[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මාර්ග සත්‍යය: දැනුම සඳහා නොව භාවිතය සඳහා පුරුදු කළ යුතු ප්‍රතිපදාව

දැනුම සඳහා නොව භාවිතය සඳහා පුරුදු කළ යුතු ප්‍රතිපදාව

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් විමුක්ති ප්‍රතිපදාව ප්‍රථම වරට ලෝකයට ආනාවරණය කරන ලද්දේ බරණැස ඉසිපතනයේ දී පංච වර්ගීය භික්‍ෂූන් අමතා කරන ලද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මඟිනි.

සමස්ත බුදුසමයේ පදනම වූ චතුරාර්ය සත්‍ය දේශනාව එහි අන්තර්ගතය වන අතර සෙසු බුද්ධ හා ශ්‍රාවක දේශනා සියල්ල ඍජුව හා වක්‍ර වශයෙන් එය හා බැඳී පවතී. මහා හත්ථිපදෝපම සූත්‍රයේ දැක්වෙන පරිදි සියලුම සතුන්ගේ පා සටහන් ඇතකුගේ පා සටහනෙහි අන්තර්ගත කළ හැකිවාක් මෙන්ම සියලුම කුසල් දහම් චතුරාර්ය සත්‍ය දේශනාවෙහි අන්තර්ග්‍රහණය කළ හැකි යැයි දම් සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ විසින් වදාරණ ලදී.

විමුක්ති ප්‍රතිපදාවෙහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය නියෝජනය කරන මාර්ග සත්‍යය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යනුවෙන් අංග අටකින් සමන්විත වේ. එම අංග අට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් ත්‍රිවිධ ශික්‍ෂාව යටතේ සම්පිණ්ඩනය කර ඇත. සසර දුක නිර්මාණය වන ප්‍රධානතම හේතුව වන තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙහිලා අනුගත ප්‍රතිපදාව ආචාර විද්‍යාත්මක (ශීල) මනෝවිද්‍යාත්මක (සමාධි) හා දාර්ශනික (ප්‍රඥා) යනුවෙන් පදනම් තුනකින් සමන්විත වේ.

විමුක්තිය උදෙසා පමණක් නොව එදිනෙදා ජීවිතයේ දී භෞතික දියුණුව අපේක්‍ෂා කරන සැම අයකුටම අරි අටගි මග අනුගමනයෙන් වර්තමාන ජීවිතයේ දී ම සසර දුක නිමා කළ හැකි අතරම, ලෞකික සමෘද්ධිය ද අත්පත් කර ගත හැකි ය.

ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගීතාව විමුක්තිය උදෙසා පමණක් නොව සමාජ ආර්ථික දියුණුව උදෙසා ද ඉවහල් වන බව විවිධ අධ්‍යයනයන් යටතේ පැහැදිලි කර තිබේ.

