[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ශ්‍රද්ධාව ධන නිධානයකි

ශ්‍රද්ධාව ධන නිධානයකි

අද උතුම් වෙසක් පුර පසළොස්වක පෝය දිනය. ලෝක බෞද්ධයින් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ උතුම් දිනයේ දී මා දේශනා කරන්නට සූදානම් වන්නේ ශ්‍රද්ධාව නමැති වටිනා ධර්ම කාරණය පිළිබඳව යි.

මුතු මැණික් වැනි වටිනා වස්තුව පිරුණු මාර්ගයක මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. එක් අයකුට අත් දෙකම නෑ. අනෙකාට අත් දෙකම තියෙනවා. කොයිතරම් වස්තුව මඟ දෙපස තිබුණත් දෑත් අහිමි කෙනාට ඒවා අරගන්න බෑ. ඒ ධනයෙන් සැපතක් ලබාගන්න බෑ. ඒත් දෑත තියෙන කෙනා දෝතටම ඒ වස්තුව පුරව ගන්නවා.

ඒ වගේම සංසාර ගමනේ සම්මා සම්බුද්ධ ශාසනයක් හමුවීම හරියට මාර්ගය දෙපස ධන නිධානයක් හමුවීමක් වගේ. ශ්‍රද්ධාවන්තයා ඒ සම්බුද්ධ ශාසනය තුළින් මුතු මැණික් වැනි බොහෝ කුසල් උකහා ගන්නවා. ශ්‍රද්ධාව නැති කෙනාට කිසිදු කුසලයක් රැස්කර ගන්නට බැරිව දුක සේ සසර ගමන් කරන්නට සිද්ධ වෙනවා.

ශ්‍රද්ධාව කියන්නේ සම්බුද්ධ ශාසනයක් තුළ ධන නිධාන වැනි කුසල් දහම් රැස් කරගන්න තියෙන අත් දෙකක් වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ , “සද්ධා හත්ථං” ශ්‍රද්ධාව අතක් වගේ කියලා දේශනා කළා. කුසල් වඩන්න, නිවන් මඟ ප්‍රගුණ කරන්න, ශ්‍රද්ධාව මහා උපකාරයක් බවයි එයින් අදහස් කරල තියෙන්නෙ.

නිවන් මාර්ගය තුළ කෙලෙස් නැසීමට මහා බලයක් වන නිසා ‘සද්ධා බලය’ ලෙසත්, නිර්වාණය කරා යන ගමනේ නායකත්වය ,අධිපතීත්වය දරන නිසා ‘සද්ධා ඉන්ද්‍රිය’ ලෙසත් ශ්‍රද්ධාව අර්ථ ගන්වල තිබෙනවා.

නිවන් මඟට මෙවැනි මහා උපකාරයක් සිදුකරන ශ්‍රද්ධාව පිළිබඳ අපි මැනවින් දැන ගතයුතුයි.

‘සද්ධා, සද්ධාපතිරූපක’ යනුවෙන් පද දෙකක් අපට හමුවෙනවා. මෙහි සද්ධා කියන්නෙ සැබෑ ශ්‍රද්ධාව. සද්ධාපතිරූපක කියා කියන්නෙ සැබෑ ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධාව වගේ එකක්. අන්‍යාගමිකයන් අතර තියෙන අන්ධභක්තියට ඔවුන් ශ්‍රද්ධාව කියා කීවත් එය සැබෑ ශ්‍රද්ධාව නොවෙයි. ශ්‍රද්ධාව වැනි ප්‍රතිරූපකයක් පමණයි. එය නිවන් මඟට උපකාරී වන්නේ නෑ.

ඊළඟට අපිට ‘පසාද සද්ධා’ කියලා වචනයක් බුදුදහම තුළ දකින්න ලැබෙනවා. අවබෝධය ඇතිව හෝ නැතිව ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවෙන ප්‍රසාදය , සතුට , පැහැදීම මෙහිදී අදහස් කෙරෙනවා.

මෙය තිරිසන් සතුන්ට පවා සුගති මාර්ගය පිණිස හේතු වෙනවා. අතීතයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දිනක් ගවමස් වෙළෙන්දෙක් තරුණ ගවයෙක් වැඩි මුදලක් දී මිලදී ගෙන පහර දිදී බලෙන් දක්කාගෙන යනවා.

