[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තණ්හාව නිරුද්ධ වූ විට දුක අවසන් වෙනවා

තණ්හාව නිරුද්ධ වූ විට දුක අවසන් වෙනවා

චතුරාර්ය සත්‍ය හතර අතරින් දෙවැනි ආර්ය සත්‍ය වන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යි. දුක්ඛ සමුදය යනු දුකෙහි හට ගැනීම හෙවත් දුක හට ගන්නට හේතුවයි. දුක හට ගන්නේ කවර කරුණක් නිසා ද? කියන ප්‍රශ්නය බුද්ධ කාලීන භාරතයේ සිටි බොහෝ දෙනාට තිබුණා.

ඒ අතර, බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි අයට දුකෙහි හටගැනීම හෙවත් දුක හට ගන්නේ චන්ද රාගයෙන් බව උන්වහන්සේ කියා දුන්නා. දුකත්, දුකේ හට ගැනීමත් සිදුවන්නේ කොහොමද කියා විමසද්දී උන්වහන්සේ වදාළේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ කරුණු දුක බවත්, ඒවාට මුහුණ දෙන්නට සිදු වුණේ චන්ද රාගය නිසා බවත් කියලයි.

චන්ද රාගය කියන්නේ කැමැත්තෙන් බැඳී යාමයි. කුමකට කැමැත්තෙන් බැඳී යාම ද? පංචස්කන්ධයට බැඳී යාමයි. රූප,වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ, කියන මේ පස් තැත කැමැත්තෙන් බැඳීයාම චන්ද රාගය ලෙස හඳුන්වනවා. තණ්හාව කියන්නේත් මේ චන්ද රාගයට යි. පංචස්කන්ධයෙහි කැමැත්තෙන් හෙවත් චන්ද රාගයෙන් බැඳුණ කෙනා තම පංචස්කන්ධය උපාදාන කර ගන්නවා. එසේ උපාදානය කරගත් පංචස්කන්ධයට තදින් බැඳෙනවා. බැඳුන ඒ පංචස්කන්ධය වෙනස්වීම තුළ දුක ඇති වෙනවා. එවිට ඔහු තුළ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් ඇතිවෙනවා.

දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි භද්‍රකගාමිණි අසා සිටිනවා ‘ස්වාමීනි, මට අතීතයේ දුක හටගත්තේ කොහොමද? අනාගතයේ දුක හට ගන්නේ කොහොමද? වශයෙන් දැන ගැනීමට කැමැත්තක් නැහැ. ස්වාමීනි, මට කෙටියෙන් කියා දෙන්න දුක හට ගන්නේ කොහොමද? කියා.

එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා “භද්‍රක, මම අතීතයේ හෝ අනාගතයේ දුක හට ගන්නා ආකාරය කියන්නේ නැහැ. අතීතය කියන්නේ නික්මිලා ගිය එකක්. අනාගතය කියන්නේ නො පැමිණි එකක්. නමුත් වර්තමානය කියන්නේ අපි අත්විඳින එකක්. ඒ මේ මොහොත.

පින්වත් භද්‍රක දුක හට ගන්නේ චන්ද රාගය (දැඩි කැමැත්ත) නිසා යි. කුමක චන්ද රාගය නිසා ද? පංචස්කන්ධය කෙරෙහි එන චන්ද රාගය යි. යම් කෙනෙක් අතීතයේ දී පංචස්කන්ධයට චන්ද රාගයෙන් බැඳුනා නම්, ඒ බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට චන්ද රාගයෙන් බැඳුන දේ ලැබුණා. ඒ රූප වේදනා, සංඥා,සංකාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධය.

පංචස්කන්ධයේ වෙනස්වීම ජරා, ව්‍යාධි, ලෙස ද, පංචස්කන්ධය බිඳීයාම මරණය නමින් ද හඳුන්වනවා.