ආර්ය අෂ්ටංගික මාර්ගයේ අංග අට පිළිවෙලින් වෙන්කොට දැක්වුව ද එය ප්‍රායෝගිකව අනුගමනය කිරීමේ දී අංග සියල්ලම එකවර ක්‍රියාවට නැංවීම වැදගත් වේ. අංග අට අතුරින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක පුද්ගලයාගේ දැක්ම හා චින්තනය නිවැරැදි මාර්ගයට යොමු කිරීමට අත්‍යවශ්‍ය වේ. කෙනෙකුගේ සම්‍යග් දෘෂ්ටිය සැකසෙන්නේ නිවැරැදි අවබෝධය අනුව යි. ඒ අනුව චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නිවැරැදි දැක්ම හෙවත් සම්‍යග්දෘෂ්ටිය යි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් එයින් අදහස් වන්නේ යමක හේතුඵල සම්බන්ධය වටහා ගැනීම යි. මහාචත්තාරීසක සුත්‍රයෙහි ආර්ය මාර්ගය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ කදිම විවරණයක් ඇතුළත් වේ. ඒ අනුව දසවස්තුක සම්‍යග් දෘෂ්ටියෙන් යුක්ත ලෞකික සම්‍යග් දෘෂ්ටිය හා ආර්ය මාර්ගය හා සම්බන්ධ ලෝකෝත්තර සම්‍යග් දෘෂ්ටිය වශයෙන් ප්‍රභේද දෙකකි. පුද්ගලයකුගේ දැක්ම හා දෘෂ්ටිය සම්පූර්ණවීමට මෙම අංග දෙකම අවශ්‍ය වේ. කිසියම් පුද්ගලයකුගේ ආකල්ප හා අදහස් සිතුම් පැතුම් අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම සහගත සිතිවිලිවලින් යුක්ත නම් එම තැනැත්තා යහපත් චින්තනයකින් හා අකාල්පවලින් සමන්විත අයකු ලෙස සැලකේ. එවැන්නකුගේ චින්තනය සැකසෙන්නේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්‍ෂාව හා පරිත්‍යාගය යන උදාර පුරුෂාර්ථවලිනි. වධක චේතනාවෙන් හා හිංසා සහගත ආකල්පවලින් යුක්තව ලෝකය අත්පත්කර ගැනීමෙහිලා තෘෂ්ණාවෙන් භරිතව කටයුතු කරන පුද්ගලයා මිථ්‍යා අදහස් හා සංකල්පවලින් සමන්විත, එමෙන්ම සමාජයට මෙන්ම තමන්ට ද අහිතවත් පුද්ගලයෙකි. මිනිසා ප්‍රචණ්ඩත්වයට මෙන්ම පංචකාම ලෝකය අත්පත් කර ගැනීමෙහිලා යොමුවන්නේ මිථ්‍යා සංකල්පය හා සම්බන්ධ සිතිවිලිවල පෙළඹවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ආර්ය මාර්ගයේ මුල් අංග දෙකින් පුද්ගලයාගේ ප්‍රඥා පෞරුෂය පෝෂණය වන අතර කෙනකු ප්‍රඥාවන්ත යැයි නිගමනය කළ හැක්කේ යථෝක්ත අංග දෙකට අයත් නිවැරැදි දැක්ම හා නිවැරැදි චිත්තනය අනුවය.

ආර්ය මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා ආජීව යන තුනෙන් පුද්ගලයාගේ කායික හා වාචසික සංවරය මෙන්ම නිවැරදි දිවි පැවැත්ම අර්ථවත් වේ. සම්මා වාචා යනු අදහස් හා සිතිවිලි ප්‍රකාශයට පත්කිරීමේදී ඇති කර ගත යුතු සන්නිවේදන සදාචාරය යි. ඒ යටතේ වචනය හා සම්බන්ධ සියලු දුශ්චරිතවලින් වැළකී සාදාචාරාත්මක වශයෙන් යහපත් අයුරින් අදහස් ප්‍රකාශනයෙහිලා සංයමයක් ඇතිකර ගැනීම අවධාරණය කර ඇත. ප්‍රාණඝාතය, සොරකම හා කාමයෙහි වරදවා හැසිරීම ආදි කායික චර්යාවලින් වැළකීම සම්මා කම්මන්ත යටතේ නිර්දේශිත ය. තුන්වැන්න වන සම්මා ආජීව මගින් නිවැරැදි මෙන්ම නීතිගරුක හා යුක්තිගරුක දැහැමි ජීවනෝපායක නිරතව දිවිපැවැත්ම තහවුරු කරගැනීම යෝජනා කරයි.

මේ අනුව ශීලය හා සම්බන්ධ මෙම ක්‍රියාකාරකම් තුන සදාචාරවත් විනය ගරුක ජීවිතයක මෙන්ම ආධ්‍යාත්මික විමුක්ති කාර්යයෙහි පදනම වශයෙන් පිළිගෙන තිබේ.

ආධ්‍යාත්මික විමුක්ති මාර්ගයේ මානසික සංවර්ධනය අවධාරණය කෙරෙන්නේ සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන අංග තුන යටතේ ය. අකුසල සහගත සිතිවිලි බැහැර කොට කුසල සහගත සිතිවිලි වර්ධනය කිරීමට ගන්නා මානසික උත්සාහය හා උනන්දුව සම්මා වායාම යි. සෙසු අංග දෙකින් සිහිය හා මානසික ඒකාග්‍රතාව වර්ධනය කර ගැනීම අදහස් කර ඇත. මේ අංග තුනම මානසික සංවර්ධනය හා සම්බන්ධ වේ.

