මල්දමක් ගොතන්නා සේ කුසල් දම් රැස් කරන්න
බුද්ධශාසන අමාත්‍යාංශයේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
“යථාපි පුප්ඵරාසිම්හා -
කයිරා මාලා ගුණෙ බහු
එවං ජාතෙන මච්චෙන -
කත්තබ්බං කුසලං බහුං”
“දක්ෂ මල්කරුවකු නෙළාගත් මල් රැසකින් බොහෝ මල් දම් ගොතන්නේ යම් සේ ද, එසේ ම මනුලොව
උපන් මිනිසා විසින් කළ යුත්තේ බොහෝ කුසල් ම ය.
යථාඅපි - යම් සේ, පුප්ඵරාසිම්හා - එබඳු මල් රැසකින් මල් මාලා ගොතා පල ලබනු කැමැති
දක්ෂ මල්කරු ඒවායින් තැළුණු පෙති හැළුණු නැටි, කැඩුණු හා සුවඳින්, පැහැයෙන්,
හැඩෙන්, වටිනාකමින් අඩු මල් තෝරා ඉවත් කොට සුවඳවත්, සිත් අලවන වටිනා දෑසමන්,
බෝලිද්ද, තුවරල, සපු, දුනුකේ, කොඳ ආදී මල් තෝරා බහුමාලාගුණෙ බොහෝ මල් මාලා කයිරා,
ගොතන්නේ ය. “එවං ජාතේන මච්චේන එමෙන් මිනිස් ලොව උපන් මිනිසා විසින් කළ යුත්තේ පව්
දුරු කරමින් බොහෝ කුසල් ම ය.
තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව මේ අපි මනුසත් බව ලබා ඇත්තේ ඒ සඳහා වෙමු. අපි ඉපිද
ඇත්තේ අෂ්ට දුෂ්ටක්ෂණ ධර්මයකින් මිදි වෙමු. මේ නපුරු අට අවස්ථාවන්ගෙන් මුදා දී
මිනිස් මවු කුසයකට අප ආවේ පෙර ද අපි පින් කර ඇති හෙයින් වෙමු. එහෙයින් පිනෙන් උපන්
අපි පින් ම කළ යුතු වෙමු. මේ මනුලොව හැර පහසුවෙන් පින් කළ හැකි වෙනත් එකදු ලෝකයක්
සක්වළ නැත. මේ සක්වළ අපේ ධර්මය අනුව ලෝක 31ක් තිබේ. පෙර ජාතිවල කළ පිනෙන් අපේ උපත
සිදුවීමේ දී වළක්වා ගෙන ඇති නපුරු අවස්ථා අට කවරේද? නරකය( නිරයේ 136 කි) පේ‍්‍රතලොව
(7කි) තිරිසන් ලොව ඉපදීමෙන් වළක්වා ඇත. සසර දීර්ඝ ආයුෂ ඇති සතර අරූප ලෝක හා බඹලොව
අසංඥ තලයෙහි ඉපදීම, මෙලොව තුනුරුවන් නැති ප්‍රත්‍යන්ත දේශයක ඉපදීම, අංගවිකල
උත්පත්තියක් ලැබීම, බලවත් මිථ්‍යාදෘෂ්ටික මව් කුසයකට යාම, සද්ධර්මය නැති
අබුද්ධෝත්පත්ති කාලයක ඉපදීම වළක්වා ඔබත් මමත් මේ මව්කුසයට ආවෙමු. එහෙයින් පිනෙහි
කුසලයෙහි නොයෙදෙන්නෝ මිනිසකු විය නොහැකි ය.
බහු කුසලං කත්තබ්බං: බොහෝ කුසල් කළ යුතු ය. ධර්මයේ ගැඹුරට ගියවිට පෙනෙනුයේ පින්කම්
නොකරන්නහුට කුසල් ද කළ නොහැකි බව ය. පින්කම් කරන්නා මනුෂ්‍යත්වයට සුදුස්සකු වේ. මේ
සුදුසුකම් ලබන්නේ දස පුණ්‍ය ක්‍රියාවෙහි බැඳීමෙනි.
