[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දැන හැඳින යා යුතු නිවැරැදි මඟ

දැන හැඳින යා යුතු නිවැරැදි මඟ

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික අභිප්‍රාය වූයේ සියලු සත්ත්වයන් සසරින් එතෙර කරවීම බව ප්‍රකට කරුණකි. උන්වහන්සේ සිතූ සෑම, සිතිවිල්ලක් ම, සිදු කළ හැම ක්‍රියාවක් ම, වදාළ හැම වදනක ම මෙම උදාර පරමාර්ථය සාක්ෂාත් කරනු සඳහාම යොමුවුණු බව ත්‍රිපිටකගත තොරතුරුවලින් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේ ම වදාරන ලද පරිදි තමන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙරම, බෝධි සත්ව අවධියෙහි ම ලෝකයෙහි සත්ත්වයා උපදියි, ජරාවට පත්වෙයි, චුත වෙයි, නැවත උපදියි යන සංසාරයෙහි ඇති දුක් සහිත බව අවබෝධ කර ගත් අතර, ඒ නිසාම මේ සසරින් සියලු සත්වයන් ම මුදා ගැනීමට, එතෙර කරවීමට, උන්වහන්සේට අවශ්‍ය විය. සුමේධ තාපසව ඉපිද දීපංකර සම්බුදු පාමුල රහත් බවට පත්ව සසරින් එතෙර වීමට හැකියාව තිබියදී එම අවස්ථාව මඟහැර

“මම පමණක් තනිව සසරින් එතෙර වීම නුසුදුසු ය. මම බුද්ධත්වයට පත්ව දෙවියන් මිනිසුන් සහිත සත්වයන් මහා භයානක වූ සසරින් එතෙර කරන්නෙමි.”

නැවත සසරට පැමිණ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අවුරුදු මුළුල්ලේ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කොට, සය වසක් ම අතිශය බියකරු දුෂ්කරක්‍රියා කොට බුද්ධත්වයට පත්ව දිනකට සුළු වේලාවක් පමණක් විවේක ගනිමින් බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ සත්ත්වයා සසරින් එතෙර කරවීමට ය. අප හැම දෙනාගේ ද පරමාර්ථය විය යුත්තේ මේ බියකරු දුක් සහිත සසරින් අද අදම මේ ගෞතම බුදු සසුන තුළදී ම එතෙර වීමට වීර්යය කිරීම ය. එය අපගේ පූර්ණ වගකීම හා යුතුකම ද වනුයේ අප වෙනුවෙන් ඉමහත් කැපවීමක් කළ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් මෙන්ම කෙළෙහිගුණ සැලකීමක් ද වන නිසා ය.

ඒ සඳහා එකම මඟ, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව හෙවත් මධ්‍යම ප්‍රතිපදාව නොහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය බව ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දී පැහැදලිව දක්වා ඇත. එම මාර්ගයේ අංග අටක් ඇත.

සම්මා දිට්ඨි – යහපත් දැකීම

සම්මා සංකප්ප –

යහපත් සංකල්පනා - ප්‍රඥා

සම්මා වාචා – යහපත් වචන

සම්මා කම්මන්ත – යහපත් කායික ක්‍රියා

සම්මා ආජීව – යහපත් දිවි පෙවෙත - සීල

සම්මා වායාම – යහපත් වෑයම

සම්මා සති – යහපත් සිහිය

සම්මා සමාධි – යහපත් සමාධිය –

සමාධි

මෙම අංග අටෙන් අදහස් කරන්නේ බුදු දහමේ ඉගැන්වෙන සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණූු කර පරිපූර්ණත්වයට පැමිණීමයි. සීලය වනාහි බුද්ධ ධර්මයේ පදනමයි. සීලමය ශික්ෂාව පිරීමේ දී කරුණාව හා ප්‍රඥාවට ප්‍රමුඛත්වයක් ලැබේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි ශික්ෂාවට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන ඇතුළත් වේ. මෙහිදී නූපන් අකුසල් ඉපදීමට ඉඩ නොදීම, උපන් අකුසල් නැති කිරීමත්, නූපන් කුසල් ඉපිදවීමත්, උපන් කුසල් දියුණු කිරීමත් කළ යුතු ය.

