ඉල් අමාවක පෝ දා
2024-11-30 සොරාගත නොහැකි සතුට
දැවී තැවෙන සිත නිවා සනසාලන්නට මෛත්‍රී ගුණයට ඇති හැකියාව ප්‍රමාණය කළ නොහැකි ය.
මවක් තම දරුවා ප්‍රාණය හා සමකොට රැක ගනිමින්, ඒ දරුවා වෙත දක්වන අප්‍රමාණ මෙත් සිත
සේ සියලු සත්ත්වයන් වෙත මෛත්‍රිය පතුරුවන ලෙස ය, අපගේ තථාගතයන් වහන්සේ දේශනා කොට
වදාළේ.
බෞද්ධ ජනතාව උදේ සවස තෙරුවන් වන්දනා කොට එම ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකොට ස්වල්ප
මොහොතක් හෝ සියලු ලෝ සත වෙත මෙත් සිත පතුරුවන්නට අමතක නොකරති. කෙනෙක් යන එන ගමනේ
දී, එදිනෙදා ගෙදර දොර කටයුතුවල දී නින්දට යන මොහොතේ දී පවා මෙත් සිත වඩති. එය
බොදුනුවන්ගේ ස්වභාවය යි. ඒ තුළ හිමි වන භාග්‍යය නම් තමන්ට සේ ම අනුන්ට ද අර්ථයක් ම
සිදුවීම ය. එහෙයින් ඒ ගුණය පුරුදු පුහුණු කිරීම අගය කළ යුත්තකි.
මෙත් ගුණ පැතිරවීමේ දී එය වචනයට පමණක් සීමා කිරීම ඇතැම් අයගේ පුරුද්ද ය. ඒ පිළිබඳ
ඇති අනවබෝධය හෝ නොසැලකිල්ල නිසා හෝ විය හැකි ය. යම් කෙනෙක් "සියලු සත්වයෝ නිදුක්
වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා"යි සෑම මොහොතක ම සිතයි. එක්කෝ මුමුණයි. එහෙත්
ඒ ක්ෂණයේ ම තමන්ගේ සතුරකු ගැන ක්‍රෝධ සිතිවිලි පහළවෙයි. ඔහුට අනර්ථයක්, අහිතක්
කරන්නට සිතිවිලි නැඟ එයි. මෙත් සිතක එවැනි සිතිවිලි වැඩෙන්නට ඉඩ දිය යුතු නැත.
දරු සෙනෙහස මේ ලොව කිසිදු සෙනෙහසකට ප්‍රමාණ කළ නොහැකි ය. ඒ සා බලවත් ය. උසස් ය.
එහෙත් තමන්ගේ දරුවා දිනෙන් දින ඉහළට යනවා දකින්නට කැමැති මවක් අල්ලපු ගෙදර දරුවාගේ,
තමන්ගේ දරුවාගේ සමවයස් දරුවන්ගේ ජයග්‍රහණ දැක නොඉවසිලිවන්ත වෙනවා නම්, අන්‍ය
දරුවන්ගේ දස්කම් දරා ගන්නට නොහැකි නම්, ඒ දරුවන් ගැන වෛරී නම් ඊර්ෂ්‍යා සහගත
සිතිවිලි ඇති කර ගන්නවා නම් ඇය සත්‍ය වශයෙන් ම මෙත් සිතිවිලි ඇත්තියක නොවන්නී ය.
එකල්හි මෙත් ගුණ පැතිරීම තුළ ලබන අනුසස් කෙසේ නම් හිමි කර ගන්නද?
අද බොහෝ පවුල්වල අඹුසැමියන් අතර ඇත්තේ නොනවතින අරගලයකි. එක්කෝ බිරිඳට සැමියා
රුස්සන්නේ නැත. සැමියාට බිරිඳ රුස්සන්නේ නැත. ඒ ඇතැම් විට සුළු අවගුණයක් නිසා විය
හැකි ය. එක්කෝ ඔවුනොවුන් වෙනුවෙන් යටහත් පහත් වන්නට ඇති නොකැමැත්ත, උඩඟු සිත නිසා
විය හැකි ය. මේ අරගල මොනතරම් දුරදිග යනවා ද? ගැටුම්, කලකෝලාහල ඇතිවනවා ද? දික්කසාද
මොනතරම් ද? ඒ තුළ වන පවුලේ කඩාවැටීම නැවත පිළිසකර කරන්නට නොහැකි විය හැකි ය. එහෙත්
මෙත් සිතට මේ සියල්ල ජය ගත හැකි ය.
ජීවිතයේ ඇසුරු නිසරු කරන සියලු දෙනා වෙත අවංකවම මෛත්‍රිය දැක්විය හැකි නම් තමන්
මොනතරම් උසස් ද යන්න ගැන සිතා තමන්ට ම සතුටුවිය හැකි ය. ඒ සතුට කිසිවකුට සොරා
ගැනීමට හෝ උදුරා ගැනීමට හෝ නොහැකි ය. |