[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බව දුක දුරු කිරීමේ ප්‍රතිපදාවට පිවිසෙමු

සියල්ල දුක් සහගත බව ඇසූ අප හිතවතකු දුක නැති කිරීමට ය කියා පැවිදි විය. ධර්ම දේශනාවක් මඟින් අසා දැනගත් පරිදි පැවිදිවීමෙන් දුක් නැති කළ හැකි යැ’යි දැනගත් ඔහු එම කියමනෙහි තේරුම නොවිමසා ම, එම ප්‍රකාශයෙහි වචනාර්ථය පරිදි, දුක නැති කිරීමේ අරමුණ ඇතිව පැවිදිවිය. ආරණ්‍යයෙහි ගතකළ කාලය තම ජීවිතයේ මුහුණ පෑ කටුක ම කාලය ලෙස හැඳින්වූ ඔහු, පසුව සිවුරු හැර දමා ගිහි බවට පත්වී, සැමට දෝෂාරෝපණය කළේය. පැවිදි වීමෙන් සිදුවන්නේ තිබෙන දුක වැඩිවීම බව ද ප්‍රකාශ කළ ඔහු බුදුදහමේ ඉගැන්වීම්වලට ද වෛර කරමින් සිටියමුත් කල්‍යාණ මිත්‍ර භික්ෂූන් වහන්සේ සහ ගිහි පිරිසකගේ කාරුණික මඟ පෙන්වීමෙන් සුගති මඟට පත්විය. ඉහත සඳහන් කර ඇත්තේ එක පුද්ගලයකු පිළිබඳ පමණි. ඔහු මෙන් ම, බොහෝ දෙනකුට ඇති වැරැදි වැටහීමක් වන්නේ පැවිදිවීම ම දුක් නැති කිරීම බවයි. බොහෝ ගිහි උපාසක පිරිස් පැවිදි දිවියෙහි සරල බවට කැමැති වෙති. භික්ෂූන් වහන්සේ නමකගේ සන්සුන් ඉරියව්, සරල දිවි පැවැත්ම දකින ඔවුනට ද පැවිදිවීමට කැමැත්තක් උපදී. නොයෙක් වගකීම්, කටයුතු බහුල තමන් මෙන් නොව උන්වහන්සේ කිසිදු දුකක් නොමැති ව වෙසෙති’යි සිතති. දුකක් නොමැති ව වාසය කිරීම සාමාන්‍ය අප තේරුම් ගන්නේ ‘සැප සේ විසීම ලෙසයි. ගිහි අප බලාපොරොත්තු වන සැපය වන්නේ අඩු මහන්සියකින්, ධනය වියදම් කිරීමකින් තොරව අපගේ පැවැත්මට අවශ්‍ය සියලු දෑ සහ අප ආශා කරන සියලු දෑ සපයා ගැනීමට හැකිවීමයි. නමුත් ධර්මයේ විස්තර කෙරෙන සැපය අනෙකකි. එනම් නො ඇලීමේ සැපය යි. භික්ෂූන් වහන්සේ නමකට සැපයක් ඇතැයි ඔබ සිතන්නේ නම්, එය නොඇලීමේ සැපය හෙවත් නිරාමිස සැපය මිස, ගිහි අප බලාපොරොත්තු වන “සියල්ල දෙපාමුලට ගෙනදීමේ සැපත” නොවේ. එම නිරාමිස සැපත හැරුණුකොට, උන්වහන්සේගේ ප්‍රතිපත්ති දුක් සහිත ය. එනම්, උන්වහන්සේ නිවන් අවබෝධ කර ගැනීම පිණිස පුරන පිළිවෙත දුෂ්කර ය. කටුක ය. උන්වහන්සේ දුෂ්කර වූ ශීල ප්‍රතිපත්ති ආරක්ෂා කරති. ගැඹුරු වූ දහම් කරුණු අවබෝධ කර ගැනීමට උත්සාහ කරති. සමථ විදර්ශනා භාවනා පුහුණු වෙමින් තණ්හාව ක්ෂය කිරීමට උත්සාහ කරති. එබැවින්, “පැවිදිවීම” යනු දුක නැති කර දැමීමේ ක්‍රමවේදයක් නොව, දුක නැති කිරීම පිණිස කළ යුතු පිළිවෙත් අනුගමනය පහසුවීම පිණිස තෝරාගන්නා ජීවන රටාවකි. නිවන් අවබෝධ කර ගැනීමට අදාළ පිළිවෙත් අනුගමනය සඳහා ගිහි හෝ පැවිදි හෝ බව ගැටලුවක් නොවන නමුත්, පැවිදි උතුමකුගේ ජීවන රටාවෙහි ඇති සරල බව නිසා ම, උන්වහන්සේට ප්‍රමාදයකින් තොරව ලබාගත් මෙම මනුෂ්‍ය ආත්මභාවයේ දී ම නිවන සාක්ෂාත් කළ හැකි ය.


ඉල් අමාවක

 නොවැම්බර් 30 සෙනසුරාදා පූ.භා. 10.29 අමාවක ලබා දෙසැම්බර් 01 ඉරිදා
පූ.භා 11.50 ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]