[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක පෝ දා 2024-10-10

දේවදූතයෝ

මනුලොව හැම කල්හි ම වන දේව දූතයන් තිදෙනකු ගැන ධර්මයේ සඳහන් ය. ඒ දේව දූතයන් නම් සත්ත්වයා ඉපදෙමින්, මියයමින් යන ඝෝර සසර මඟ සැබෑ ස්වභාවය සිහිපත් කරන, සුගතියට හෝ දුගතියට හෝ යන දොරටු හැර දෙන ධර්මතා තුනකි.

ඉතා දුර්ලභ ව මිනිසත් බව ලැබුව ද, එහි වටිනාකම නොදන්නා මනු සත්ත්වයන් අතරින් බොහෝ පිරිසක් ඇස් පනාපිට ම පෙනෙන්නට තිබිය දීත් මේ ධර්මතා ගැන යම්තමින් හෝ අවධානය යොමු නොකිරීම නිසා ම පව්කම් කොට අපාගත වෙති.

කෙනෙක් සිය මව්පියන් නොහඳුනති. වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් නොහඳුනති. යුතුකම් වගකීම් මඟහැර තමන්ගේ සුඛ විහරණය ම ප්‍රාර්ථනා කරති. තැනෙක සොරකම ය. වංචාවෙන් අනුන් රැවටීම් ය. ලෝභී සිතින් භෞතික සම්පත් රැස් කර ගනිති. අනුන් තලා පෙළා හෝ ඔවුන්ගේ ජීවිත බිල්ලට දෙමින් හෝ තමන්ගේ ගොඩ වැඩි කර ගන්නට කෙනෙක් වෙර දරති. එහි අවසානය අමිහිරි බව, නරක විපාක සහිත බව නොසලකති. සැළියේ දිය රත්වන තුරු කකුළුවා දිය කෙළියේ සිටින්නා සේ තාවකාලික වින්දනය, තෘප්තිය උදෙසා අනේක විධ පව්කම් හි යෙදෙති. ඒ තරමට ඔවුහු මුළාවේ ය. මේ රැවටීමෙන් තමන් මුදවා ගන්නා දේවදූතයන් පෙනි පෙනීම, රැස්කරන පව් කඳුවල නරක පල දිට්ඨ ධම්මවේදනීය ව මේ ජීවිතයේ ම විඳවන අය අපි ඕනෑතරම් දකිමු. එසේ නම් ඔවුන්ගේ පරලොව ගැන කවර කතාද?

මසැසින් දකින දේ පිළිබඳ මනැස අවදි කරන්නේ නම් ජීවිතයේ ඇත්ත අවබෝධ කර ගන්නට එය ම ප්‍රමාණවත් ය. කුඩා කල දුටු වැඩිහිටියන් ක්‍රමයෙන් වයස්ගත වනු අපි දකිමු. ටිකෙන් ටික කාලය ගෙවී අවුරුදු හැටක් හැත්තෑවක් පසු කරන ඔවුන් සම රැලි වැටී ගොසිනි. අඩියක් ඔසවා අඩියක් තබන්නේ සැරයටියේ වාරුවෙනි. මෙවැනි අවස්ථා ඇස ගැටෙන මොහොතක අනේ මටත් මේ ටික ම වෙනවා නොවේදැයි සිතන්නට හැකි නම් පවින් වැළැකී යහපත් ජීවිතයක් ගෙවන්නට පෙළඹීමට යම් තරමකට හෝ අවධානයෙන් පසුවන්නකුට හැකි ය. එහෙත් එතැනට යන්නේ අතළොස්සකි. වැඩි පිරිසකට යථාව වැටහෙන්නේ මරණය ළං වූ කල ය. එවිට ගෙවුණූ කාලය ඇතුන් ලවාවත් අද්දවා ගත නොහැකි ය. බිය, සන්තාපය තුළින් මරණයට මුහුණ දෙන්නට වනු ඇත. එසේ නම් ජරාව නම් පළමු දේවදූතයා දැක වැරැදි නිවැරැදි කොට ගෙන, පව් දුරලීමට උත්සුක විය යුතු ය.

නිරෝගී සම්පත උතුම් ම ලාභයයි. එහෙත් ජීවිතයේ දැඩි ගිලන්බවට පත්වන්නන් බොහෝ ය. කෙනෙක් උපතින් ම අඳ ය. තවත් කෙනෙක් බිහිරි ය. අංගවිකල ය. මේ දුක්ඛිත තත්ත්ව තමන් විසින් ම රැස් කර ගන්නා ලද කර්මයන් හි පලයන් ය. එසේ නම් එවැනි පුද්ගලයෙක් දෙස බලා තමන්ටත් කවර මොහොතක හෝ මෙවැනි තැනකට වැටෙන්නට සිදුවේ යැයි සිතා යහපතෙහි හැසිරිය යුතු ය.

එහෙත් බොහෝ දෙනාට එය වැටහෙන්නේ ද ගිලන් ව අසරණ වූ කල ය. එවිට කළ හැක්කක් නොමැත. පමා වැඩි ය. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නොවේ. තමන්ට හැකි පළමු මොහොතේ ම ජීවිත බිය, සසර බිය දැන පාපයෙන් දුරු ව යහපතෙහි නිරත වන්නට උත්සුක විය යුතු ය. ව්‍යාධිය හෙවත් මේ දැඩි ගිලන් බව ජීවිතාර්ථය පෙන්වන දෙවැනි දේවදූතයා ය.

බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඇසිපිය ගසන මොහොතකින්, ඊළඟ තත්ත්පරයේ දී අපගේ මරණය සිදුවිය හැකි බව ය. හිටි හැටියේ මිය යන අය අපි කොතෙකුත් දකිමු. රැයේ නින්දට යන කෙනා උදයේ මිය ගොස් සිටිනු දකිමු. මරණය කොයි මොහොතේ දැයි කියන්නට නොහැකි ය. එසේ නම් තමන් ද මරණයට පත්වන බව දැන පාපයෙන් ඈත්වීමට හැකි නම් පින් කුසල් රැස් කළ හැකි නම් මරණයට බිය විය යුතු නැත. පරලොව සුගතියට මඟ හෙළි කරගත් බැවිනි. මරණය නම් වූ තෙවැනි දේවදූතයා ද දැක ජීවිතය නිසි මඟට ගත හැකි නම් තමන්ට සේ ම අනුන්ට ද වන යහපත මොන තරම් ද? මේ ජීවන ගමන යා යුතු එය දැන ය.

වප් පුර අටවක

 ‍ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12.29 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12.04 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]