[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

දුක්ඛ නිරෝධ සත්‍යය: උතුම් සැපතට පැමිණීම පිණිස...

උතුම් සැපතට පැමිණීම පිණිස...

දුක පිළිබඳ සැබෑ අර්ථකථනය ලෝකයට හෙළිදරව් කළේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ දේශනා කළ දුක ලෝකයේ ජීවත්වන සියලු දෙනාට ම විඳින්නට සිදුවීම සැබෑ සත්‍යයයි. මේ දුක්ඛිත තත්ත්වයෙන් නිදහස් වීමට නම් අප කළ යුත්තේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමයි.

මෙහිදී තුන්වැනි ආර්ය සත්‍ය වන නිරෝධ සත්‍ය ගැන විමසා බලමු. නිරෝධය කියල කියන්නේ අවසන් වීමයි. නිදහස් වීමයි. කුමකින් ද? දුකෙන්. එවිට අපට කියන්න පුළුවන් නිර්වාණාවබෝධය ලැබුණා කියලා. එසේ නම් තෘෂ්ණාව සම්පූර්ණයෙන් ම අවසන් කිරීම යන අදහස එහි තිබෙනවා.

අපේ ප්‍රධාන ඉලක්කය වන්නේ මේ නිරෝධ සත්‍ය එහෙමත් නැතිනම් “නිවන” කියන උතුම් තත්ත්වයට පත්වීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “නිබ්බානං පරමං සුඛං” නිවන උතුම්ම සැපතයි කියලා. ලෝකයේ අපට කොපමණ සැප සම්පත් තිබුණත් ඒවා තාවකාලිකයි. කෙටිකාලීනයි. නැතිවෙලා යනවා. නමුත් නිවන සදාකාලික සත්‍යයක්. වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසාම එයට අසංකත යැයි කියනවා. බුදුරජාණන් වහන්සේ නිවනේ ලක්ෂණ තුනක් ඇති බව දේශනා කළා. හටගැනීමක් පෙනෙන්නේ නැහැ. නැසීයාමක් පෙනෙන්නේ නැහැ. පවතින දෙයක් තුළ වෙනස්වීමක් දකින්න ලැබෙන්නේ නැහැ.

මෙවැනි ආර්ශ්චර්යවත් දේශනාවක් කළ එකම ශාස්තෘන් වහන්සේ උන්වහන්සේයි. ලෝකයේ සියලුම රහතන් වහන්සේ පිරිනිවන් පෑමට පත්වුණා කියන්නේ විඥානය නිරුද්ධ වී අසංකත ධාතුව සාක්ෂාත් වීමයි. පහන් සිලක් නිවී යන්නේ යම් සේ ද ඒ විදියට උන්වහන්සේ නිවිල යනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු එදා බරණැස ඉසිපතන මිගදායේ දී ගැඹුරු දහම් කරුණු අඩංගු දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පස්වග මහණුන් ප්‍රධාන දිව්‍ය බ්‍රහ්මයන්ට දේශනා කළා.

යෝ තස්සායේ ව තණ්හාව අසේසවිරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්තී අනාලයෝ ඉදං වුච්චති දුක්ඛ නිරෝධ අරිය සච්චං

මහණෙනි, දුක නැති කිරීමේ ආර්ය සත්‍ය නම් මෙයයි. එනම් තෘෂ්ණාව ඉතිරි නැතිව ඉවත් කිරීම, නැති කිරීම, අත්හැරීම, මුළුමනින්ම ඉවත දැමීම, ඉන් මිදීම හා නොඇලීමයි.

දම්සක් පැවතුම් සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන්නේ දුකට හේතුව වූ තණ්හාව නැති කිරීම, දුක්ඛ නිරෝධය හෙවත් දුක නැති කිරීම බවයි.

මෙලෙස අපට දුක් ඇතිවන්නේ පෙර ආත්මවල පටන් අප ඇතිකර ගත් ආශාව හෙවත් තණ්හාව නිසයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හා අපගේ සංසාර ගමන දීර්ඝ කරනවා.

ඉහත තත්ත්වය වටහාගත් පුද්ගලයා ආශාවන් දුරුකොට නිවන් මඟ සොයනවා.

ඒ පුද්ගලයා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා. යහපත් කල්පනාවෙන්, යහපත් දැක්මෙන් යුතුව ක්‍රියා කරනවා. යහපත් වචන කතා කරන පුද්ගලයකු බවට පත්වෙනවා. පංච දුශ්චරිතයෙන් ඈත්වී සුචරිත ක්‍රියාවල නියුතු වෙනවා. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම තුළයි පුද්ගලයාට නිවන සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ.

නිවන මේ ආකාරයෙන් පැහැදිලිව දේශනා කරනවා.