තව ආකාරයකටත් විස්තර වෙනවා. අතීතයේ උපාදානය නිසා ලැබුණු පංචස්කන්ධය මුල් කර ගෙන සත්ත්වයා වර්තමානයේ ජීවත් වෙනවා. එසේ ජීවත් වෙන සත්ත්වයා විසින් ඇස, කන, නාසය,දිව, කය, මනස ආදී ඉන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණුූ පරිහරණය කරනු ලබනවා. ඇසට පේන රූප බලනවා. කනට ඇහෙන ශබ්ද අහනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගන්නවා. දිවට දැනෙන රස විඳිනවා. කයට දැනෙන පහස විඳිනවා. සිතට එන සිතිවිලි සිතනවා. ජීවත් වෙනවා කියන්නේ මේ ටිකට යි. මේ අරමුණු පරිහරණය කරන විට සෑම අරමුණක් ම මුල්කර ගෙන පංචස්කන්ධයක් නිර්මාණය වෙනවා. රූප,වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණයෙන් තමයි ඒ පංචස්කන්ධය නිර්මාණය වන්නේ.

ඇස මුල් කරගෙන ඇසට පේන රූප පෙනෙනවා. ඒ පෙනෙන රූපයයි, රූප කියා හඳුන්වන්නේ. කන මුල්කරගෙන කරන්නේ කනට ඇසෙන ශබ්ද ඇසීම යි. ඒ ශබ්දය තමා රූප ලෙස ගන්නේ. ඒ අනුව රූප ජාති හයක් තිබෙනවා. රූප – රූප, ශබ්ද – රූප, ගන්ධ –රූප, රස – රූප , පොට්ඨභ – රූප, ධම්ම – රූප, කියලා. මේවා රූප ලෙස හඳුන්වන්නේ එක විදිහට ම නො තිබී නිරන්තරයෙන් කැඩි බිඳී යන නිසා. මේ අරමුණු තමා පංචඋපාධානස්කන්ධය ලෙස රූප නමින් ගන්නේ.

ඇසට රූප දකින එක, කනට ශබ්දය ඇසෙන එක , නාසයට ගඳ සුවඳ ආග්‍රහණය කරන එක, දිව රස විඳින එක, කය පහස විඳීම, සිත සිතිවිලි විඳීම තමා වේදනා ලෙස ගන්නේ. එසේ විඳින, පරිහරණය කරන අරමුණූ හඳුනා ගන්නවා.

මේ රූපය මේ වගේ, මේ ශබ්දය අසවලාගේ ආදී ලෙස හඳුනා ගැනීම සංඥාව යි. ඊළඟට ඒ හඳුනාගත් අරමුණු මුල්කර ගෙන සිතේ සිතිවිලි ඇතිවෙනවා. ඒ ඇතිවන සිතිවිලි සංස්කාර ලෙස හඳුන්වනවා. ඒ සිතිවිලි, ඒ සංඥා, වේදනා, රූපත් වෙන වෙනම දැන ගන්නවා. ඒ දැන ගැනීම තමා විඤ්ඤාණය කියන්නේ.

අරමුණක් පරිහරණය කරන කොට සෑම අරමුණක් ම මුල් කරගෙන පංචස්කන්ධයක් හට ගන්නවා. කර්මානුරූපව අතීත භවයේ කරන ලද කර්මවලට අනුරූපීව ලැබෙන පංචස්කන්ධයක් තිබෙනවා. ඒ පංචස්කන්ධය තුළ අපි ජීවත් වෙනවා. එසේ ජීවත්වන කාලයේ ඉන්ද්‍රිය ගෝචරය අරමුණු මුල්කරගෙනත් පංචඋපාධානස්ක්ධ පහළ වෙනවා.

එසේ පහළවන පංචස්කන්ධය ක්ෂණිකව නැති වෙනවා. ඒ සමඟම ඊළඟ අරමුණූ ගෝචර වීමත් සමඟම මුලින් ගෝචර වූ අරමුණූ නිසා ඇතිවූ පංචස්කන්ධය නැතිවෙලා යනවා.

අප ජීවත්වන කාලය පුරාවට ම මේ ලෙස ඇස, කන, නාසය, දිව, කය මනසින් ගන්නා ලද අරමුණූ නිසා අප්‍රමාණ පංචස්කන්ධ පහළ වී යනවා. ක්ෂණිකව ඇතිවන නැතිවෙන පංචස්කන්ධයට යම් කෙනෙක් තණ්හා උපාධානයක් ඇතිකර ගත්තොත්, චන්ද රාගයෙන් බැඳුණොත් එසේ බැඳී සිටින වේලාවේ දී ඒවා වෙනස් වී යන විට ඔහුට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන දුක් හට ගන්නවා.

