[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ පළමු සඟ සමුළුව

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ පළමු සඟ සමුළුව

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ පළමු සඟ සමුළුව ඔස්ට්‍රියාවේ වියානා නගරයේ දී පසුගියදා ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ සභාපති වියානා ඤාණපෝණික බෞද්ධ මධ්‍යස්ථානාධිපති යුරෝපයේ සඟපති , වියානා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය විජයරාජපුර සීලවංශ නාහිමි සඟ සමුළුව ඇමතූ අයුරු

මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ක්වාලාලම්පූර් සෙන්තූර් බෞද්ධ මධ්‍යස්ථානාධිපති
බූටාවත්තේ සරණංකර නාහිමි දේශනය පැවැත්වූ අවස්ථාව

ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී ලංකා මහා විහාරයේ නිර්මාතෘ රත්මලේ පුඤ්ඤරතන නාහිමි සමුළුව ඇමතූ අයුරු

භික්ෂු සංගමය නියෝජනය කරනු ලබන ඉතාලිය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, නෝර්වේ, සයිප්‍රසය, ස්විට්සර්ලන්තය, ග්‍රීසිය, එංගලන්තය යන රටවලින් මෙන්ම ජපානය, මැලේසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය ආසියාතික රටවල වැඩසිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ හැට නමකට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී ඇත. භික්ෂූ සංගමයේ අභිනව සභාපති ධුරයට පත්ව ඇති වියානා ඤාණපෝණික බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඔස්ට්‍රියාවේ ප්‍රධාන සංඝනායක විජයරාජපුර සීලවංශ හිමිපාණන් වහන්සේගේ සත්කාරකත්වය යටතේ යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂූ සංගමයේ පළමු සඟ සමුළුව සංවිධානය කොට තිබිණි. ඔස්ට්‍රියානු රජයේ හා ඔස්ට්‍රියානු බෞද්ධ සංගමයේ විශේෂ අනුග්‍රහය ඇතිව සංවිධානය වූ මෙම සමුළුවේ මූලික අරමුණ වී ඇත්තේ යුරෝපීයයන් වෙත බුදුදහමේ පණිවිඩය රැගෙන යාම හා විදේශ ධර්මදූත සේවාව සඳහා ශ්‍රී ලාංකික තරුණ භික්ෂූන් වහන්සේ යොමු කරවීමටයි.

‍මෙම උත්සව අවස්ථාවේ දී මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ක්වාලාලම්පූර් සෙන්තූර් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බූටාවත්තේ සරණංකර නාහිමිපාණන් වහන්සේ " විදේශ රටවල ධර්ම ප්‍රචාරය කිරීමේදී ශ්‍රී ලාංකික භික්ෂූන්ගේ වගකීම" පිළිබඳ ප්‍රධාන දේශනය සිදුකර ඇත. එහිදී උන්වහන්සේ සිදුකළ දේශනය තුළ ප්‍රකාශ කොට ඇත්තේ ධර්ම දූත සේවයෙහි යෙදෙන භික්ෂූන් වහන්සේ ධර්ම ඤාණය මෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ කතා කෙරෙන කරුණාව, දයාව වැනි මානව ගුණධර්මයන්ගෙන් සන්නද්ධ විය යුතු බවයි.

එමෙන්ම උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් සිත්ගන්නා අයුරින් පැවැත්වීම තුළ අන් අයගේ ආකර්ෂණය නිතැතින් ම ලැබෙනු ඇති බවට ප්‍රකාශ කර ඇති නාහිමිපාණන් වහන්සේ තව දුරටත් සඳහන් කර ඇත්තේ බුදු දහමේ පදනම ප්‍රඥාව හා කරුණාව බවත්, ප්‍රඥාව මිනිස් මොළය ආමන්ත්‍රණය කරන අතර කරුණාව හදවතට ආමන්ත්‍රණය කරන බවයි. කරුණාවට හා ප්‍රඥාවට අන්තගාමී නොවී සමබරව පවත්වා ගැනීම තුළ සාර්ථක ධර්මදූතයන් වහන්සේ නමක් වෙනවා සේම නිවැරැදි ව සම්බුදු වදන් පුරුදු පුහුණු කරන්නකු බවටත් පත්විය හැකි බවයි. සරලව පටන් ගෙන ගැඹුරට යාම ධර්ම මාර්ගය යැයි ද දේශනය සිදුකරමින් බූටාවත්තේ සරණංකර හිමියෝ පවසා ඇත.

මෙම අවස්ථාවට සහභාගි වී ඇති මහාචාර්ය GISELHER GUTTMANN  මහතා සතිපට්ඨානය පාදක කරගෙන හරවත් දේශනයක් සිදුකරමින් ප්‍රකාශ කොට ඇත්තේ වසර 2500ක් ගත වුව ද භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කළ දහම කිසිදු භේදයකින් තොරව දේශ දේශාන්තරයන් තරණය කරමින් එහි වෙසෙන ජනී ජනයාට ලබාදෙන සැනසීම වචනවලට නැඟිය නොහැකි තත්ත්වයක් බවත්, විශේෂයෙන් උන්වහන්සේගේ සතිපට්ඨාන දේශනාවට අයත් නොවන දෙයක් මුළු විශ්වයෙහි නොමැති බවත්, සාර්ථක ජීවිතයක් සඳහා විශේෂයෙන් ම භෞතික ජයග්‍රහණයන් මෙන්ම ආධ්‍යාත්මික සුවය සාක්ෂාත් කරගැනීමෙහි ලා සතිපට්ඨානයෙහි උපයෝගීතාව විශ්මය දනවන සුළු බවත් ය. වැඩිදුරටත් කරුණු දැක්වා ඇති එතුමා සතිමත් බව ලෝකයට කියාදුන් මුනිවරයා ලෙසත්, සතිමත් බව තුළ පිහිටමින් විශ්ව යථාර්ථයන් පසක් කරගත හැකි බව හා ඒ තුළ සියලු දෙනාගේ අපේක්ෂාව වූ පරම ශාන්තිය භුක්තිවි¼දීම සඳහා මඟපෑදූ මුනිවරයා ලෙස හැමකල්හි ම අපගේ ප්‍රශංසාව උන්වහන්සේට හිමිවිය යුතු බවටත් ප්‍රකාශ කොට ඇත.