දීමට පුරුද්දක් නැත්තේ ද, ඔහු මනුෂ්‍යයකු නොවේ. (දාන) කය - වචනය හික්මවා නොගත්තෙක්
මනුෂ්‍යකමට සුදුසු නැත. (සීල) සිතුවිලි හා සිත සංවර කර නොගත්තකු (භාවනා), යහපත් දෙය
ඇසීමට රුචියක් නැත්තා (බණ ඇසීම) මිනිස් කමට නුසුදුසු ය. තමා යහපතෙහි හැසිරෙමින් අන්
අය ද යහපත් වූවන් කිරීමට උත්සාහ කිරීම (බණ කීම), හොඳ වැඩක් කිරීමේ දී තම ඥාති
මිත්‍රාදීන් ද සම්බන්ධ කරවා ගෙන සතුටු කරවීම (පින්දීම), එවන් අවස්ථාවක දී
ඊර්ෂ්‍යාවෙන් තොරව හැකි අයුරින් උදව්කොට කමා කළ යහපත් ක්‍රියාවක් සේ තම සිත සතුටු
කර ගැනීම (පින් අනුමෝදන් වීම), උපස්ථාන කළ යුතු යමෙක් වේ ද, කරුණා සිතින් එසේ
කිරීම, තම කුලයේ ජ්‍යෙෂ්ඨයන් වූ මව්පිය/ වැඩිහිටි, පැවිදි උතුමන් පිදීම හා අයහපත්
සිතුවිලි ක්‍රියාකාරවලින් මිදීම ( මිථ්‍යාදෘෂ්ටියෙන් මිදීම) මේ පින් කරන්නහු දස
අකුසලින් මිදෙයි. දස කුසලයෙහි හැසිරීමට සුදුස්සෙක් වෙති.
මෙම ගාථාවට අටුවාවේ විස්තර කර ඇති කතාන්දරය කියවමු. මෙය දීර්ඝ කතාවකි. කතා වස්තුවට
හානියක් නොවන පරිදි සාරාංශය කර ඇත.
විශාඛා මහා උපාසිකා කතා වස්තුව (ධම්මපද අටුවා කතා 40)
අඟුරට භද්දිය නුවර මෙණ්ඩක නම් සිටුවරයෙක් විය. භාර්යාව චන්දපදුමා ය. වැඩිමහල් පුත්
ධනඤ්ජය. මොහුගේ භාර්යාව සුමනා ය. මේ දෙදෙනාගේ දියණිය විශාඛා ය. සිටුගේ දාස පුණ්ණ ය.
මොවුහු මහ පිනැතියෝ ය. වරක් බුදුරජාණන් වහන්සේ භද්දිය නුවරට වැඩම කළ අවස්ථාවේ දී
කාරණා කාරණා තේරෙන වියට පත්ව සිටි තම මිණිපිරිය විශාඛා හට ද තම දැරියන් සමඟ
භාග්‍යවතුන් වහන්සේ හමුවට එන ලෙස දැන්වූ මෙණ්ඩක මහ සිටුතුමා ද එහි ගොස් සියල්ලෝ
ධර්මය අසා සෝවාන් ඵලයට පත්වූහ. එතැන් සිට අටමසක් මහදන් ද දුන්හ.
පසේනදී කොසොල් රජුගේ නැඟණි බිම්බිසාර මහ රජුගේ අග බිසෝ ය. බිම්සර රජුගේ නැඟණි,
කොසොල් රජුගේ අග මෙහෙසිය වූවා ය. එහෙයින් දෙදෙනා අතර වූ ඥාතීත්වය සලකා දිනක් කොසොල්
රජු බිම්බිසාර හමුව ජෝතිය මෙණ්ඩක ආදී මහ සිටුවරු රාශියක් ඔබගේ රාජ්‍යයේ වෙති. මගේ
රාජ්‍යයේ එවැන්නකු නැත. එහෙයින් මට එයින් එක් අයෙකුවත් දෙන්න යැයි ඉල්ලීමක් කළේ ය.
එසේ නොදුන්නොත් “ආපසු මම නොයමි” යැයි ද කියා සිටියේ ය.
ජෝතියාදී මහ කුල සෙළවීම මහපොළොව සෙළවීමක් වැනි “ යැයි බිම්බිසාර රජු කී මුත් බලවත්
ආයාචනය අනුව ඇමැති මණ්ඩලයේ අනුමැතියෙන් ධනඤ්ජය සිටුතුමා තම දේවිය හා විශාඛා දුව
සමඟින් කොසොල් රජු සමඟ මගධය බලා මහ පිරිවර සමඟ පදිංචිය සඳහා පිටත් ව ආවෝ ය. රෑ
බෝවූයෙන් අතරමඟ රජුගේ කැමැත්තෙන් නතර වීමට සකස් කළ නගරය” සාකේත” නම් විය. මෙය
සැවැතට යොදුන් 7ක් ඈතින් පිහිටියෙකි.
මේ දවස් වන විට සැවැත මිගාර සිටුපුත් පූර්ණවර්ධන කුමරුට සුදුසු තැනකින් කුමරියක්
සොයන කාලය විය. කුමරු මුලින් සරණයෑම මහ අවුලෙකැයි කියා අකැමැති වුවත් මව්පියන්ගේ
බලපෑමට එකඟ ව පංචකල්‍යාණයෙන් යුත් දැරියක් මුණගැසුනහොත්” කැමැති බව කීවේ ය. මව්පියෝ
මෙවිට බමුණන් කැඳවා සංග්‍රහ කොට එවැනි දැරියක් මුණ ගැසුණහොත් ලක්ෂයක් වටිනා මේ රන්
මාලය පලඳවාලවයි ගිවිසුවා අට දෙනකු පිටත් කොට යැවූහ. මෙවන් දැරියක් සොයා ගෙන බමුණෝ
ගම් නියම්ගම් සැරිසරා සොයාගත නොහැකි ව ආපසු එන්නේ, මෙදින නැකත් කෙළි දවසක් විය.
