[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ සසුන් දිවියේ 54 වැනි වසර සපුරති

සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ සසුන් දිවියේ 54 වැනි වසර සපුරති

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් මුල්කොට ගත් සම්බුද්ධ ශාසනයේ ජීවමාන රත්නය මහා සංඝරත්නයයි. බුදුරජාණන් වහන්සේගේ අපමණ ගුණකඳ තම තම නැණ පමණින් දැන අන් අයට බුදුරුවනේ, දම්රුවනේ ඇති අගය හා හරය පිළිබඳ සමාජය දැනුම්වත් කරවීමෙහි යෙදී සිටින්නේ ද, පෙරමුණ ගන්නේ ද, මහා සඟරුවන ම ය.

ගමින් ගමට, පෙදෙසින් පෙදෙසට, රටින් රටට වැඩමවා එහි වැදගත්කම පිළිබඳ අවබෝධයෙහි යෙදුණේ ද සඟරුවන ම වන්නේ ය. පණ්ඩිත සීදූවේ සුමනවංස නාහිමියෝ ද එවන් සඟරුවන සෝභාවත් කරන උතුම් යතිවරයෙකි.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන මැතිවරණ කොට්ඨාසයට අයත් සීදූව නම් ග්‍රාමවරයෙහි උන්වහන්සේගේ උපත සිදුවිය. විශ්‍රාමලත් පොලිස් නිලධාරි කේ.එන්. ජේ. රොවෙල් හා එම්.එස්. පෙරේරා යන දම්පතීන් දෙපල සුමනවංස නාහිමියන්ට මවුපියෝ වූහ. 1970 ඔක්තෝබර් 31 වැනි දින රද්දොළුව සුබෝධාරාම මහා විහාරය, අභිනවාරාමය යන උභය විහාරාධිපති ව වැඩ විසූ රද්දොළුවේ අරියවංශ මහා ස්වාමීන් වහන්සේගේ සහ එම විහාරද්වයෙහි විහාරාධිපති අමරපුර මහානිකායේ ශ්‍රී සුමංගල කාරක සභාවේ ප්‍රධාන කාරක සංඝසභික සම්මාන අනුනායක අපවත්වී වදාළ රද්දොළුවේ අමරවංස නායක ස්වාමීන් වහන්සේගේ ද ශිෂ්‍යයකු ලෙසින් සුබෝධාරාම මහා විහාරයේ දී උතුම් පැවිදි ප්‍රවෘජ්ජා භූමියට පත්වූහ. 1978 ජූලි මස 25 වැනි දින අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරස්ථ උදකුක්ඛේප බද්ධ සීමාවේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වුණි.

මූලික අධ්‍යාපනය පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාලයීය පිරිවෙනින් ද, උසස් අධ්‍යාපනය කොළඹ මරදානේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල මහ පිරිවෙනින් ද ලබා ගත්හ. අනතුරුව කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ඉංගී‍්‍රසි අධ්‍යාපන අයාතනයෙන් ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳව ද ජපන් හා ජර්මන් තානාපති කාර්යාල මඟින් ජපන් භාෂාව හා ජර්මන් භාෂාව පිළිබඳව ද යන භාෂාන්තර අධ්‍යාපනයක් ද ලබා, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සංගමය මඟින් පවත්වන ප්‍රාචීන පණ්ඩිත උපාධිය හා භාෂාත්‍රයෙන් ම ලබා ගන්නට සමත් වූ සුමනවංස නාහිමියෝ අනතුරුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්හ. තවදුරටත් ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයෙන් රජයේ පාසල් ගුරු පුහුණුූ විභාගය ද සමත් ව පාසල් අධ්‍යාපන සේවයට ඇතුළු වූහ. ප්‍රථමයෙන් 1987 වර්ෂයේ රද්දොළුව ප්‍රාථමික විද්‍යාලයට පත්වීම් ලැබූ උන්වහන්සේ 2003 වර්ෂයේ සිට රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් ද කටයුතු කරමින් ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයට ද විශාල සේවාවක් සිදු කර 2016 වසරේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ලැබූහ.

බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් සුමනවංස නාහිමිපාණන් වහන්සේගෙන් සිදුවන සේවාව අතිමහත් ය. සීදූව - රද්දොළුව අභිනවාරාම ස්වකීය විහාරස්ථානයේ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල කේන්ද්‍ර කර ගනිමින් දහම් පාසල් සේවාව අරඹන උන්වහන්සේ 1985 සැප්තැම්බර් 25 වැනි දින රද්දොළුව ජාතික නිවාස සංකීර්ණය ද කේන්ද්‍ර කොට ගනිමින් ශ්‍රී සුමංගල නමින් තවත් දහම් පාසලක් ආරම්භ කරන්නට යෙදුණි. මෙම දහම් පාසල් දෙක පදනම් කොට ගෙන සීදූව, රද්දොළුව , රද්දොළුගම ගම්වාසීන් පමණක් නොව මුළු ප්‍රදේශයේ ම බෞද්ධ දූ දරුවන්ගේ ධර්ම ඥානය මෙන් ම සදාචාර සම්පන්න ගුණ නුවණින් පොහොසත් දරු කැලක් බිහිකරන්නට නායකත්වය දෙමින් සිදුකරන සේවාව අගය කළ යුතු ම ය.

