[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පටු සිතේ අනතුරින් මිදී වැඩූ සිතක අසිරිය

පටු සිතේ අනතුරින් මිදී වැඩූ සිතක අසිරිය

සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගේ ජීවන රටාව එහෙම පිටින් ම ගොඩනැඟෙන්නේ ශරීරයට සම්බන්ධව යි. අපි හැමෝම බොහොම වෙහෙස මහන්සි වෙලා නහවන්නේ, කවන්නේ, පොවන්නේ, පිරිමදින්නේ, සතපවන්නේ, සරසවන්නේ, සනසවන්නේ අපට ලැබුණු මේ ශරීරය. හැබැයි, අපි කිසිම කෙනකුට මියයන විට මේ ශරීරය ගෙනියන්න බැහැ. කාට කාටත් පරලොව යන්න සිද්ධ වෙන්නේ ශරීරය මෙහි තිබියදී යි.

කෙනෙක් මරණයේ දී හැර දමා යන ඒ ශරීරයට ඥාති හිත මිත්‍රාදීන් එක්රැස් වෙලා ගරු බුහුමන් දක්වනවා. ජීවයක් නැති ඒ ශරීරය ගෞරවනීය ආකාරයෙන් බැහැර කරන්න කටයුතු සම්පාදනය කරනවා.

මවුපියන් නිසා හට ගන්න, ආහාරපානයන්ගෙන් පෝෂණය වෙන, පිරිමැදීම්, නැහැවීම්වලින් නඩත්තු වන මරණයේ දී අත්හරින මේ ශරීරයට කියන නමක් තමයි’, ‘කරජකාය’. කැඩීම් බිඳීම් ආදියෙන් විනාශ වෙලා යන ශරීරය මත සාමාන්‍ය මනුස්සයාගේ ජීවිතය ගොඩනැඟෙනවා වුණත් අනාවරණ ප්‍රඥා ඇති සම්මා සම්බුදු රජාණන් වහන්සේ සංසාරගත සත්වයන්ගේ ජීවිත ගමන ගැන කරන අපූරු හෙළිදරව්වේ දී මේ ජීවිත පැවැත්ම සකස් වෙන්නේ චිත්ත මාත්‍රයකින් කියලයි කියැවෙන්නේ.

“පින්වත් මහණෙනි, මේ මනුෂ්‍යයා චිත්තක්ෂණයක පැවැත්මක් ඇත්තෙකි.”

සාමාන්‍ය ලෝකයේ අපට හැම වෙලේ ම අරමුණු වන්නේ කායික ව පෙනී යන සත්වයෙක්. නමුත්, ජීවිතාවබෝධයේ පරිපූර්ණත්වයට පත්ව වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිත හා බැඳී ගත් සසර ගමනේ යථා ස්වභාවය ඒ ආකාරයෙන් ම පෙන්වා දුන්නා.

“පින්වත් මහණෙනි, දැන දැන චේතනා පහළ කොට, දැනගෙන ම කරන ක්‍රියාවේ විපාක විඳින්නේ නැති ව අවසන් වෙන්නේ නැහැ. එක්කෝ ඒ විපාක මේ ජීවිතයේ දී විඳින්න වෙනවා. එක්කෝ ඊළඟ ආත්මයේ විඳින්න වෙනවා. එක්කෝ නිවන් දකිනා තුරු විඳින්න වෙනවා.”

මේ අසිරිමත් කර්ම - කර්ම ඵල විග්‍රහය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හැර කිසිදු සත්තාවාසයක අන් කිසිදු සත්වයකුට විස්තර කරන්නට බැහැ. මෙය සාමාන්‍ය ලෝකයාට ගෝචර නොවන ලෝක ධර්මතාවක්. යම් කෙනෙක් චේතනා පහළ කොට, හිතා මතා යමක් කරනවා ද? ඒවා විපාක නොදී අභාවයට යාමක් නැහැ. ඉතින්, අනන්ත සසර ගමනේ චේතනා පහළ කරමින් අප කළ කී මොනතරම් දේවල විපාක අපට මේ ජීවිතයේ දී විඳින්නට සිදුවේවි ද?