එදා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් මාර්ගයේ වැඩම කරනවා. ඒ ආශ්චර්යවත් මහා පුරුෂයාණන් වහන්සේ නෙතින් දැක බලා ගන්නට, මලින් සුවඳීන් පුදන්නට ප්‍රදේශයේ මිනිසුන් සාධුකාර දෙමින් මාර්ගය දෙපස පිරිවරා ගත්තා.

මේ මාර්ගයේ ම අනිත් පැත්තෙන් තමයි ගව ඝාතකයා විසින් අහිංසක අසරණ ගව පැටියා මරන්නට වධ දිදී ඇදගෙන එන්නේ. ඒ ගව පැටියා කාගෙන්ද මට පිළිසරණක් පිහිටක් තියෙන්නෙ කියලා වටපිට බල බලා කඳුළු වගුරනවා. එක පාරටම භික්ෂූන් වහන්සේ පිරිවරා සවණක් ගණ රශ්මියන් බබළමින් වඩින ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැක්කා. තිරිසන් සතෙකුට පවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසීමිත මහා කරුණා ගුණය දැනෙනවා. ගවයා පුලුවන් තරම් ඒ දිශාවට දුවන්න උත්සාහ කළා. ගව ඝාතකයා යන්නට නොදී කඹය තදින් අල්ලා ගත්තා.ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන් ගව පැටියා දෙස බලා සිටියා. සැදැහැවත් මිනිසුනුත් මේ සිද්ධිය හොඳීන් බලාගෙන සිටියා.

කඹේ කඩාගෙන වසු පැටියා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සමීපයට දුවගෙන ආවා. මා බේරගන්න කියන්නා වාගේ සම්බුදු සිරිපතුල් ළඟ වැටිලා සිරිපතුල් සිඹින්නට පටන් ගත්තා.

ඒත් ගව ඝාතකයා නැවතත් ගවයා ළඟට ඇවිත් කඹය බැඳලා ගව පැටියා මරන්න ගෙන යන්න අදිනවා. ඒ වෙලාවේ මිනිස්සු ඉදිරිපත් වෙලා මුදල් දීලා ගව පැටියා මරණයෙන් මුදා ගත්තා. අභය දානය ලැබූ ගවපැටියා කඳුළු වගුරවමින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිරිපා නැවත, සිඹිනවා. සැදැහැවතුන්ටත් සතුටට නෙත්වලට කඳුළු ආවා.

ගව පැටියා මද වේලාවකින් ගියා. යන ගමනුත් හරිම ප්‍රසාදයෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙස හැරි හැරී බැලුවා. ඒ වෙලාවේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කළා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් දන්තාග්‍රය පෙන්වා මද සිනා නඟද්දි, සතර දළදා වහන්සේලාගෙන් සුදුපාට දීප්තිමත් බුද්ධ රශ්මියක් විහිදිලා දක්ෂිණාවෘතව කැරකිලා සිරස පිටුපසින් අතුරුදන් වෙනවා. ඒ අසිරිමත් බුද්ධ රශ්මිය දුටු ආනන්ද තෙරුන් වහන්සේ ඊට හේතුව විමසා සිටියා.

“මේ ගව පැටියා සැදැහැවතුන් මුදල් දී නිදහස් කළා. ඒ නිසා මා ලොව්තුරා බුදු කෙනකු බව හඳුනා නොගත්තත් මා පිළිබඳව මහ ප්‍රසාදයක් ගව පැටියාගේ සිතේ ඇති වුණා. ඒ පිනෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙව් ලොව උපදිනවා. එහි ආයු ඇති තෙක් දිව්‍යමය සැප විඳලා තව්තිසාවේ උපදිනවා. එයින් නැවත යාම දෙව් ලොව, සංතුසිත දෙව්ලොව , නිම්මානරති දෙව්ලොව, පරනිම්මිතවසවත්ති දෙව්ලොව යන දිව්‍ය ලෝකයන්හි උපත ලබනවා. මේ විදියට බොහෝ කාලයක් ආරෝහණ, අවරෝහණ වශයෙන් දිව්‍ය ලෝකවල සැරිසරනවා.

අවසාන භවයේ දී මේ මිනිස් ලොව ඉපදිලා මා කෙරෙහි ඇතිකර ගත් ප්‍රසාද මාත්‍රය නිසා අශෝකවර්ණ යන නමින් පසේ බුද්ධත්වයට පත්ව අමා මහ නිවනින් නිවී සැනසෙනවා”

යනුවෙන් ගව පැටියාගේ අනාගතය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා.

