සතුරාට එරෙහි ව
නොනැඟිටින තුරු ...
පොත්තේවෙල ඤාණලක්ඛණ හිමි
බුදුරජාණන් වහන්සේ සෑම කල්හි ම සියලු සත්වයාගේ යහපත වෙනුවෙන් ම දේශනා සිදු කරන ලද
උතුමන් වහන්සේ නමකි. උන්වහන්සේ විසින් දේශනා කරන ලද අතිශය වැදගත් ධර්ම කාරණා
සංගෘහිත ව සකස් වූ අත්පොතක් වන්නේ ධම්මපදය යි.
එදා මෙදා තුර ලෝකවාසී සියලු බෞද්ධයන්ගේ අත්පොත වශයෙන් සලකන්නේ මෙම ධම්මපදය යි. එසේ
ද වුවත් වර්තමානය වන විට බෞද්ධයන්ට අමතර ව අන්‍යාගමිකයන් ද බහුල ව මෙම ග්‍රන්ථය තම
පරිහරණය සඳහා යොදා ගනී. එසේ වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ධම්මපදයෙහි දී බුද්ධ
දේශනාව සංක්ෂිප්ත ගාථා ධර්මයක් ලෙස අන්තර්ගත වුව ද මෙ මඟින් පුළුල් ප්‍රායෝගික
දර්ශනයක් ප්‍රකට වීමයි.
මෙලෙස පුද්ගලයාට ප්‍රායෝගික ජීවිතයේ දී අනුගමනය කිරීමට සුදුසු දහම් කරුණු රාශියක්
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වෙයි. එම දහම් කරුණු අතර පුද්ගල චිත්තය සම්බන්ධයෙන් දේශිත
ගාථා රාශියක් ධම්මපදයේ චිත්ත වග්ග නම් කොටසෙහි ඇතුළත් වේ. ඒ අතුරින් එක් ගාථා
පාඨයක් මෙසේ ය.
“ දිසො දිසං යං තං කයිරා
වෙරී වා පන වෙරිනං
මිච්ඡා පණිහිතං චිත්තං
පාපියො නං තතො කරෙ”
මෙම ගාථා පාඨයෙන් අර්ථවත් වන්නේ සොරෙක් තවත් සොරකුට කරන අපරාධයකට වඩා, වෛරී
තැනැත්තෙක් තවත් එවැනි ම වෛරී තැනැත්තකුට කරනු ලබන අයහපතට වඩා, වරදෙහි පිහිටුවාගත්
සිත තමන්ට ඇවැඩ පිණිස, අහිත පිණිස පවතින බවයි. බුද්ධ දේශනාවේ ඇති අර්ථ සම්ප්‍රයුක්ත
බව මෙ මඟින් මොනවට පෙනේ.
ලොව ජීවත්වන බොහෝ මිනිස්සු තමන්ට අහිත පිණිස, අවැඩ පිණිස පවතින අයවලුන් හෝ වස්තූන්
සොයා යති. පසුව තමාට අයහපත පිණිස පවතී යැයි හැඟෙන පුද්ගලයන්ට හෝ වස්තූන්ට වෛර
කිරීමට, ඒවා විනාශ කිරීමට පෙළඹෙති. එහෙත් කිසිදු අවස්ථාවක සම්පූර්ණ සතුරකු හමුවීමක්
හෝ සම්පූර්ණයෙන් ම සතුරා විනාශ කිරීමක් සිදු නොවේ. එසේ නොවීමට බලපාන මූලිකම හේතුව
ඉහත සඳහන් කරන ලද ගාථාව මඟින් ප්‍රකාශ වෙයි.
එනම් අප විසින් ම අප තුළ අයහපත් ලෙස පිහිටුවන ලද, නොඑසේ නම් වරදවා තබන ලද සිතයි.
සිත යහපත් වන්නේ ද, අයහපත් වන්නේ ද අප විසින් සිදු කරනු ලබන පුහුණුවට අනුකූලව ය.
යමකු විසින් තම සිත කුසල මූල තුළ පුහුණු කරයි ද, ඔහුගේ සිත කුසලකාමී සිතක් බවට පත්
වේ. යමකු විසින් තම සිත අකුසල මූලයන්හි පුහුණු කරන්නේ නම්, අයහපත් සිතක් බවට පත්වේ.
මෙසේ අප විසින් ම අපගේ සිත අයහපත් සිතක් හෝ යහපත් සිතක් හෝ බවට පත්කර ගනී.
