[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදුරජාණන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥානය

බුදුරජාණන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥානය

එකවර ප්‍රාතිහාර්ය දෙකක් දක්වන ඥානය යමක ප්‍රාතිහාර්ය ඥාන නම් වේ. එය ශ්‍රාවකයන් විසින් නො ලැබිය හැකි ලොව්තුරා බුදුවරුන්ට පමණක් ලැබෙන විශේෂ ඥානයකි.

ප්‍රාතිහාර්ය කිරීම දුෂ්කර වැඩකි. එය රහතුන්ට අර්හත්වයේ අනුහසින් කළ හැකියක් නොවේ. රහත්වීමේ මාර්ගය අනිකකි. ප්‍රාතිහාර්ය කිරීමේ මාර්ගය අනිකකි. එබැවින් සියලු රහත්හු ප්‍රාතිහාර්යකරණයට සමත් නො වෙති.

ධ්‍යානලාභී වූ ඇතැම් පෘථග්ජනයෝ ද ප්‍රාතිහාර්ය කිරීමට සමත් වෙති. ධාන්‍ය ලැබූ තරමින් ම ද ප්‍රාතිහාර්ය නො කළ හැකිය. ප්‍රාතිහාර්ය කළ හැකි වීමට පළමුවෙන් අෂ්ටසමාපත්ති උපදවා ඒවා නැවත තුදුස් ආකාරයකින් පුරුදු කළ යුතු ය. ඍද්ධි ප්‍රාතිහාර්යය කළ හැකි තත්ත්වයට සමාපත්ති දියුණු කර ගත් පුද්ගලයෝ ම ඒවා කිරීමට සමත් වෙති. ප්‍රාතිහාර්ය කරන්නේ තුදුස් ආකාරයෙන් පුරුදු කොට දියුණු කර ගත් රූපාවචර පඤ්ච මධ්‍යාන චිත්තයේ බලයෙනි. එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තය අභිඥා චිත්ත නම් වේ.

යමක ප්‍රාතිහාර්ය ඤාණයයි, කියනුයේ ලොව්තුරා බුදුවරුන්ගේ අභිඥාචිත්තසම්ප්‍රයුක්ත ඥානයට ය. අභිඥාලාභියකුට මෙබඳු දෙයක් වේ වා යි නිකම්ම සිතීම් මාත්‍රයෙන් යම්කිසි ප්‍රාතිහාර්යයක් නොකළ හැකි ය. ඒ ඒ ප්‍රාතිහාර්යයන් කිරීමට ද වෙන වෙන ම පුරුදු කළ යුතු ය. යම්කිසි ප්‍රාතිහාර්යයක් කිරීමට වුවමනා ඒ ඒ කරුණ සිදු කිරීමට නිසි කසිණයෙක්හි පඤ්චමධ්‍යානයට සමවැදිය යුතුය. පඨවිකසිණ සමාපත්තියෙන් ගින්නක් හෝ දියක් ඇති කළ නොහැකි ය. ගින්නක් මැවීමට නම් එයට නිසි තේජෝකසිණ පඤ්චම ධ්‍යානයට සමවැදිය යුතු ය. ජලයක් මැවීමට නම් එයට නිසි ආපෝ කසිණසමාපත්තියට සමවැදිය යුතුය. මෙසේ ඒ ඒ ප්‍රාතිහාර්යය කිරීමේදී ඒ ඒ දෙයට නිසි සමවතකට සමවැදී ඉන් නැඟීමට අධිෂ්ඨාන චිත්තයට බලය ගත යුතු ය.

ඉක්බිති තමා කරන්නට යන ප්‍රාතිහාර්යය සිතින් සලකා මෙනම් දෙයක් වේවා යි පරිකර්ම කළ යුතු ය. එසේ කරන කල්හි බලාපොරොත්තු වන දෙය සිදු කරන අභිඥාභාවයට පැමිණි රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය නැවත ඇතිවේ. ඒ සිත ඇතිවනු සමඟ අදහස් කළ දෙය නිර්මාණය වේ. ධ්‍යානයෙහි වශී භාවය මද පුද්ගලයන්ට යම් කිසි ප්‍රාතිහාර්යයක් කිරීමට බොහෝ කල් ගත යුතු වේ. වශීභාවය වැඩි පමණට ඉක්මනින් ප්‍රාතිහාර්යය කළ හැකි ය.

තථාගතයන් වහන්සේට සමාපත්ති විෂයයෙහි අධික වශීභාවයක් ඇති බැවින් ඉතා ඉක්මනින් ප්‍රාතිහාර්ය කළ හැකි ය. ධ්‍යානයන්හි අතිශය වශීභාවයක් ඇත්තා වූ තථාගතයන් වහන්සේට ඉතා වේගයෙන් ඒ ඒ සමවත්වලට සමවැදීම, නැඟිටීම, අධිෂ්ඨාන කිරීම කළ හැකි නිසා ශරීරයේ එක් තැනකින් ජල ධාරාවක් පිට කරමින්ම අන් තැනකින් ගිනි කඳක් පිට කළ හැකි ය. එය යමක ප්‍රාතිහාර්ය යි. එය කළ හැකි නුවණ යමක ප්‍රාතිහාර්යයක් ඥානය යි.

(සූවිසි මහ ගුණය ග්‍රන්ථයෙනි)

පොසොන් පුර අටවක

මැයි 27 සෙනසුරාදා පූ.භා.
07.44 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]