[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ආර්ය සත්‍යය ලොවට හෙළිකිරීම සම්බුද්ධ කෘත්‍යයයි

ආර්ය සත්‍යය ලොවට හෙළිකිරීම සම්බුද්ධ කෘත්‍යයයි

අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අප්‍රමාණ වෙර වීරිය කොට සම්මා සම්බුද්ධත්වය පිණිස වජිරාසන මත වැඩ සිටියේ අද වන් වෙසක් පුන් පොහෝ දිනයක යි. බුදුරජාණන් වහන්සේගේ පාරමිතා බලයෙන්, දස මරුන් පරදවා දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘවරයාණන් වහන්සේ ලෙස සම්මා සම්බුද්ධත්වය ලොවට ප්‍රතිඥා දුන්නා.

බුදුරජාණන් වහන්සේ වදාළා

“යතෝ ච ඛෝ මේ භික්ඛවේ ඉමෙසු චතුසු අරියසච්චෙසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි. අථාහං, භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය, අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ, පච්චඤ්ඤාසිං, ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝවිමුත්ති අයමන්තිමා ජාති, කත්ථිදානි පුනබ්භවෝති.”

“යම් කලෙක පින්වත් මහණෙනි, මා හට චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව, ආකාර දොළසකින් යුතුව, සැබෑ තත්ත්වය නම් වූ ඥාන දර්ශනය සුවිසුද්ධ ලෙසට ම අවබෝධ වූයේ වේ ද, එකල්හි මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහි අනුත්තර සම්මා සම්බෝධය අවබෝධ කළෙමි’යි ප්‍රතිඥා දුන්නෙමි.

අපගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ දුක නම් වූ ආර්ය සත්‍යය යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය යි.

ඒ දුක නම් වූූ ආර්ය සත්‍යය සත්‍ය ඥාණ වශයෙන්, කෘත්‍ය ඥාණ වශයෙන්, කෘත ඥාණ වශයෙන් පරිපූර්ණ ලෙස විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කොට වදාළා.

ඒ දුක නම් වූ ආර්ය සත්‍යය රටකින් රටකට වෙනස් වන්නක් නොවේ.

ජාතියකින්, ජාතියකට වෙනස් වන්නක් නොවෙයි.

ආගමකින් ආගමකට වෙනස් වන්නක් නොවෙයි.

සමස්ත ලෝක සත්වයා ම මේ දුකට ගොදුරු වී ඇති බව අපගේ තථාගතයන් වහන්සේ වදාළා. ඒ දුක නම් වූ ආර්ය සත්‍යය ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ ද දේශනා කළා.

“ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං.”

මහණෙනි මේ වනාහි දුක නම් වූ ආර්ය සත්‍යය යි. ජාතිපි දුක්ඛා - ඉපදීම දුකකි. ජරා පි දුක්ඛා – වයසට යෑම ද දුකකි. ව්‍යාධි පි දුක්ඛෝ – රෝග පීඩා වැළඳීම ද දුකකි. මරණම් පි දුක්ඛං – මරණය ද දුකකි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ – අපි‍්‍රය පුද්ගලයන්, අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීම ද දුකකි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ – පි‍්‍රය පුද්ගලයන් හා පි‍්‍රය වස්තූන්ගෙන් වෙන්වීම ද දුකකි. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං – කැමැති වන්නා වූ යම් දෙයක් ඇත් ද එය නො ලැබීම ද දුකකි. සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා – කෙටියෙන් කීවෝත්, හකුලුවා කීවොත් පංච උපාදානස්කන්ධයෝ ම දුකකි. පින්වත්නි, මේ ලෝකයට පහළ වන අතිශය දුර්ලභ මනුෂ්‍ය රත්නයක් වන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධ කෘත්‍යය මෙයයි.

මේ ලෝකයේ තියනවා භයානක අඳුරක්. ඒ තමයි යම් දිනෙක හිරු පායා නැතිනම්, සඳ පායා නැති අමාවක දිනක ඝණ වළාවෙන් අහස වැසී ඇති දිනක, වෙනත් කිසිදු නැති ලොවක පවතින චතුරංග සමන්නාගත අඳුරට වඩා අඳුරක් මේ උපන් සත්වයාගේ සිතේ තියනවා. ඒ අඳුර තමයි අවිද්‍යා අන්ධකාරය. මේ ලෝක සත්වයා අවිද්‍යාව නමැති මහා ඝණ අඳුරෙන් වැසී සිටින තාක් ලොවේ පවතින සත්‍යය ප්‍රකට වෙන්නේ නැහැ.

යම් කලෙක සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා, මේ ආර්ය සත්‍යය දේශනා කරද්දී ඒ අවිද්‍යා අන්ධකාරය සුනුවිසුණු වී යනවා. විද්‍යාව නමැති හිරු මඬල උදාවෙන්න පටන් ගන්නවා.

සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ බුදුරජාණන් වහන්සේ ඒ දුක නම් වූ ආර්ය සත්‍යය ආචික්ඛනා - ප්‍රකාශ කරනවා, දේශනා – දේශනා කරනනවා, පඤ්ඤපනා – පනවනවා, පට්ඨපනා – පිහිටුවනවා. විවරණා - විවරණය කරනවා, විභජනා – විග්‍රහ කරනවා, උත්තානි කම්මං – අතිශයින් ම ප්‍රකට කරවනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොවට පහළ වුණත් මේ ආර්ය සත්‍යය ලොවේ පවතින දෙයක් කියලා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ නොවුණත් මේ ආර්ය සත්‍යය ලොවේ පවතින දෙයක් කියලා. කලාතුරකින් ලොවට පහළ වන බුදුරජාණන් වහන්සේ කරන්නේ දකින්න දුෂ්කර වූ ආර්ය සත්‍යය ලොවට ඉස්මතු කරවීමයි.

සත්වයෙක් මවු කුසක බැස ගත්තා ද, පඤ්ච උපාදානස්කන්ධයන්ගේ පහළ වීමක් වුණා ද, ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියයන්ගේ පහළ වීමක් වුණා ද ඒ තමයි සත්වයා උපන්න මොහොත.

අපි මවු කුසයේ උපන්න දා පටන් අප්‍රමාණ දුක් පීඩා විඳිනවා. ඒ විතරක් නොවෙයි මොහොතින් මොහොත දවසින් දවස ඒ සත්වයාගේ දිරායාමක් ඇත් ද, කය බිඳීයාමක් ඇත් ද, දත් කැඩීයාමක් ඇත් ද, සම රැළි වැටීමක් ඇත් ද, ඉන්ද්‍රියයන්ගේ මෝරායාමක් ඇත් ද, ආයුෂයාගේ පිරිහීමක් ඇත් ද, මේ සියල්ල දුකට ම අයිති දේ.

යම් දවසක, අපි නොසිතූ වෙලාවක, නොසිතූ මොහොතක භයානක ලෙඩ රෝග, අසනීපවලට ගොදුරු වෙන්න සිදු වෙනවා. ව්‍යාධියට පත් වෙනවා. මේවා දුකට අයිති දේ. ඒවගේම සියලු දේ අහිමි කරවමින් බලාපොරොත්තු සුණු කරමින් අපිට මරණයට පත් වෙන්නට සිදු වෙනවා. විවිධාකාර විපත් එන විට හඬා වැළපෙනවා. පපුවට අත් ගහ ගන්නවා. ශෝක කරනවා. ශෝක ගින්නෙන් දැවෙනවා. නම් ගම් කිය කියා හඬනවා. කායිකවත්, මානසිකවත් අප්‍රමාණ දුකට පත් වෙනවා.

“අනේ අපට මේ දුක් පීඩා කරදර ළං වෙන්න එපා.”

කියලා සිතුවත්, එය කැමැත්ත තිබූ පමණින් සිද්ධ වන්නේ නැහැ. මේ දුකට ම අයිති දේවල්.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සංක්ෂේපයෙන් කීවොත් සතර මහා ධාතුන්ගෙන් හට ගත් රූපය දුකක්. ස්පර්ශයෙන් හට ගත් වේදනාව දුකක්, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් සංඥාවත් දුකක්, ස්පර්ශයෙන් හට ගත් සංස්කාර ද දුකක්. නාම රූප ප්‍රත්‍යයෙන් හට ගත් විඤ්ඤාණයත් දුකක් ම යි. මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල දුකටමයි අයිති කියල.

මේ පරම සත්‍යය දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ ලෝකයේ වෙන කිසිවකුට මේ දුක නම් වූ ආර්ය සත්‍යයට අමතරව වෙනත් ආර්ය සත්‍යයක්, වෙනත් දුකක් පනවන්නට බැහැ. අතීතයේ වේවා, අනාගතයේ වේවා, වර්තමානයේ වේවා, යමෙක් දුක් අවබෝධ කරයි නම් මේ අයුරින්ම අවබෝධ කළ යුතුයි.

යම් කෙනෙක් දුක්ඛ ආර්ය සත්‍ය මනාව අවබෝධ කළොත්, පිරිසිඳ දැක්කොත් ඔහු දුක්ඛ සමුදය වන තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ කර දානවා. දුක්ඛ නිරෝධය නම් වූ අමා මහ නිවන සාක්ෂාත් කරනවා. දුක් නිරුද්ධ වන ප්‍රතිපදාව නම් වූ සීල, සමාධී, ප්‍රඥා පරිපූර්ණ වශයෙන් ම වඩා අවසන් වෙනවා. මේ විදියට දුක්ඛ ආර්ය සත්‍ය මනාව අවබෝධ කරද්දි පෙර පසු නොවී ආර්ය සත්‍ය මනාව අවබෝධ කරනවා. දුක නුවණින් පිරිසිඳ දකී නම් මේ අයුරින්ම දැකිය යුතුයි. මේ දුක්ඛ ආර්ය සත්‍යය වනාහී පරම සත්‍යයකි. නොවෙනස්වන සත්‍යයකි. අන්‍ය ස්වභාවයකට පත් නොවන සත්‍යයකි.

උතුම් ධාරණ සූත්‍ර දේශනාවේ දී අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

එසෙයින් මහණෙනි,

මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

මෙය දුක් නිරුද්ධ වන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.”

මේ උතුම් ආර්ය සත්‍යය අවබෝධය පිණිස ඔබ සැමට වාසනාව ලැබේවා!

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]