[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

කළ පින් ගෙවී අවසන් වනවා නැවත නැවත පින් රැස් කරන්න

කළ පින් ගෙවී අවසන් වනවා නැවත නැවත පින් රැස් කරන්න

පින යනු යහපත් චේතනාවයි. දාන, ශීල ආදී යහපත් ක්‍රියාවන් කිරීමෙන් සිතේ ඇතිවන්නා වූ ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසලයන්ගෙන් වෙන් වූ යහපත් සිතිවිලියි. ඒ යහපත් චේතනාව නිසා මිනිස් සිත පිවිතුරු වේ. පිරිසුදු වේ.

අපිරිසුදු සිත, අපිරිසුදු ජලය මෙනි. අපිරිසුදු වූ ජලයෙන් බීමට, නෑමට ආදී වූ ප්‍රයෝජන ගත නොහැකි ය. එසේ ම අපිරිසුදු සිත යහපත් වූ ක්‍රියාවක යෙදිය නොහැකි ය. කැළඹුණු ජලයෙහි වූ අපවිත්‍ර දෑ ජලයේ යටට බැස ගත් විට හෝ සම්පූර්ණයෙන් ම ඉවත් වූ කල ජලයෙන් ප්‍රයෝජන ගත හැකි ය. එමෙන්ම මිනිස් සිතක ඇතිවන්නා වූ ලෝභාදි දූවිලි තදංග විෂ්කම්භන ප්‍රහාණයන්ගෙන් වශයෙන් යටපත් වූ විට හෝ සමුච්ඡේද ප්‍රහාණයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වූ විටක යහපත් ක්‍රියාවන්හි යෙදිය හැකි ය.

එසේ හෙයින් දානාදි පුණ්‍ය චේතනා අපිරිසුදු වී පවත්නා වූ සිතෙහි හට ගන්නා ලෝභාදි දූවිලි සෝදා හැර පවිත්‍ර කරන ධර්මයක් යැයි වටහා ගත යුතු ය.

පෙර අත්භවයක තමන් විසින් රැස් කරන ලද දානාදී පුණ්‍ය චේතනාවන් යම් අයෙක් තුළ ඇත්තේ ද එය පෙර කරන ලද පින් ඇති බව යැයි පැවසේ.

පින යනු මිනිස් සිත පිරිසුදු කරන ධර්මයකි. පිරිසුදු වූ සිතින් පවසන වචන පවිත්‍ර වූ සිතින් කරන ක්‍රියා නම් වූ මේ සියල්ලම මිනිසාගේ යහපත පිණිස ම දියුණුව පිණිසම පවතින්නේ ය.

“ඉධ නන්දති පෙච්ච නන්දති
කත පුඤ්ඤො උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතන්ති නන්දති
භීයො නන්දති සුග්ගතිං ගතො”

පින් කළ තැනැත්තා’ මෙලොව ද සතුටු වෙයි. පරලොව ද සතුටු වෙයි. දෙලොව ම සතුටු වෙයි. කිසි කලෙකත් පසුතැවීමට සිදු නොවේ. තමන් බොහෝ පින් කරන ලදැයි සිතමින් සතුටු වෙයි. සිහි මුළාව මරණයට පත් නොවේ. මරණින් මතු ද නිදා සිටි අයකු නින්දෙන් පිබිදෙන්නාක් මෙන් සුගතිගාමීව සුව විඳිමින් වඩ වඩාත් සතුටට පත්වේ.

පින නම් දෙවි මිනිස් සියලු සම්පත් දෙන්නා වූ උතුම් නිධානයකි. යම් දෙයක් යමෙක් පතන්නේ ද? ඒ සියල්ල පුණ්‍ය නිධානයක් සේ ලැබෙන්නේ ය.

මේ බුද්ධ ශාසනයෙහි ලාභීන්ගෙන් අග්‍රස්ථාන ලැබූ සීවලී මහරහතන් වහන්සේ යම් තැනක විසුවේ ද? වුවමනා ප්‍රමාණයටත් වඩා සිව්පසය ලැබූහ. ඒ වගේ ම “ලෝසක” තෙරුන් වහන්සේට කිසිම දිනෙක වුවමනා ප්‍රමාණයටවත් සිව්පසය නො ලැබිණි. උන්වහන්සේ පිරිනිවන්පාන දිනයෙහිදීවත් ප්‍රමාණවත් සේ දානය නො ලැබී තිබිණි. ඒ වගේ ම ඝෝසක සිටුතුමා ළදරු වයසේ දී සත් වරක්ම මරණයට පත් කරන්නට උත්සාහ කළහ. නමුත් පෙර කරන ලද පින නිසා ඒ හැම අවස්ථාවක දී ම නිදහස්ව සුවසේ වැඩී මහත්වූ සිටු සම්පත් පවා ලබන්නට හැකි විය.