ඒ නිසාවෙන් ම 1990 වර්ෂයේ කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට ද උන්වහන්සේ නිතරගයෙන් පත්කර ගන්නට යෙදුණ අතර, අද දක්වා ම පුරා වසර 34ක් මුළුල්ලේ එම සේවා ඉටුකිරීම සුවිශේෂී ලක්ෂණයකි. උන්වහන්සේ ප්‍රධානාචාර්යත්වය උසුලන දහම් පාසල් දෙක තුළ හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය තුළ ඉතා කැපවීමෙන් හා වගකීමෙන් සංවිධාන සිදුකරන මහඟු සේවාව ඇගයීමට ලක්කරමින් ගම්පහ දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ද ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට 1996 වර්ෂයේ නිතරගයෙන් පත්කර ගන්නට යෙදුණා පමණක් නොව එම ප්‍රාදේශීය මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරය හොබවමින් දහම්පාසල් ක්ෂේත්‍රයට හා පොදුවේ ජාතික, ආගමික, සාමාජික සේවාවන්වල දී දිස්ත්‍රික්කය තුළ ම නියමු නායකත්වයක් ලබා දෙමින් අමිල සේවාවක් සිදුකරනු ලබයි.

කැපවීම හා ක්‍රියාශීලි බව නිසා ම 2004 වර්ෂයේ උන්වහන්සේ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ද නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරයෙන් හා විධායක සභාවේ සභික ධුරයකින් පිළිගැනීමට පාත්‍ර විය. ඒ උන්වහන්සේගේ සේවාව සමස්ත ලංකා දහම් පාසල් ක්ෂේත්‍රයට ම ලබා ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගත් නිසයි.

බුදුසසුනට, දහම්පාසල් අධ්‍යාපනයට මෙන් ම සමාජ සුබසාධනයට ද තම දිවිය කැප කර ඇති සුමනවංස නාහිමිපාණන් වහන්සේ අතින් සිදුවුණු සමාජ සත්කාරයන් පිළිබඳව ද යමක් සඳහන් කිරීම වැදගත් යැයි සිතමි.

1983 අගෝස්තු මස 10 වැනි දින රද්දොළුගම ඓතිහාසික බෝධීන් වහන්සේ අබියස රද්දොළුගම බෞද්ධ මහා සංගමයක් ආරම්භ කිරීම.

1984, ජනවාරි මස 20 වැනි දින රද්දොළුගම කනිටු විදුහලේ දී රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සමිතිය පිහිටුවීම, 1983 ජනවාරි 10 වැනි දින රද්දොළුව අභිනවාරාම විහාරස්ථ බෞද්ධ සමිතිය හා තරුණ බෞද්ධ කාන්තා සමිතිය පිහිටුවා වාර්ෂික විවිධ පින්කම්, උත්සව, ශ්‍රමදාන, ගංවතුර ආධාර, පාසල් සිසුන්ට පොත් බෙදා දීම, නොමිලයේ ඇස් කණ්ණාඩි ලබා දීම, රණවිරුවන් හා ආබාධිත අයට රෝද පුටු, කිහිලිකරු, අත්වාරු, කෘත්‍රිම කකුල් ලබා දීම. ජාතික ආරක්ෂක අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම, අසරණ පවුල් සඳහා නිවාස සාදා ගැනීම සඳහා ද්‍රව්‍ය හා ආධාර ලබා දීම, වියළි සලාක, රෙදිපිළි ලබාදීම, සෑම වසරක ම ලේ දන්දීම් පැවැත්වීය. වසර විසි හයක් පුරා ලේ දන්දීම් කඳවුරු පවත්වා ඇත.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් වෙනුවෙන් ගිලානෝපස්ථාන වැඩසටහනක් පැවැත්වීම, අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය බෙදාදීම ආදිය මේ සේවාවන්ට අයත් වේ.

ස්වකීය විහාරස්ථානය වන අභිනවාරාම විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් උන්වහන්සේගෙන් සිදුවන සේවාව වැදගත් ය.

සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ වාර්ෂික ව සිදුකරනු ලබන මහා පින්කම් ගණනාවකි. සෑම වර්ෂයක ම ශ්‍රී දළදා මාලිගාවේ සිදුකරන මුරුතැන් බුද්ධ පූජාව හා සියක් නමක් විෂයයෙහි පවත්වන මහා සාංඝික දානමය පින්කම, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නෙළුම් මල් හා කිරිආහාර බුද්ධ පූජාව පවත්වා උඩමළුවේ විහාරස්ථානයේ දී සඟසතු මහා දානමය පින්කම සිදුකිරීම, උන්වහන්සේ පැවිදි දිවියට පත්වූ දිනය අනුස්මරණය කරමින් ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ දී සිදුකරනු ලබන ආශීර්වාද පින්කම් ඉතා උසස් කොට සිදුකිරීම ඉහත දක්වන ලද පැවිදි භික්ෂු කෙනෙකු විසින් සිදුකළ යුතු පිළිවෙත් මනා ලෙස ඉටුකරලීමක් වන්නේ ම ය.

ජාතික, සාමාජික හා දහම් අධ්‍යාපනය උදෙසා ස්ව නිකාය වන අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ ශ්‍රී ධම්මානන්ද වංශාවතංශ සාසන ශෝභන විනයාචාර්ය ගෞරවනාම සහිත ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ කටාන කොට්ඨාසයට පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයට ම සම්පතක් බව විශේෂයෙන් සිහිපත් කළ යුතු ය. උන්වහන්සේට තවතවත් ශාසනික හා ජාතික සේවා ඉටු කරන්නට ශක්තිය, වාසනාව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා'යි ඉත සිතින් යුතු ව පතමි.

ඉල් අමාවක

 නොවැම්බර් 30 සෙනසුරාදා පූ.භා. 10.29 අමාවක ලබා දෙසැම්බර් 01 ඉරිදා
පූ.භා 11.50 ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]