සත්ත්වයාගේ විසුද්ධිය පිණිස පවතින ඒකායන මාර්ගය හැටියට සැලකෙන සතර සතිපට්ඨානය වැඩීම සසරින් එතෙර වීමේදී අවශ්‍ය වන යථා තත්ත්වාවබෝධයට අතිශයින්ම ඉවහල් වෙයි.

සම්මා සමාධිය ධ්‍යාන සතර ලබා ගැනීමට ඉවහල් වෙයි. පංච නීවරණ යටපත් වී සම්මා සමාධියේ දී ඒකාග්‍රතාවෙන් යුතු පිරිසුදු උපෙක්ෂාවෙන් සිහියත් ඇති වෙයි.

චතුරාර්ය සත්‍යය පිළිබඳ යථා තත්ත්වබෝධය සම්මා දිට්ඨියෙන් සිදු වෙයි. කම්සැප හැර දැමීමේ කල්පනා, ව්‍යාපාදයෙන් තොර මෛත්‍රී කල්පනා සහ හිංසාවෙන් තොර කරුණා කල්පනා සම්මා සංකප්ප අංගයට ඇතුළත් ය. ස්වකීය පෞද්ගලික හෝ සමාජයීය ජීවිතයේ දී සිල්වත්, ගුණවත් නුවණැති පුද්ගලයකු වීම සසරින් එතෙර වන මාර්ගයේ දී අත්‍යවශ්‍ය අංග වන බව පැහැදිලි වෙයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අටෙන් අදහස් කෙරෙන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණූු කර පුද්ගලයා පරිපූර්ණත්වයට පැමිණවීමයි. බොහෝ දෙනකු පින්දහම් කරනු ලබන්නේ සසර එපා වී සසරින් එතෙර වීමට නොව සසර පතාම බව බොහෝ විට දක්නට ලැබේ. එසේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක එක අංග වෙන වෙනම නොව පොදුවේ හැම ගුණාංගයක් ම එකවර සමගාමීව පුහුණු කළ යුතු ය.

සසරින් එතෙරවීමේ මාර්ගයේ දී චතුරාර්ය සත්‍යය සම්බන්ධව පුද්ගලයකු විසින් කළ යුතු කාර්යයන් හතරක් තිබේ.

දුක්ඛ සත්‍යයෙන් ජීවිතයේ ස්වභාවයත්, එහි දුක් දොම්නස් ස්වභාවය මෙන්ම අඩුපාඩුත්, එහි වෙනස් වන සුළු බවත් දැක්වෙන බැවින් එය සත්‍යයක් බව වටහාගත යුතුය. (පරිඤ්ඤෙය්‍ය)

තෘෂ්ණාව මුල් කරගෙන පවතින කෙලෙස් නිසා දුක හටගන්නා බව සත්‍යයක් බව වටහා ගත යුතු අතර, කළ යුත්තේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීමයි. නැති කිරීමයි. (පහාතබ්බ)

නිවන නම් සසරින් එතෙර වීමයි. නැවත උපතක් ඇති කරන තෘෂ්ණාව සහමුලින්ම ක්ෂය කිරීමයි. කාමච්ඡන්දාදී දස සංයෝජන ධර්ම බිඳහැර දමා ලබන අරහත්වයයි. (සච්ඡිකාතබ්බ)

මාර්ගය කොතරම් හොඳින් දැන සිටියත්, එපමණකින් ඵලයක් නොමැති බැවින් කළ යුත්තේ අරි අටඟි මඟ පිළිපැදීමයි, වැඩීමයි, පුහුණු කිරීමයි, ක්‍රියාත්මක කිරීමයි. (භාවේතබ්බ) අප්‍රමාදීව ඒ සඳහා වෙහෙස වෙමු.

පොසොන් පුර අටවක

මැයි 27 සෙනසුරාදා පූ.භා.
07.44 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]