ශෝක – කියන්නේ තමා සන්තක දේ ගිලිහී යාම තුළ ඇතිවන මානසික කම්පනයයි. පරිදේව එය මුල් කරගෙන කියවමින් හඬා වැටීමයයි, දුක – කායිකව, ඇතිවන පීඩාව, දෝමනස්ස - මානසිකව ඇතිවන පීඩාවන්, උපායාස – හූල්ලමින් සිටීම.

මේ අරමුණු මොහොතක් පාසා ඇති වී නැති වී යන දේයි. නොතේරෙනකම නිසා කෙනෙක් ඒ වටා තණ්හාවෙන් බැඳෙනවා. ඇතිවීම, නැතිවීම නොතේරෙනවා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනත්ම කියන ත්‍රිලක්ෂණය වැටහෙන්නේ නැහැ කියන එකයි. ත්‍රිලක්ෂණය වැටහෙන්නේ නෑ කියන්නේ අරමුණූ නිත්‍යයි. සුඛයි, ආත්මයි, කියන වැරැදි සංඥාවෙන් අල්ලා ගැනීමයි. තණ්හාවෙන් බැඳුනාම ඒවා කෙරෙහි දැඩි ආශාවක් ඇතිවෙනවා. ඒක තමා උපාදාන කියා කියන්නේ. උපාධානය ඇතිවූ විට උපාදානය වූ දෙය අහිමි වෙන විට උරුම වන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන දුක්. ඒ දුක් හට ගන්නේ මේ තණ්හා උපාදානය නිසා.

තණ්හා වර්ග දෙකක් ධර්මයේ කියා දෙනවා. ඒ සමුදාචාර්ය තණ්හාව හා වට්ටමූලික තණ්හාවයි. සමුදාචාර්ය තණ්හාව කියන්නේ ආයතන හා බැඳුන ආයතනවල හැසිරෙන තණ්හාව යි. ආයතන කියන්නේ ආධ්‍යාත්මික බාහිර ආයතනයි.

අනෙක් තණ්හාව වට්ටමූලික තණ්හාව යි. වට්ට කියන්නේ සංසාරයට. මූලික කියන්නේ හේතුව. සසරට වැටෙන්නට හේතුවන්නේ මුලින් කියපු සමුදාචාර තණ්හාව හෙවත් තණ්හා වර්ග හයයි. රූප, ශබ්ද, ගන්ධ,රස, පහස, ධම්ම කියන අරමුණු පරිහරණය කරන්නට තිබෙන ආශාව නිසා තමා වට්ටමූලික තණ්හාව ඇති වන්නේ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ , ධම්ම කියන අරමුණු කාම ලෝකවල පරිහරණය කරන්නට තිබෙන තණ්හාව කාම තණ්හාවයි. එම අරමුණූ රූපාවචර බ්‍රහ්ම ලෝකවල පරිරණය කරන්නට තිබෙන තණ්හාව භව තණ්හාවයි. පරිහරණය කරලා අවසානයේ දී ඒවා පීඩාකාරි බව දැනගෙන ඒ අරමුණු නැතිව ඉන්න ඇත්නම් කියා කැමැත්තක් ඇති වෙනවා. ඒ විභව තණ්හායි. තණ්හා ජාති තුන නිසා තමා සත්වයා සසරට වැටෙන්නේ . ඒ තණ්හාව වට්ටමූලික තණ්හාව ලෙස හඳුන්වනවා.

කාම තණ්හාවෙන් මිය යන කාම භවවල උපදිනවා. භව තණ්හාවෙන් මිය යන අය රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා. විභව තණ්හාවෙන් මිය යන අය අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා.

තණ්හා සියල්ල නැති තැන දුක නෑ. දුක නැති තැන තිබෙන්නේ සැපත. ඒක තමා නිවන. ඒ නිවන ශාක්ෂාත් කර ගන්නට නම් තණ්හාව නිරුද්ධ කළ යුතු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා. එනිසා පරිහරණය කරන සෑම අරමුණක් ම මොහොතක් මොහොතක් පාසා ඇතිවි නැතිවී යන බව දැනගෙන පරිහරණය කරන දෙයට අනවශ්‍ය ලෙස තණ්හාව උපදවා නොගෙන මේ ජීවිතය ගත කරන්නට ඔබට ශක්තිය හැකියාව ලැබේවා.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]