[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සසුනඹරට පෑයූ සුපුන් සඳදෙවිනුවර සිරිසුනන්ද මහා යතිවරයාණෝ

සසුනඹරට පෑයූ සුපුන් සඳ දෙවිනුවර සිරිසුනන්ද මහා යතිවරයාණෝ

1923 මැයි මස 13 වැනි දින උපත ලැබූ උන්වහන්සේගේ දෙමාපියන් වූයේ, දෙවිනුවර සිංහාසන පාරේ, එම්.එච්. කරෝලිස් අප්පු මුදලාලි සහ එල්.එම් සංගෝහාමි මහත්මිය යි. එම පවුලේ කුළුදුල් දරුවා වූයේ, එම්.එච්. සිරිසේන දරුවා ය.

අධ්‍යාපනයට යොමු කළ යුතු වයස සම්පූර්ණ වීමත් සමඟ සිරිසේන දරුවා දෙවිනුවර සරණපාල විදුහලට ඇතුළත් කළහ. එහි 06 වන වසර ඉගෙනීම් කරමින් සිටිය දී, එවකටත් පැවිදි දිවියකට ඇතුළත් ව ශාසනික සේවයක් කරමින් සිටි සිරිසේන කුමරුගේ සීයා ගේ අදහසක් අනුව සිරිසේන කුමරුට ද, ශාසනික සේවයක් ඉටු කිරිමට අවස්ථාව උදා විය.

එවකට දෙවිනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටි දක්‍ෂ දෛවඥවරයෙක් සිරිසේන කුමරුගේ කේන්ද්‍ර පිටපත පරීක්‍ෂා කර ස්ථීර වශයෙන්ම මෙම කුමරු පැවිදි දිවියට ඇතුළත් කරන්නේ නම්, ඔහු සසුනඹර ඒකාලෝක කරන බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව සිරිසේන කුමරු සුගතෝදය පිරිවෙනට ඇතුළත් කිරිමේ අදහසින් එහි විහාරාධිපතීත්වය ඉසිලූ කහඳමෝදර පියරතන හිමි වෙත භාර කළහ.

දෙමාපියන්ගේ සහ පැවිදිව සිටි සීයාගේ අදහස සම්පූර්ණ කරමින් සිරිසේන කුමරු 1934 ජූනි මස 07 වැනි දින පැවිදි දිවියට ඇතුළත් වූයේ, දෙවිනුවර සිරිසුනන්ද නමින් ඉහත සුගතෝදය පරිවේණාධිපතිවරුන් වහන්සේලාගේ ආචාර්යත්වයෙනි. පැවිදි දිවියට ඇතුළත්ව කෝට්ටේගෝඩ සුගතෝදය මහ පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය හදාරමින් සිටිය දී, ඒ බව දැනගත් එවකට දෙවිනුවර රාජමහා විහාරාධිපතිව සිටි දෙවිනුවර සිරිනිවාස හිමියෝ තමන්හට ශිෂ්‍ය රත්නයක අවශ්‍යතාව බලවත්ව පැවැතිය දී, තම ඥාතීත්වය ද සලකා සුනන්ද සාමණේර හිමියෝ 1941 වෙසක් පොහොය දින විහාරස්ථානයට කැඳවා එහි නේවාසිකව වැඩ වසන ලෙස දන්වා සිටියහ. මේ වන විට සිරි සුනන්ද හිමියෝ උපසම්පදා ශිලය පිහිටවීමට අවශ්‍ය සියලු බණ දහම් සපුරා ඇති බැවින් 1943 ජූනි මස 23 වන දින දොඩන්දුව උපසම්පදා සීමා මාලකයේ දී, දෙවිනුවර සිරිනිවාස නායක හිමියන්ගේ ශිෂ්‍යයෙක් ලෙස උපසම්පදා ශීලයට ඇතුළත් විය.

එම උපසම්පදා ශිලයෙන් පසු දොඩන්දුව විහාරස්ථානයේ රැඳී සිටිමින් සමාජ සේවා සහ ආගමික කටයුතුවලට මුල් තැන දෙමින් දායකයන් සමඟ ප්‍රදේශයට අමතක නොවන සේවයක් ඉටු කළහ.