පින්වත් මහණෙනි, යම් තැනක පටිච්ච සමුප්පාදය නැතිනම් එතැන පංචඋපාදානස්කන්ධයක් නැහැ. පංච උපාදානස්කන්ධයක් නැති තැන පටිච්ච සමුප්පාදයක් නැහැ. ඒ වගේම පංච උපාදානස්කන්ධය තියෙනවා නම් පටිච්ච සමුප්පාදය තියෙනවා. පටිච්ච සමුප්පාදය තියෙනවා නම් පංච උපාදානස්කන්ධය තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන යන ආයතන ක්‍රියාත්මක වන්නේ මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නිසයි. මේ ආයතන හය නැතිනම් සම්පූර්ණයෙන්ම සංසාරය නැතිවෙලා යනවා. කායික දුකක් නැහැ. මානසික දුකක් නැහැ. අපි‍්‍රයයන් හා එක්වීමේ දුක, පි‍්‍රය විප්‍රයෝග දුක නැතිවෙලා යනවා. පතන දේ නොලැබීමේ දුක නැතිවෙලා යනවා. සියලු දුක් නැතිවෙලා යනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, එක් තැනක් තියෙනවා ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් තැනක්. සාක්ෂාත් කරන්න පුළුවන් තැනක්. යම් තැනක, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නැතිනම් ආකාසානඤ්චායතනය නැතිනම්, විඤ්ඤාණඤ්චායතනය නැති නම්, ආකිඤ්චඤ්ඤායතනය නැතිනම් නේවසඤ්ඤානාසඤ්ඤායතනය නැතිනම්, මෙලොව නැතිනම්, පරලොව නැතිනම් සඳහිරු ඇත්නම් අන්න එබඳු තැනක් තියෙනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

එතැන උපතක් නැහැ. චුතියක් නැහැ. පැවතීමක් නැහැ. හේතුඵල දහමක් නැහැ. හේතුඵල දහමට අරමුණු වන සංකතේකුත් නැහැ. මේ තමයි දුකේ අවසානය. මේ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේ නිවන ගැන විස්තර කරන්නේ.

ඒ නිසා මේ ලෝකයේ කිසිදා කිසිවකුට කිසිම අයුරකින් කිසි තැනක කවර හෝ උපතක් ලබා දුකින් නම් නිදහස් වෙන්න බැහැ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද මේ ඉපදීම ම දුකක් නිසා. එහෙමනම් සත්වයාට විසඳුම තියෙන්නේ පටිච්ච සමුප්පාදය නැති කිරීමයි තුළයි. අමා නිවන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පටිච්චසමුප්පාදය නැත්නම් හේතුඵල දහම ක්‍රියාත්මක නොවන තැනයි.

බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා පින්වත් මහණෙනි නූපන්, නොහටගත්, නොකරන ලද අසංකත වූ නිවන තිබෙනවා. යම් හෙයකින් නූපන්, නොහටගත් නොකරන ලද අසංකත වූ නිවන නොතිබුණේ නම් මේ ලෝකයේ උපන් හටගත් කරන ලද සංඛතයෙන් උපන් සත්වයාට දුකෙන් නම් නිදහස් වීමක් ඇත්තේම නැහැ කියලා. ඊළඟට උන්වහන්සේ් දේශනා කරනවා. නූපන්, නොහටගත් නොකරන ලද අසංඛත වූ නිවන තිබෙන නිසාම මේ ලෝකයේ උපන් හටගත් කරන ලද සංඛතයෙන් උපන් සත්වයාට දුකෙන් නම් නිදහස් වීමක් තියෙනවා. තවදුරටත් උන්වහන්සේ දේශනා කරනවා.

පින්වත් මහණෙනි, සංඛත වූත් අසංඛත වූත් යම්තාක් දේ ඇද්ද ඒ සියලු දේ අතර, අග්‍ර වන්නේ අමා නිවනයි. හේතු නිසා හටගන්න හේතුª නිසා හට නොගන්නා යම් දේවල් මේ ලෝකයේ තියෙනවද? ඒ සියලු

දේ අතර, අග්‍ර වෙන්නේ අමා නිවනයි කියලා.

මේ කෙලෙස් වැඩීම, කෙලෙස් පිපාසය සන්සිඳුවීම, ආලය මුළුමනින්ම නැසීම, සසර සැරිසැරීම, සිඳලීම, තණ්හාව ක්ෂයවීම, විරාගය, තණ්හාව නිරුද්ධ වීම, මේ සියලු වචනවලින් කියවෙන්නේ නිවනයි.

ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, යම් කෙනෙක් නිවන පිළිබඳ සිත පහදවා ගත්තොත් ඔහු හෝ ඇය පැහැදුනේ අග්‍රම වූ දෙයකටයි. අග්‍රම වූ දෙයකට පැහැදුනු කෙනාට විපාකය ද අග්‍රම වෙනවා.

නිවන පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට ඉතාම පැහැදිලිව දේශනා කරල තියෙනවා. නිවන් මඟට ප්‍රවිශ්ට වීමේ ආරම්භක පියවර හැටියට අපට කරන්නට තියෙන්නේ දිවිහිමියෙන් තිසරණය තුළ පිහිටා, සම්මා දිට්ඨියට පත්වෙලා මේ අංග අට ප්‍රගුණ කිරීමයි. එසේ ප්‍රගුණ කරන පුද්ගලයාට විශේෂයෙන් ශ්‍රද්ධාව,වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු කරනවිට සප්ත බොජ්ඣංග ධර්ම දියුණු කරන විට, අන්න ඒ තැනැත්තාට අමාමහ නිවන සාක්ෂාත් කර ගන්නට හැකියාව ලැබෙනවා. එහි පළමුවැනි පියවර සෝතාපන්න තත්ත්වයට පත්වීමයි. ඉන්පසු සකෘදාගාමී, අනාගාමී, තත්ත්වයට ද අවසානයේ නිවන සාක්ෂාත් කර ගැනීමේ උතුම් අරහත් තත්ත්වයට පත්වීමයි. ඒ නිසා මේ උතුම් වෙසක් පොහෝ දිනයේ දී අපි සියලු දෙනා ඒ උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට අදිටන් කර ගනිමු.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]