[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේට පූජෝපහාර දක්වමු

ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේට පූජෝපහාර දක්වමු

දාන ,සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල සඳහන් වෙන දානය ආමිස පූජාවට ඇතුළත් වෙනවා. සීල,භාවනා ප්‍රතිපත්ති පූජාවට ඇතුළත් වෙනවා. නමුත් දාන,සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පූණ්‍ය ක්‍රියාව ම නිවන් මඟ සඳහා අවශ්‍ය වෙනවා. ආමිස පූජාව බැහැර නොකළත් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව තුළ වටිනාකමක් තිබෙන බව අප අවබෝධ කරගෙන කටයුතු කිරීම තමයි වැදගත්.

වර්තමානය වන විට ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාව වඩාත් පුළුල් පරාසයක විහිදුවාගෙන කටයුතු කරනවා. නමුත් සීල පූරණය හා භාවනා පූරණය වැඩිය යුතුමයි. එහෙත් අපි තෙමඟුල සිහිපත් කරන අදහසින් බුදුහාමුදුරුවන්ට කරන ගෞරවයක් වශයෙන් වෙසක් තොරණ, වෙසක් කූඩු, වෙසක් සැරසිලි, දන්සැල් ආදී දේවලින් අද වෙසක් සමය ආලෝකවත් කරල තිබුණත්, සීල පූරණය, භාවනා පූරණය වැනි ප්‍රතිපත්ති පූජාවන්ට වැඩි නැඹුරුතාවක් දක්වන්නේ නැහැ. මේ හැම වැඩකින් ම සිදුවන්නේ අපේ මනස තුළ යම්කිසි තාවකාලික වින්දනයක් ඇති කිරීම පමණයි. එම ස්වභාවය බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ.

වරක් වක්කලී බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන සිටි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වක්කලී ආමන්ත්‍රණය කරමින් දේශනා කරන්නට යෙදුණේ රූපකාය දෙස බලාගෙන සිටීම පලක් නොවන ක්‍රියාවක් නිසා එය අතහැර දමා බුදුරජාණන් වහන්සේ දැකීමට අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලව ධර්මානුකූල වැඩපිළිවෙළක් සකස් කරගෙන ඒ අනුව ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමෙන් පමණක් බුදුරජාණන් වහන්සේ දැකිය හැකි බවයි. බුදුරජාණන් වහන්සේ සෑම අවස්ථාවකම ප්‍රතිපත්ති පූජාව අගය කළා.

න ඛො ආනන්ද එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතො වා පූජිතො වා අපවිතො වා යො ඛො භික්ඛුවා භික්ඛුනී වා උපාසකො වා උපාසිකාවා වා ධම්මානු ධම්මපටිපන්නො විහරති සාමීචිපට්පන්නො අනු, ධම්මචාරී සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති පරමාය පූජාය තස්මාතිහානන්ද ධම්මානුධම්ම පටිපන්නා විහරිස්සාම සාමිචිපටිපන්නා අනුධම්මචාරිනොති එවඤ්හි වො අනන්ද සික්ඛිතබ්බන්ති ( පරිනිබ්බාන සුත්ත)

ආනන්දය, මෙතෙකින් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ හෝ, ගරු කරන ලද්දේ හෝ, සිතින් ආදරය කරන ලද්දේ හෝ, පූජා කරන ලද්දේ හෝ, අභිවාදනාදිය කරන ලද්දේ හෝ නොවේ. යම් භික්ෂුවක් හෝ, භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ, උපාසිකාවක් හෝ නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙමින් වෙහෙසි නම්, නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්යෙහි යෙදෙමින් වෙසෙයි නම්, හෙතෙමේ තථාගතයන් වහන්සේට සත්කාර කෙරේ. ගරු කෙරේ. සිතින් ආදරය කෙරේ. අභිවාදනාදිය කෙරේ. ආනන්දය එබැවින් තෙපි නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ වෙමු. යයි ද , ධර්මයට අනුව හැසිරෙන්නමෝ වෙමු යයි ද මෙසේ හික්මිය යුතු ය.