මේ ආදී ලෙසින් පෙර බොහෝ පින් කළ, නො කළ උතුමන් ගැන සලකා බලන විට, දෙවියකු වුවත්, මනුෂ්‍යයකු වුවත්, ගිහි වුවත්, පැවිදි වුවත්, රහත් වුවත් වෙනසක් දක්නට ලැබෙන බව සත්‍යයකි. මේ නිසා මේ මනුෂ්‍ය ලෝකයේ වෙසෙන සියලු දෙනාට ම එකසේ ම පින උපකාර වන බව තේරුම් ගත යුතු ය.

පෙර පින් නැත්තා සැප සම්පත් ලැබීමට කොතෙක් වීර්යය කළත් එයින් යැපීමට පමණක් ධනය ලබයි. මහත් වූ ධනයක් නො ලබයි. පින් නො මැත්තාගේ සම්පූර්ණ ව්‍යායාමය මහත්වූ අනර්ථය පිණිස ද දුක පිණිස ද පවතී. පින් කළ තැනැත්තාගේ පරිභෝජනයට සුදුසු වූ වස්තුවක් හදිසියේ හෝ පින් නොකළ තැනැත්තකුගේ අත පත් වූයේ ද එය ඔහු සමීපයෙහි දීර්ඝ කාලයක් නො පවතී.

ඒ වගේ ම පින් නැත්තන් විසින් උපදවන්නා වූ බොහෝ යහපත් දේ ඔවුන්ගේ පරිභෝජනයට නො පැමිණ පින් ඇත්තවුන්ගේ පරිභෝජනයට ලැබෙයි. ඒ බව නුවණින් යුතුව ලෝකය දෙස බලන්නකුට පහසුවෙන් ම අවබෝධ කර ගත හැකි ය. උදාහරණයක් ලෙස මෙසේ සිතන්න. මිනිසුන් කණ්ඩායමක් විසින් අව්වේ වේලෙමින්, වැස්සේ තෙමෙමින් ගතේ වාරු නැති වෙන තරම් බර ඔසවමින් මාස ගණනක් හෝ අවුරුදු ගණනක් වෙහෙසී තැනූ අලංකාර වූ නිවසක අනිකෙක් සුව සේ වාසය කරයි. ගොඩනැඟූ අයට පසු කාලයක දී එම නිවසට ඇතුල්වීමට පවා ඉඩක් නො ලැබේ.

ඒ වගේම යමෙක් බොහෝ වෙහෙසී සැදු අලංකාර වූ සුව පහසු ඇඳ, පුටුවල අනිකෙක් සුව පහසුවෙන් නිදයි. හිඳ ගනියි. ඇඳ පුටු තැනූ පුද්ගලයා සමහර විටක වඩු මඩුවේ ලෑලි මැස්ස මත දුක සේ නිදාගෙන සිටියි.

මෙසේ පෙර කරන ලද පින් ඇති තැනැත්තා බොහෝ භවභෝග සම්පත් ලබා යම් කලක දි බුදුරජාණන් වහන්සේ කෙනකුගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයකුගේ ධර්ම දේශනාවක් ඇසීමෙන් සෝවාන් ආදී මාර්ග ඵලයන්ට ද පැමිණීමෙන් උතුම් වූ ලෝකෝත්තර වූ නිර්වාණ සම්පත්තිය ද ලබන්නේ යැයි කියැවේ.

එලෙස ම පින් මද පුද්ගලයාට දහසක් බුදුවරුන්ගේ ධර්ම දේශනාවලට සවන් දුන්නත් මාර්ග ඵලාවබෝධයක් නො වන්නේ ය.

මෙලොව වශයෙන් සැප ලැබීමට බොහෝ ලෙසින් උපකාර වනුයේ පෙර කරන ලද පිනම ය. පිනෙ හි ශක්තිය පවත්නා තෙක් නොයෙකුත් සැප සම්පත් ගෙන දෙන්නේ ය. පින විපාක දී ගෙවි ගිය පසු සියලු සම්පත්වලින් පිරිහෙන්නේ ය. ඒ නිසා ගොවියා නැවත නැවත අස්වැන්න ලැබීම පිණිස නැවත නැවත කුඹුරු වපුරන්නාක් මෙන් අප ද නැවත, නැවත පින් කළ යුතු ය.

පෙර පින් බලයෙන් අත්පත් වූ මෙලොව සැප සම්පත් අනුභව කිරීමෙන් පමණක් ම තෘප්තියට නො පැමිණ මෙලොව සැප සම්පත් තව තවත් තහවුරු වනු පිණිසත් මතු මතු ද සැප ලබනු පිණිසත් අප්‍රමාදව පින් රැස් කළ යුතු ය.

වෙසක් අව අටවක

මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ.
12 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]