විමුක්තිය සාක්‍ෂාත් කිරීම සඳහා පමණක් නොව සමාන්‍ය වශයෙන් යහපත් හා නීරෝගී මනසක් ඇති කර ගැනීම සඳහා මෙම අංග තුන හේතු වේ. සමථ හා විපස්සනා භාවනාව මෙන්ම සතර සතිපට්ඨානය යටතේ අවධාරණය කෙරෙන්නේ මෙකී මානසික සංවර්ධනය යි. ඒ අනුව භාවනාව එක් අතකින් විමුක්තිය පිණිස හේතුවන අතර, අනික් අතින් ලෞකික ජීවිතයේ මානසික සුවය සඳහා අත්‍යවශ්‍ය වේ. චිත්ත සමාධිය ප්‍රඥාව සාක්‍ෂාත් කිරීම කෙළවර කොට පවතී(සාමාධි පරිභාවිතො පඤ්ඤා). ආර්ය මාර්ගයේ නිෂ්ඨාව සම්මා ඤාණ හා සම්මා විමුක්ති යන අංග දෙකින් පරිසමාප්තියට පත්වේ. ඒ අනුව අංග අටකින් යුක්ත ප්‍රතිපදාව අනුගමනය කරන තැනැත්තා සේඛ හෙවත් ශික්‍ෂණය වන්නා හෙවත් පුහුණුවන්නා යනුවෙන් හඳුන්වන්නේ ඔහු තවදුරටත් ආර්ය මාර්ගය ප්‍රතිපදාවක් ලෙස අනුගමනය කරන හෙයිනි.

අංග අටකින් යුත් මාර්ගය සම්පූර්ණ කොට විමුක්තිය සාක්‍ෂාත් කළ පුද්ගලයා සම්‍යග් ඤාණයෙන් හා සම්‍යග් විමුක්තියෙන් යුක්ත හෙයින් අසේඛ හෙවත් ශික්‍ෂණය සම්පූර්ණ කළ තැනැත්තා යනුවෙන් හැඳීන්වේ. එසේ විමුක්තිය සාක්‍ෂාත් කළ රහතන් වහන්සේ ප්‍රඥාවේ මෙන්ම සාදාචාරයේ පරිසමාප්තියට පත් උත්තම පුද්ගලයා වේ.

ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් අංගත්‍රයකින් යුක්ත මාර්ග සත්‍ය යටතේ ඉදිරිපත් කෙරෙන්නේ දුක්ඛ නිරෝධය සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය යි. ශීලය මඟින් කායික වාචසික සදාචාරය අර්ථවත් වේ. මානසික ඒකාග්‍රතාව අවසන් කොට ඇති චිත්ත සමාධිය අර්ථවත් වන්නේ සාමාධි අංගයෙනි. ප්‍රඥා යන්නෙන් අදහස් කෙරෙන්නේ සම්‍යග් දෘෂ්ටියෙන් හා සම්‍යග් චින්තනයෙන් පරිපූර්ණත්වයට පත්වීමයි. එය පුද්ගලයාගේ දැක්ම හා චින්තනය නිවැරැදිව ගොඩනැඟීමට උපකාරී වේ. ප්‍රඥා ශික්‍ෂාවට අයත් සම්‍යග් දෘෂ්ටිය සෙසු අංග හතටම පදනම වන හෙයින් එය විමුක්ති කාර්යයෙහිලා පූර්ව අවශ්‍යතාවක් වේ.

ත්‍රිවිධ ශික්‍ෂාව අනුගමනය කිරීමෙන් සදාචාරාත්මක ශික්‍ෂණය, මානසික සංවර්ධනය හා ප්‍රඥාව (විදසුන් නුවණ) සම්පූර්ණ වේ. එය පිළිවෙලින් පරිපුර්ණත්වයට පත්කිරීම යනු විමුක්ති සාධනය යි. සසර දුක හා එය ඇතිවන හේතුව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය උදෙසා ඉදිරිපත් කළ ප්‍රතිපදාව මාර්ග සත්‍යයි. එය දැනුම සඳහා නොව භාවිතය සඳහා ය. එබැවින් මාර්ග සත්‍ය දුක්ඛ නිරෝධය උදෙසා ප්‍රායෝගිව ක්‍රියාවට නැංවිය යුතු ය(භාවේතබ්බ).

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]