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ 2024 වර්ෂයේ සමුළුව පැවැත්වීමට ඉතාලිය විසින් සත්කාරකත්වය බාරගත් අවස්ථාව. සංගමයේ සභාපති හා ලේකම් විසින් ඉතාලිය නියෝජනය කරමින් සහභාගි වූ මහගම විපුලසිරි නාහිමි, යුරෝපයේ ප්‍රධාන සංඝනායක පැල්ගහතැන්නේ සීලවිමල නාහිමි හා ඉතාලියේ් ප්‍රධාන අධිකරණ සංඝනායක වතෝගල ධම්මික නාහිමිවරුනට නිල ධජය පිරිනැමූ අයුරු

විදේශීය භික්ෂුණීන් වහන්සේ කිහිප නමක්ම භික්ෂූ සංගමයේ පළමු සඟ සමුළුව අවස්ථාවට සහභාගි වී ඇති අතර ඒ අතරින් BHIKKHUNI PHALANNANI  එදිනෙදා ජීවිතයේදී අභියෝගවලට මුහුණදීමට බුදුදහමේ පෙන්වාදෙන විසදුම් පිළිබඳ ඉතා වටිනා දේශනයක් සිදුකර ඇත.


රෝමයේ ශාක්‍යමුනි විහාරාධිපති පූජ්‍ය
කටුවන සිද්ධත්ථ හිමි

ගැටලුවලට මුහුණදුන් විවිධ තරාතිරම්වල චරිත ත්‍රිපිටකය පුරා දැකිය හැකි බවත්, පුණ්ණ හාමුදුරුවන් වහන්සේගේ චරිතය එහිදී සුවිශේෂී වන බවත්, සුනාපරන්තයට ගමන් කරන්නට සූදානම් වන පුණ්ණ හිමියන් අමතා භාග්‍යවතුන් වහන්සේ අසන ප්‍රශ්න හා පුණ්ණ හිමියන් ලබා දෙන පිළිතුරු අපේ එදිනෙදා ජීවිතයට ලබාගත යුතු පූර්වාදර්ශන් වන බවත් ය. තවදුරටත් දේශනය සිදුකරමින් ප්‍රකාශ කොට ඇත්තේ භික්ෂූන් වහන්සේ විශේෂයෙන් මෙහිදී අවධාරණය කෙරෙන ඉවසීමේ ගුණය පුරුදු කළ පසු ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි බවත්, භාග්‍යවතුන් වහන්සේගේ දහම හැදෑරීමේ දී ගැඹුරු දහම් කරුණු මෙන්ම එකී දහම් කරුණු අවබෝධයෙහිලා සම්බුද්ධ චරිතය තුළ ප්‍රකට කෙරෙන යහගුණ වඩවාගැනීම තුළින් එදිනෙදා ජීවිතයේ දී පැන නඟින සමාජ ආර්ථික හා විවිධ ගැටලුවලට විසඳුම් සොයා ගත හැකි බවත් ය.

ඉදිරි දෙවසර සඳහා යුරෝපයේ ශී‍්‍ර ලාංකික භික්ෂු සංගමය සඳහා අභිනව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම ද යුරෝපය පුරා පිහිටි ශ්‍රී ලාංකික විහාරස්ථාන පිළිබඳව ද තොරතුරු ඇතුළත් කරමින් sibhikkhuassociationeu.org  නමින් නව වෙබ් පිටුවක් ද එළිදක්වා ඇත. එසේම 2024 වර්ෂයේ භික්ෂු සංගමයේ යහ පැවැත්වීම සඳහා සත්කාරකත්වය ඉතාලිය විසින් බාරගෙන ඇත.

ඔස්ට්‍රියාව බුද්ධාගම රාජ්‍ය ආගමක් බවට පත්කොට වසර 40ක් සම්පූර්ණ වීමත්, යුරෝපයේ භික්ෂු සංගමයක් පිහිටුවීමේ අවශ්‍යතාවයත් යන කාරණා දෙකට අමතරව වසර 41ක් ඔස්ට්‍රියාවේ ධර්මදූත සේවාවේ යෙදෙන වියානා ඤාණපෝණික බෞද්ධ මධ්‍යස්ථානාධිපති යුරෝපයේ සඟපති , වියානා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය විජයරාජපුර සීලවංශ නාහිමියන්ගේ 70 වෙනි ජන්ම දිනය ද මෙම සඟ සමුළුව පැවැත්වුණු දිනයට යෙදී තිබීම ද විශේෂත්වයක් විය.

පොසොන් පුර අටවක

මැයි 27 සෙනසුරාදා පූ.භා.
07.44 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]