මෙදින ගෙවලින් බැහැර නොයන ක්ෂති‍්‍රයා දී මහා කුලවල රූමත් තරුණියන් ද පා ගමනින් මහ
මඟට බැස රංචු ගැසී එහෙ මෙහෙ නිදහසින් ඇවිද යන බව දැනගත් බමුණෝ එක් ගං ඉවුරක ශාලාවකට
වී යන එන්නන් බලමින් සිටියෝ ය. එවෙලෙහි සොළොස් හැවිරිදි පමණ වූ විශාඛාවෝ ද හැම
අබරණින් සැරසී 500ක් පමණ වූ තවත් දැරියන් ද සමඟ දිය නෑමට එන්නේ, මහා වැස්සක්
වසින්නට විය. එවිට පරිවාර දැරියන් දුවවිත් ශාලාවට ගොඩවූ මුත් විශාඛාවෝ තෙත් ඇඳුමෙන්
යුතු ව පියවි ගමනින් ම විත් ශාලාවට ගොඩවනු දුටු බමුණෝ ඇය ගැන පරික්ෂාකාරී වන්නෝ ය.
ඇයගේ කලණ ලකුණු 04 දැක දන්ත කල්‍යාණය නොදැක ඇය හා කතාවට වන්හ. දියණිය, ඔබ අලස වු
හෙයින් ඇඳුම් හා ආභරණ තෙත් වූ බව අපි කතාවීමු.
“පියවරුනි, ඈලාගේ ස්වාමි දියණිය මම වෙමි. ඔවුනට වඩා මම වෙනස්මි. මේ ලෝකයෙහි සතර
දෙනෙක් දුවන කල්හි අසෝභන ය. ඔටුනු පලන් රජු සර්වාභරණයෙන් සැරසී රෙදි ගුළිකොටගෙන රජ
මිදුලෙහි ගම්වැසියකු මෙන් දුවන්නේ ද, රජුගේ සර්වාභරණයෙන් සැරසුණු මංගල හස්තියා මහ
මඟ දුවන්නේ ද, පැවිද්දෙක් තම ‘පැවිද්ද නොසිතා දුවන්නේ ද, ස්ත්‍රියක් පිරිමියකු මෙන්
දුවයන්නේ ද අගෝචර ය. නොහොබි. ගැරහුම් ලැබිය යුත්තේ යැයි කීවා ය. පියවරුණි, තවත්
කරුණක් ද වෙයි. දරුවන් හදන මවුවරු කවා, පොවා නළවා, නහවා, නිදිකොට පමණක් නොව අතපය
කන්, නාසා, මුහුණ, කට ආදී වූ සියලු අඟපසඟ අතපතගාමින් මැනවින් පිහිටුවා දරුවන් ඇති
දැඩි කෙරෙති. මෙහිදී ද ගැහැනු දරුවන් වන අපි විකිණිය යුතු භාණ්ඩ වැනියහ. මෙවැනි
දේවල හීරී, සීරී, පෑරී, කැඩී, බිඳී ගියේ නම් එහි වටිනාකම අඩු වේ. දූවරු වන අපි
මව්පියන්ගෙන් ඈත්වී බාල වයසේ දී ම අන් ගෙයකට පාවා දිය යුතු ම ය. එසේ වූ අපි දුවන
පනිනවිට රෙදි කොනක හෝ පොළොවෙහි පය පැකලී වැටී අතක් පයක් කැඩී බිඳී ගියේ නම් දිවි
තිබෙන තුරු මව්පියන් විසින් රැකිය යුත්තේ වම්හ. අන් කෙනෙක් අප ව පාවා නොගනිති.
සහෝදර සහෝදරියන්ට කරදරයකි. එය හැමදාට ම ය. වැස්සට භය වී නොදිවීමෙන් වන්නේ හැඳිවත
තෙමීම පමණකි. පසුව ඒවා වියළා ගත හැකි ය. මෙ කරුණු සලකා මම හිමින් ආයෙමි යි කීවා ය.
මේ කතා අතර විශාඛාවගේ දන්ත කල්‍යාණය ද දැක, කතාවට ද පැහැදී, කරුණු කියා බමුණන් ගෙන
ආ රන්මාලය සුදුසු ඔබට ය කියා ඇගේ කරේ දැමීය. එවෙලෙහි විශාඛාවෝ ඔවුන්ගෙන් තොරතුරු
විමසා මිගාර පූර්ණවර්ධන සිටු පිය පුතු අපට සුදුසු කුලයැකැයි දැන රන්මාලාව ඉවසාලුවා
ය. පියාට පණිවිඩ යවා රථයක් ගෙන ආපසු මාලිගාවට ගිය ඈ මාලය පැළඳි දා පටන් මහමඟ පයින්
ගමන් නොවීය. |