දිග ය. ඇෆ්ගනිස්ථානයේ කපීෂ දේශයේ එක් විහාරයක සිදුහත් කුමරුගේ කිරිදතක් තැන්පත් කර
තිබුණි. මේ කිරිදතේ දිග අඟල් එකහමාරක් තරම් ය.
ෆාහියන් හිමියන් ඛල්ඡා දේශයේ වැඩ හිඳින දන්ත ධාතුවක් ගැනත් ඇෆ්ගනිස්ථානයේ නගරහාර
දේශය තුළ වැඩ හිඳින දන්ත ධාතුවක් ගැනත් තම වාර්තාවේ සඳහන් කර තිබේ. ඒත් එම දන්ත
ධාතුන් වහන්සේලා ඒ ඒ ප්‍රදේශවලට ලැබුණු ආකාරය ගැන විස්තර සඳහන් කර නැත.
මෙසේ ඉන්දියාවේත්, ඇෆ්ගනිස්ථානයේත් ප්‍රදේශ කිහිපයක දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින
බව සඳහන් කර තිබුණත් මේ වන විට එම දන්ත ධාතූන් වහන්සේ කුමන ස්ථානයන්හි වැඩ සිටිනවා
දැ’යි කිව නොහැකි ය.
- ගයාන් චානුක විදානපතිරණ |