යො පන තිසු සරණෙසු පඤ්චසු සීලෙසු දසසු සීලෙසු පරිපූරකාරී හොති මාසස්ස අට්ඨ උපොසථෙ කරොති, දානං දෙති,ගන්ධ පූජං මාලා පූජං කරොති, මාතරං උපට්ඨාති,පිතරං උපට්ඨාති,ධම්මිකෙ සමණබ්‍රාහ්මණෙ උපට්ඨාති,අයං ධම්මානුධම්ම පටිපන්නො නාම හොති .

යමෙක් තිසරණය, පඤ්චශීලය, දසසීලය සම්පූර්ණ කෙරේ ද, මාසයෙහි පොහෝ දින පෙහෙවස් වෙසේ ද, දන් දෙයි ද, සුවඳ පූජා කෙරේ ද, මල් පූජා කෙරේ ද, මවට උපස්ථාන කෙරේ ද, පියාට උපස්ථාන කෙරේ ද, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේ ද, ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය.

යනුවෙන් බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ දී ප්‍රතිපත්ති පූජාවේ වැදගත්කම පෙන්වාදීලා තිබෙනවා.

මොළය නොවැඩුණු, ප්‍රඥාව නොවැඩුණු මිනිසුන් තුළ ශ්‍රද්ධාව ගොඩනඟා ගැනීමට ආමිස පූජාව යමිකිසි සාධකයක් වෙන්න පුළුවන්. අපි නිතරම ආමිස පූජාව පැත්තට පුද්ගලයන් නැඹුරුකර ගැනීම එතරම් වැදගත් නැහැ.

දානයක් දෙනවා කියන එක අපි අර්ථ ගැන්විය යුත්තේ සාධාරණව උපයා ගත් දෙයක් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මහා සංඝරත්නය වෙනුවෙන් පරිත්‍යාගී චේතනාවකින් යුක්තව දෙන දීමනාවක් වශයෙන් . එහෙම නැතිව දානයක් දෙනවා කියලා කේටරින් සර්විස් එකෙන් මොනවා හෝ කෑම ටිකක් ගෙනත් දීම දානයක් හැටියට මම විශ්වාස කරන්නේ නැහැ.

සිත එකලස් කර ගැනීමට භාවනාවක යෙදෙමින් මේ භවයේ දී ම විමුක්තිය ලබා ගන්නා උත්සාහයක යෙදෙන්න කටයුතු කළ යුතුයි. බුදුහාමුදුරුවන්ට කරන ගෞරවයත් ඒකයි. හැම අවස්ථාවක නිත්‍ය පංචශීලය ආරක්ෂා කරගන්න අවශ්‍යයි. පෙහෙවස් සමාදන්වීම ආරක්ෂා කරගන්න අවශ්‍යයි. පුළුවන් හැම අවස්ථාවක ම තමන්ගේ සිත තුළ ඇති වන්නාවූ ද්වේශය යටපත් කරන්නා වූ උත්සාහයක යෙදෙන්න අවශ්‍යයි. මෝහය නැති කර ගන්න. කරුණාව වර්ධනය කර ගන්න. ඉවසීම ඇති කර ගන්න,මෛත්‍රිය ඇති කර ගන්න උත්සාහයක යෙදෙන්න අවශ්‍යයි. සෑම අවස්ථාවක ම එම ගුණ ධර්ම වර්ධනය කර ගන්නා වැඩපිළිවෙළක පුද්ගලයා නිරන්තරයෙන් ම කටයුතු කළ යුතු ම යි. ඔහු නියම භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක් උපාසිකාවක් නම් ජීවිත කාලය පුරාවට ම බුදුහාමුදුරුවන් දේශනා කළ නිවැරැදි ගමන් මඟට අනුව නිරන්තරයෙන් ජීවිතය ගත කරන්න හුරු කර ගත්තොත් ඒ තුළ නිරාමිස සතුටක්, ප්‍රීතියක් ඇතිවෙනවා. එම ප්‍රතිපත්ති අපේ ජීවිතය තුළ හැමදාම පවත්වාගෙන යාමෙන් අපිට විශාල චිත්ත ශක්තියක් ඇතිවෙනවා. එවිට නිරාමිස සතුටක්, ප්‍රීතියක් දැනෙනවා. එම නිරාමිස ශක්තිය වර්ධනය කර ගැනීම තමයි කළ යුතු වන්නේ.