පුද්ගල චිත්තාභ්‍යන්තරය තුළ නිතැතින් ම පවත්නා අකුසල මූල තුනකි. එනම් ලෝභ, ද්වේශ සහ
මෝහ යන මේවා ය. මෙ මඟින් නිරන්තරයෙන් පුද්ගලයාගේ සිත දූෂ්‍ය වීම සිදු වේ. එලෙස යම්
පුද්ගලයකු විසින් මෙම අකුසල මූලයන් තුන තම සිතෙහි පුහුණු කිරීම එම පුද්ගලයා විසින්
තමාට සිදු කර ගනු ලබන දරුණුතම අපරාධය යි. යමෙක් පංච දුෂ්චරිතයන් සිදු කිරීමේ දී ද
මුල් වන්නේ මෙම අකුසල මූලයන් වේ. මෙලෙස පුද්ගලයා විසින් පාප ධර්මයන් හෝ අකුසල
ධර්මයන් හෝ සිදු කිරීම නිසාවෙන් ඔහු තවදුරටත් සසර තුළ දුක් මුසු වේදනාවන් විඳීන
අයකු බවට පත් වේ. මෙම ක්‍රමවේදයෙන් වෙනස් ව කුසල මූලයන් මත පිහිටා යමකු කටයුතු
කරන්නේ නම් හෙතෙම සැපවත් ව සසර ගමන අවසන් කරන බව පැහැදිලි ය. මේ බව වැඩිදුරටත්
බුදුරජාණන් වහන්සේ විසින් පෙර සඳහන් කරන ලද ගාථාවේ නිදානය ලෙස දේශිත කතා පුවත මඟින්
පැහැදිලි වේ.
අතීතයේ අනේපිඬු සිටුතුමාගේ ගවරැල බලාගත් ගොපල්ලන් අතර නන්ද නම් එඬේරෙකු විය. හෙතෙම
බොහෝ ශ්‍රද්ධා සම්පන්න අයකු විය. එසේම මොහු විසින් දිනපතා ම උදෑසන තම ස්වාමියා වූ
අනේපිඬු සිටුතුමා හමු වී පස්ගෝරස ලබා දෙයි. එසේ ම ස්වාමියාගේ මෙහෙය නිමවා අනතුරුව
දෙව්රම් වෙහෙරට ගොස් බුදුපාමොක් මහ සඟනට ප්‍රත්‍යුපකාර කිරීම ද සිදු කළේ ය. මෙලෙස
කටයුතු කරන නන්ද ගෝපාල තෙමේ දිනක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන්
පිළිගැනීම සඳහා තම නිවසට වැඩම කරවන ලෙස ආරාධනා කළේ ය.
ආරාධනා පරිදි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය නන්ද ගොපල්ලාගේ නිවසට වැඩම
කළහ. සත් දිනක් ම බුදුපාමොක් මහා සඟනට දන් පැන් පූජා කළ නන්ද තෙමේ සත්වැනි දිනයේ දී
දහම් අසා සෝවාන් විය. මහදන් අවසානයේ බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය නැවතත් දෙව්රමට
වැඩම කරන්නේ, නන්ද ගොපල්ලා ද පසුපස ආවේ ය. ඒ බව දුටු බුදුරජාණන් වහන්සේ නන්ද
ගොපල්ලාට නවතින්න යැයි ප්‍රකාශ කළ සේක.
නිමේෂයකින් වැද්දකුගේ හී සැරයක් වැදී නන්ද ගෝපාල තෙමේ මිය ගියේ ය. මේ බව දුටු
භික්ෂූහු ප්‍රකාශ කර සිටියේ බුදුරදුන් සමග මෙම ගමන නොපැමිණියේ නම් නන්ද ගොපල්ලාට
මෙසේ අනතුරක් සිදු නොවන බවයි.
මෙම කරුණ දැනගත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මෙම ගමනට නන්ද එක්වූවත්,
නොවූවත් කර්ම විපාක දීම වශයෙන් නන්ද ගොපල්ලාගේ මරණය සිදුවන බවයි. පෙර භවයක වැරැදියට
පිහිටුවා ගත් සිත නිසා ඔහු එම විපාකය විඳී බවත්, යහපත් ව පිහිටුවා ගත් සිත නිසා
මතුවට යහපත් ප්‍රතිඵල අත්විඳීන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
මෙම කතා පුවත මඟින් යහපත් ව පිහිට වූ සිතත්, අයහපත් ව පිහිට වූ සිතත් අතර පවත්නා
වෙනස මැනවින් පෙන්වා දෙනු ලැබේ.
දෛනික ජීවිතයේ දී අප බොහෝ ගැටලුවලට මුහුණ දෙමු. එහි දී අප නිතර ම පවසන්නේ අපට බාහිර
පාර්ශ්වයන් විසින් අයහපත සිදු කරන බවයි. එහෙත් මෙම ගාථා පාඨයෙන් පැවසෙන පරිදි තමාට
අයහපත සිදු කරන්නේ තමා විසින් ම අයහපත් ව පිහිටුවා ගත් සිතයි. එබැවින් ලෝභ, දෝෂ,
මෝහ මත පිහිටා අකුසලයෙහි සිත වැඩීම නවතා අලෝභ, අදෝස, අමෝහ මඟින් කුසලයෙහි සිත වැඩීම
සිදු කළ යුත්තේ වේ. එලෙස සිදු කිරීමෙන් බාහිර සතුරා මෙන් ම අභ්‍යන්තර සතුරා ද ජය
ගෙන දෙලොව ජය ගැනීමට හැකි වනු ඇත. ඒ සඳහා ඒකායන අරමුණින් යුතු ව කටයුතු කරමු.
|