පින් දහම් කරමින්, සිල් රකිමින්, සත්පුරුෂයන්ගේ නින්දාවට, ගැරහීමට ලක් නොවන යහපත් ජීවිතයක් පවත්වා ගෙන යමින්, ජීවත්ව සිටිය දී ම කායික, මානසික පීඩා එළඹෙනවා නම්, කටුක දුක් පීඩා විඳින්නට සිදුව තිබෙනවා නම්, ‘ඇයි අපට මෙහෙම වුණේ?’ කියා නිතැතින් සිතට නැඟෙන දුක් දොම්නස්වලින් ජීවිතය යට වී ගොස් තිබෙනවා නම්, මේ උත්තම ධර්ම පර්යාය ම සිහි කරන්න. චේතනා පහළ කොට සිදු කළ කර්මයේ විපාක සුදුසු කාලය එළැඹි විට විපාක දෙනවාම යි.

අපේ ජීවිතය කර්මයේ නිර්මාණයක්. එය කර්මයේ දායාදයක්. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන පැරැණි කර්මයේ හැඩතලයන්. ඒවායේ ස්වභාවය ධර්මයේ විස්තර කෙරෙන්නේ මේ ආකාරයෙන්.

“හේතූන්ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්.”

සිත පෙරටු කොටගෙන සිදු කරන කර්මයන් විපාක නොදී අවසන් නොවන බව දරාගන්නා ආර්ය ශ්‍රාවකයා ‘එය සත්‍යයයි’ කියන නිෂ්ඨාවට එළඹෙනවා. ඒ කියන්නේ ඔහු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අවබෝධය සත්‍යයයි කියලා පිළිගන්නවා, ශ්‍රද්ධාවට පත් වෙනවා. ඒ ශ්‍රද්ධාවන්තයාගේ ස්වභාවය සම්බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් පෙන්වා දෙනවා.

“ඔහු අනුන්ගේ දෙයට ආශා කිරීම අත්හරියි. අනුන්ගේ දෙයට ආශා කිරීම අත්හැර වෛර කිරීම, ක්‍රෝධ කිරීම, තරහ ගැනීම, පළිගැනීම අත්හරියි. සිහි මුළා නොවී සිටියි. මනා නුවණින් යුතු ව සිටියි. එළඹ සිටි සිහි ඇති ව සිටියි.”

අකුසලයට යට වූ සිතක් කියන්නේ ම සිහි මුළා වූ සිතක්. සිතින් සිතා කරන කියන දෙයට විපාක සකස් වන බව පිළිගත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා අකුසලය බැහැර කරන්නට උත්සාහ කරනවා.

“ඔහු මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. දෙවැනි දිශාව ද එසේ ය. තුන්වැනි දිශාව ද එසේ ය. සිව්වැනි දිශාව ද එසේ ය. මෙසේ උඩ, යට යන සෑම තැනක් කෙරෙහි ම, සෑම තැනකට ම එක අයුරින් සියලු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.”

මේ විදිහට සියලු දිශාවන් කෙරෙහි, සියලු සත්වයන් කෙරෙහි පතුරුවාලූ මෙත් සිතින් වාසය කරන ආර්ය ශ්‍රාවකයා තමා විසින් ම තමන්ගේ සිතේ ස්වභාවය දැනගන්නා ආකාරයත් සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.

“ඔහු මෙසේ දැන ගනියි. “කලින් මෙත් සිත දියුණු නොකළ මාගේ සිත පටු වූයේ ය. එනමුදු දැන් වනාහී මෙත් සිත මැනැවින් දියුණු කළ මාගේ මේ සිත ප්‍රමාණ රහිත ය. යම්කිසි කර්මයක් ප්‍රමාණ කොට කරන ලද්දේ ද, එය මේ අප්‍රමාණ මෙත් සිත තුළ නොපිහිටන්නේ ය. එය එහි නොසිටන්නේ ය’ යනුවෙනි.”