සිරිසුනන්ද හිමියන්ගේ කාර්යශූරත්වය ගැන දැනගත් එවකට සේරුවාවිල මංගල රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ දඹගස්ආරේ සිරි සුමේධංකර නා හිමියෝ උන්වහන්සේට එම විහාරස්ථානයට වැඩම කරවන ලෙස ඉල්ලා සිටියේ, එම දෙපාර්ශවයේ ම පරම්පරාගත ඥාතීන් බැවිනි.

එම ඉල්ලීම පරිදි ගුරු හිමි දෙවිනුවර සිරිනිවාස හිමියන්ගේ අවසරය පරිදි 1950 ජූලි මස සේරුවාවිල මංගල රාජමහා විහාරස්ථානයට වැඩම කර එම ඓතිහාසික පින්බිම දායක කාරකාදීන් සමඟ කටුකොහොල් හරවා ඉතාමත් ආකර්ෂණීය ලෙස සකස් කළහ. මංගල රාජමහා විහාරස්ථානයට සැතපුම් 06 ක් පමණ දුරින් පිහිටි ඇල්ල ගොවි ව්‍යාපාරයට අයත් ගම්මාන කීපයක් එක් කර “සෝමපුර” නමින් නවතම ගම්මානයක් ද බිහිකර එය “සෝමපුර” නමින් රජයේ ලියාපදිංචිය ලබා ගැනීමට කටයුතු කළහ.

මේ කාලය තුළ දෙවිනුවර රාජමහා විහාරස්ථානයේ කටයුතු සඳහා ද ශිෂ්‍ය නමකගේ අවශ්‍යතාව ඉතා තදින් වටහා ගත් එහි නාහිමියන් නැවත දෙවිනුවර රාජමහා විහාරස්ථානයට (පරම විචිත්‍රාරාම මහා විහාරස්ථානයට) වැඩම කරවන ලෙස දැනුම් දෙනු ලැබීය. ඒ අනුව දෙවිනුවරට වැඩම කළ සිරිනන්ද හිමියෝ එහි විහාරාධිපතීත්වය ඉසිලු දෙවිනුවර සිරිනිවාස හිමියන්ගේ අපවත් වීමෙන් පසු 1963 දී එහි නායකත්වයට පත්විය.

1971 දී කල්‍යාණවංශික නිකායේ කාරක සංඝ සභික ධූරයට පත්ව 1974 දී තම සංඝ සභාව මගින් මාතර හම්බන්තොට දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක ධූරයෙන් ද සම්මාන ලබා 1978 දී “ශ්‍රී සරණපාල වංශාවතංසලංකාර වාගීස්වර” යන ගෞරව සම්මානය සහිතව අමරපුර කල්‍යාණවංශ මහ නිකායේ ප්‍රධාන සංඝනායක ධූරයට 1978 දී කල්‍යාණවංශ මහ නිකායේ ඒකමතික තීරණය අනුව පත්කර ගන්නා ලදී.

වර්ෂ 2001 ජූනි මස 23 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ බෞද්ධ දර්ශනය පිළිබඳ සංඝ සභාව මඟින් උන්වහන්සේට “ආචාර්ය” යන ගෞරව සම්මාන උපාධියක් පුදනු ලැබීය.

මේ වන විට සිය ජීවන ගමනේ 100 වැනි සැතපුම් කණුවත් පැවිදි දිවියේ 90 වැනි වියත් පසු කරමින් සිටින අප කතා නායකයාණෝ තනතුරු පසුපස හඹා නො ගියහ. බුදුපියාණන් වහන්සේ වදාළ පරිදි සංඝ සෝභන ගුණ ගරුත්වය තුළ
රැඳී සිටිති.

මේ වන විටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින දායක කාරකාදීන්ගේ යුතුකම් ඉටු කරමින් අපේ නායක හිමියන් සියවසක් ඉක්මවා ගියත් සමාජයට හා ශාසනයට සේවය කිරිමට චිරාත් කාලයක් වැජඹේවා'යි ප්‍රාර්ථනා කරමි. 

වෙසක් අව අටවක

මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ.
12 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]