තමන්ගේ ජීවිතය නිවැරැදිව ගතකිරීම බුදුහාමුදුරුවන්ට කරන ගෞරවයක්. බුදුහාමුදුරුවෝ හඳුන්වාදී තිබෙන සීලමය ප්‍රතිපත්ති මාලාව තමන්ගේ ජීවිතයට උකහාගෙන, තමන් ඒ අනුව නිවැරැදිව ජීවිතය ගතකිරීම තමයි ප්‍රතිපත්ති පූජාව බවට පත්වන්නේ. තමන්ගේ සිතත් ඒවගේ දමනය කර ගැනීම අවශ්‍යයි.

අතීත අත්දැකීම් ,අතීත අරමුණු ඔස්සේ නිරන්තරයෙන් බැසගෙන ගමන් කරන ස්වරූපයක් තිබෙනවා. අනාගතයේ තිබෙන අරමුණු පිළිබඳ බැසගෙන, ලුහුබැඳගෙන ගමන් කරන ස්වරූපයක් තිබෙනවා. අපි අතීත අත්දැකීම් අත්දැකීම්වලට පමණක් සීමාකරගෙන කනගාටු වෙන අතීතයක් පමණක් තබා ගැනීම අවශ්‍ය නැහැ. අනාගතේ සිහින මවාගෙන සිහින මැද ජීවත්විය යුතු නැහැ. අනාගතේ සැලසුම් මතයි ජීවත්විය යුතුවන්නේ. මගේ ජීවිතය කොහොමද නිවැරැදි කර ගෙන කටයුතු කළ යුතු වන්නේ කියන කාරණාව. තමන් නිරන්තර අවධියෙන්, සිහි කල්පනාවෙන් යුක්තව, මනස පිළිබඳ අවබෝධයෙන් යුක්තව, වැරැදි අරමුණුවල එල්බ නොගෙන, නිවැරැදි තැනක රැඳීමට හැම විටම උත්සාහ කළ යුතුයි. සැම විටම නිවැරැදි දෙයම කළ යුතුයි. ඒ වගේම හැම අවස්ථාවක ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල තිබෙන සීලය හා භාවනාව දියුණු කර ගන්න භාවනාව පිළිබඳ අවබෝධයෙන් යුක්තව තමන් නිවැරැදිව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමට පුළුවන් ආකාරයෙන් තමන්ගේ වැඩපිළිවෙළ සකස් කර ගැනීම කළ යුතුයි.

අපේ ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් නැති කිරීමේ මාර්ගය කියා දුන් උත්තමයාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ මොහොතේ ඒ කාර්යභාරය ඇගයීමකට ලක්කරන්න නම් උන්වහන්සේ කියාදුන් ගමන් මාර්ගයේ ගමන් කිරීම තමයි ප්‍රතිපත්ති පූජාව වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාවෙන් තොරව පුද්ගලයකුට සැනසුමක් නැහැ. ඒ සැනසුම වර්ධනය කර ගන්න නම්, ආමිස පූජා පදනම් කරගත් ප්‍රතිපත්ති පූජාවකට යොමුවීම කළ යුතුමයි. මේ වෙසක් කාලය තුළ සෑම බෞද්ධයකුම සිතට ගත යුතු කාරණයත් ඒකමයි.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]