බලන්න, සම්මා සම්බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නොවැඩූ, පටු වූ සිත අකුසලයට නැමී යන නමුත් වැඩූ සිත අකුසලයේ බැස නොගන්නා බවයි. වැඩූ සිතින් යුතු ආර්ය ශ්‍රාවකයා පෙර තමන් අතින් සිදු වූ වැරැදි අඩුපාඩු පටු සිතෙහි දුර්විපාක ලෙස හඳුනා ගන්නවා. ඒ වගේ ම, සිත වැඩූ නිසා තමන් දැන් එවැනි අකුසල් සිදුවීමේ අනතුරින් බැහැර වී සිටින බවත් හඳුනා ගන්නවා.

යම් අයකු ළදරු වියේ පටන් තමා සේ ම අන් සියලු සත්වයෝ වෛර නැත්තෝ ව, තරහ නැත්තෝ ව, ඊර්ෂ්‍යා නැත්තෝ ව, දුක් පීඩා නැත්තෝ ව, සුව සේ ජීවත් වෙමින් ශාන්ත සුවයට පත් වෙත්වා කියා මෙත් සිත වඩමින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන්නේ නම්, ඔහු පව්කමක් නොකරන බවත්, පව්කමක් නොකරන කල්හි දුක් විපාක ස්පර්ශ නොකරන බවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළා.

දුකට අකැමැති, සැප කැමැති කවරකු වුවත් මෙසේ සිත වැඩිය යුතු බව ද සම්බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළා.

“මහණෙනි, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයකු විසින් වේවා දියුණු කර ගත යුතු ම ය. මහණෙනි, ස්ත්‍රියකගේ වේවා, පුරුෂයකුගේ වේවා මේ කය පරලොව ගෙන යා නොහැක්කේ ම ය. මහණෙනි, මනුෂ්‍යයා චිත්තක්ෂණයක පැවැත්මක් ඇත්තෙකි. ඔහු මෙසේ දන්නේ ය.

‘ම විසින් මෙහි කලින් මේ කරජකායෙන් (කයෙන්) යම් පාප කර්මයක් කරන ලද්දේ ද, ඒ සියල්ල මෙහි වින්ද යුත්තේ ය. එය අනුව යන්නක් (පසුපසින් පැමිණෙන්නක්) නොවන්නේ ය’ යනුවෙනි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද මෛත්‍රී චිත්ත විමුක්තිය මෙහි නැණවත් භික්ෂුවකට අරහත්වය සාක්ෂාත් කර ගත නොහැකි වුවහොත් අනාගාමී බව පිණිස පවතින්නේ ය.”

ඒ විතරක් නොවෙයි, කර්මය විපාක උපදවනා බව ශ්‍රද්ධාවෙන් දරා ගත්ත ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයට ම දස දිශාවට ම, සෑම තැනක් කෙරෙහි ම, සෑම තැනකට ම එක අයුරින් සියලු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරනවා. තමා මෙන් ම අන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝග වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! කියන කරුණා චිත්ත විමුක්තියෙන් වාසය කරද්දීත් ඔහුගේ සිත වැඩී යනවා. ඒ වැඩූ සිතෙහි අකුසල් උපදින්නේ නැහැ.

ඒ ආර්ය ශ්‍රාවකයා දස දිශාවන් කෙරෙහි ම, සෑම තැනක් කෙරෙහි ම, සෑම තැනකට ම එක අයුරින් සියලු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරනවා.