මෙතැනදි අපිට තේරුම් ගන්න පුලුවන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව තිරිසන් සතෙක් තුළ පවා ඇති වූ ශ්‍රද්ධා මාත්‍රයත් කොයිතරම් සැපය පිණිස හේතුවෙනවද කියලා.

“සද්ධහති තථාගතස්ස බෝධි” යනු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීමයි. අදහාගැනීමයි. නිකං නෙමෙයි. ගුණදැන අදහාගැනීමයි.

මෙහි තව ප්‍රභේද කිහිපයක් තිබෙනවා.

සද්ධහන ලක්ඛණ සද්ධා - ත්‍රිවිධ රත්නයේ ගුණ දැන අදහාගැනීම. විශ්වාසය ඇති වීම,

සම්පසාදන ලක්ඛණ සද්ධා - ත්‍රිවිධ රත්නයේ ගුණ අසන, සිතන, විමසන විට සිත ප්‍රසාදයට පත්වන ශ්‍රද්ධාව,

සම්පක්ඛන්දන ලක්ඛණ සද්ධා - ධර්ම මාර්ගයට බාධා පැමිණෙන විට ඒවා නොතකා ඉදිරියටම යෑමට තරම් බලවත් වූ ශ්‍රද්ධාව,

ඔකප්පන ලක්ඛණ සද්ධා - කිසිම කරුණක් නිසා නොසෙල්වෙන , නොවෙනස් වන ඉතා බලවත් ශ්‍රද්ධාව,

ආගම සද්ධා - මහ බෝසත්වරුන්ට පෙරුම් පිරීම සඳහා නැවත නැවත භවයක් භවයක් පාසා ඇතිවන ශ්‍රද්ධාව,

අධිගම සද්ධා - මාර්ගඵල අවබෝධය සමඟ තහවුරු වන ලෝකෝත්තර ශ්‍රද්ධාව වශයෙන්.

මේ ‘ශ්‍රද්ධාව‘ නැවත නැවත උපකාරක ධර්ම සපයමින් දියුණු කළයුතු ධර්මයක්.

ශ්‍රද්ධාව ඇතිවීමට පදනමක්, මූලයක් තිබෙනවා. ඒ පදනම මූලය තමයි සෝතාපත්ති අංග හතර.

බුදු ,පසේබුදු ,මහරහතන් වහන්සේලා, ධර්මධරයන් වැනි සත්පුරුෂ උතුමන් ඇසුරු කරන්නට ලැබීම. සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීම, ඒ ධර්මය නුවණින් විමසීම හා ඒ ධර්මයට අනුව ප්‍රතිපදාව පිරීම යනු ඒ අංග හතරයි.

මේ අංග හතරෙන් කියැවෙන්නේ ධර්මානුකූල ප්‍රඥාව, ධර්මානුකූල නුවණ වැඩීම පිළිබඳව යි.

එම පදනම, මූලය හෙවත් ධර්මානුකූල නුවණ සමග තෙරුවන් ගුණ දැන ඇතිවෙන ආකාරවතී ශ්‍රද්ධාවයි නිර්වාණාවබෝධයට හේතු වන්නේ.

නුවණින් තොර අමූලිකා ශ්‍රද්ධාව නිර්වාණාවබෝධයට එතරම් උපකාරී වෙන්නේ නෑ. නමුත් සුගතිගාමී වීමට උපකාරී වෙන අවස්ථා තිබෙනවා. සසර දුක හඳුනන, නිර්වාණාවබෝධයට උත්සාහ කරන සියලු දෙනාම ශ්‍රද්ධාව බෝධි පාක්ෂික ධර්මයක් කියලා තේරුම් අරන් එය ක්‍රමයෙන් දියුණු කරන්නටත්,

නිතර සත්පුරුෂයන් ඇසුරු කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, අසන ධර්මය නුවණින් විමසමින්, ධර්ම ප්‍රතිපදාව පුරමින්, ශ්‍රද්ධාව දියුණු කරන්නට ඕනේ.

එසේ දියුණු වන ශ්‍රද්ධාව දියුණු වන්නේ ධර්මානුකූල ප්‍රඥාවත් සමඟයි. එනිසා එම ශ්‍රද්ධාව නොසෙල්වෙන , වෙනස් නොවන මට්ටමට දියුණු වූ විට සෝවාන් ආදී මාර්ගඵල අවබෝධය කරන්නට හැකි වෙනවා.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]