තමන් සේ ම අන් සියලු සත්වයෝ ද සැප සේ වාසය කරත්වා. ඔවුන් තුළ සතුට රැඳේවා. ශ්‍රද්ධාවෙන් දියුණු වේවා. සීලයෙන් දියුණු වේවා. ශ්‍රැතයෙන් දියුණු වේවා. ත්‍යාගයෙන් දියුණු වේවා. ප්‍රඥාවෙන් දියුණු වේවා. ධනයෙන් දියුණු වේවා. ධාන්‍යයෙන් දියුණු වේවා. ගුණයෙන් දියුණු වේවා. නුවණින් දියුණු වේවා. සැපයෙන් දියුණු වේවා. සොම්නසින් දියුණු වේවා. කියන මුදිතා චිත්ත විමුක්තිය වඩද්දීත් ඔහුගේ සිත මහත් භාවයට පත් වනවා. පටු සිතෙහි උපදනා අකුසල ඔහු තුළ හටගන්නේ නැහැ.

මේ ආර්ය ශ්‍රාවකයා සෑම තැනක් කෙරෙහි ම, සෑම තැනකට ම එක අයුරින් සියලු ලොවට විපුල වූ, මහග්ගත වූ, අප්පමාණ වූ, අවෛරී වූ, අව්‍යාපාද වූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරනවා. තමන් සේ ම සියලු සත්වයන් කර්මය ස්වකීය දායාදය කර ගෙන, කර්මය පිළිසරණ කර ගෙන වාසය කරන බවත්, සිදු කරන කල්‍යාණ හෝ පාපී හෝ කර්මයන්ගේ විපාක එකිනෙකා කරා එළඹෙන බවත් සිහි කරමින් උපේක්ෂා චිත්ත විමුක්තිය දියුණු කරද්දීත් ඔහුගේ සිත වැඩී යනවා. පෙර නොවැඩූ, පටු වූ සිතෙහි හටගත් අකුසල් මෙසේ වැඩුණු සිතෙහි හටගන්නේ නැහැ.

ධර්මයේ ආශ්චර්යය බලවත්, මේ විදිහට සතර බ්‍රහ්ම විහරණ වැඩීමෙන් සිත වඩනා ආර්ය ශ්‍රාවකයා කරජකාය (මේ කය) හැර දමන්නේ එක්කෝ රහතන් වහන්සේ නමක් විදිහට, එහෙම නැති නම් අනාගාමී ශ්‍රාවකයෙක් විදිහට.

බ්‍රහ්ම විහාර තුළ වාසය කරමින්, පටු සිතේ අනතුරින් මිදී ගත්ත උත්තමයෙක් තමයි ගුරු පූජාවක් වෙනුවෙන් ඇඟිලි දහසක් ලබන්නට, දහසකටත් වඩා මිනිසුන් මරා දැමූ අතිබිහිසුණු පාපයේ විපාක මේ ජීවිතයට පමණක් සීමා කොට ‘අංගුලිමාල මුනිඳුන්’ නමින් අමනිවන් වැඩියේ. පටු සිත ඉක්ම වූ, ඒ විපුල වූ මෙත් සිතෙහි සත්‍යානුභාවය කල්පයක් පුරා කුස ඔත් දරුවන්වත්, ගැබිනි මාතාවන්වත්, සියලු සත්වයන්වත් සුවපත් කරනවා. වැඩූ සිතක අසිරිය ගැන තවත් නම් කවර කතා ද?

පටු සිතක් ඇත්තකු ව මේ කය හැර දමන්නට එපා. දුකට අකැමැති නම්, සැපය කැමති නම් අප සිත වැඩිය යුතුම යි. පටු සිතක් තමන්ට ඇති බව නොදන්නවුන් එහි ගොදුරු බවට පත්වනවා.

මොන තරම් අභියෝග එළඹුණත්, මොන තරම් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණත් මේ කය රකින්න වෙහෙසෙනවාට වඩා වැඩි කැමැත්තක්, උත්සාහයක්, වීර්යයක්, අධිෂ්ඨානයක් අප ඇති කර ගත යුත්තේ වැඩුණු සිතක් ඇත්තවුන් වීමට යි. එතැනට එළඹිය හැකි නම්, ඔබත් කෙලෙස් සටනේ දිනුම් කණුවට සමීප වූවෙක්.

වප් පුර අටවක

 ‍ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12.29 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12.04 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]