[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මමත් සමන් පිච්ච මලක් වෙමි

මමත් සමන් පිච්ච මලක් වෙමි

මේ සමන් පිච්ච මල්, සුවඳ දුම්, බුදුපියාණන් වහන්සේට පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!!

මම ඒ සමාධි ප්‍රතිමා වහන්සේට මල් සහ සුවඳ දුම් පුදා නමස්කාර කළෙමි.

ශාන්ත, සමාධි සුවයෙන් වැඩ සිටිනා බුදුපියාණන් වහන්සේ සමන් පිච්ච මලෙන් සහ සුවඳ දුමෙන් පිදූ මම බිම හිඳ ගතිමි. දෑස පියා ගතිමි.

“නමාමි බුද්ධං ගුණ සාගරන්තං”

ගුණ සාගරයක් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

ගුණ සාගරයක් වූ බුදුරජාණන්ට මම මගේ ජීවිතය ද පූජා කරමි.

මගේ සිත ඒ වචන මිමිණුවේ ය.

ඒ සමඟ ම සිතෙහි තිගැස්මක් ද ඇති විය.

“බුදු පුදට ගන්නේ යමක් ද එය පිරිසුදු ව ම ගත යුතු ය.” මගේ ආදරණීය අම්මා මට ඉගැන්වූ පාඩමක් ඒ.

මා උන්වහන්සේට පූජා කළේ සමන් පිච්ච මල් බඳු පිරිසුදු ජීවිතයක් ද පිරිසුදු පැන්වලින් සමන් පිච්ච මල් තව දුරටත් පිවිතුරු කළ මා මගේ ජීවිතය පිදුවේ කෙසේ ද?

ස්වාමිනී, මට සමාවුව මැනවි. සමන් පිච්ච මල් පැන් ඉස තවත් පිරිසුදු කොට පිදුව ද මාගේ ජීවිතය කිළිටි ය. මම නිසැකව ම දනිමි. එය කෙලෙස්වලින් පිරී තිබේ.

කෙලෙස් යනු රාගය, ද්වේශය, මෝහය, මගේ සිත රාගයෙන් එනම් ඇලීම්, බැඳීම්වලින් ද්වේශයෙන් එනම් ගැටීම්වලින් මෝහයෙන් එනම් මුළාවෙන් පිරී තිබේ.

මා කිළිටියි. මා ඔබ වහන්සේට පිදීමට සුදුසු සමන් පිච්ච මලක් නම් නොවෙයි. මගේ ඇස රූපයක් දැක ඇලෙයි, බැඳෙයි නැත්නම් ඒ සමඟ ගැටෙයි. ඒ රූපය නිත්‍යයයි. සුන්දර යැයි සිතා මුළාවෙයි. මගේ කන ශබ්දයක් අසා ඇලෙයි, බැඳෙයි, නැත්නම් ඒ සමඟ ගැටෙයි. ඒ ශබ්දය නිත්‍යයයි, සුන්දර යැයි සිතා මුළා වෙයි. මගේ නාසය ගඳ - සුවඳ විඳ ඇලෙයි, බැඳෙයි, නැත්නම් ඒ සමඟ ගැටෙයි.

ඒ ගඳ - සුවඳ නිත්‍යයයි, සුන්දර යැයි සිතා මුළා වෙයි.

මගේ දිව රසයක් විඳ ඇලෙයි, බැඳෙයි, නැත්නම් ඒ සමඟ ගැටෙයි.

ඒ රස නිත්‍යයයි, සුන්දර යැයි සිතා මුළා වෙයි.

මගේ කය ස්පර්ශයක් විඳ ඇලෙයි, බැඳෙයි, නැත්නම් ඒ සමඟ ගැටෙයි.

ඒ ස්පර්ශය නිත්‍ය යැයි, සුන්දර යැයි සිතා මුළා වෙයි.

මගේ සිත යම් අරමුණක් ගෙන එහි ඇලෙයි, බැඳෙයි, නැත්නම් ඒ සමඟ ගැටෙයි. ඒ අරමුණ නිත්‍ය යැයි, සුන්දර යැයි සිතා මුළා වෙයි.

ස්වාමීනි, මගේ සිත එබඳු ය. ජීවිතය කිළිටි ය.

එය සමන් පිච්ච මලක් මෙන් පිරිසුදු නැත. එය ඔබ වහන්සේට පිදීමට ඉදිරිපත් වූ මම යළි සමාව යදිමි.

ස්වාමීනි, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මම යළිත් සිත් යොමු කරමි. මගේ ඇසට රූපයක් පෙනෙන විට ඒ රූපයක් යැයි සිතා එයින් මිදෙමි. ඒ රූපය අයත් ගැහැනියකට ය. පිරිමියකුට ය. එය සුන්දර ය. අසුන්දර ය යන සිතිවිලිවලට ඉඩ නොදෙමි.

ඒ රූපය නිසා සතුටක්, මිහිරක් ඇති නොවේ. තරහක් අමනාපයක් ද ඇති නොවේ. රූපයක් දුටුවා එපමණයි. එය නිත්‍ය යැයි. සුන්දර යැයි. සිත මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ රූපයක කවර සුන්දරත්වයක් ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ගෙන් සැදුණු රූපයේ ඇත්තේ පරමාර්ථ වශයෙන් ඒ ධාතු පමණි. මම මුළා නොවෙමි. ඒ රූපය අනිත්‍යයි. ඒ රූපය නොවෙනස්ව තබා ගැනීමට, අනිත්‍යයට යාමෙන් වළකා ගැනීමට නොහැකි ය. රූපය මගේ නොවන නිසා ය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතු ය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්ම වන නිසා ය. රූපය අනිත්‍යයි. අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.

ස්වාමීනි, මගේ කනට හඬක් ඇසෙන විට ඒ හඬක්, හඬක් යනුවෙන් සිතනු මිස ඒ හඬ ගැහැනියකගේ ය. මිනිසකුගේ ය. මිතුරියකගේ ය. මිතුරකුගේ ය. මගේ සතුරකුගේ යැයි. නොසිතමි. එය හඬක් පමණි. එවිට මට ඒ හඬ නිසා ඇලීමක් බැඳීමක් ඇති නොවේ. සතුරු හඬක් නිසා ගැටීමක් ද ඇති නොවේ.

ඒ හඬ නිසා සතුටක් මිහිරක් ඇති නොවේ. තරහක් අමනාපයක් ද ඇති නොවේ. හඬක් ඇසුණා පමණකි. එය නිත්‍ය යැයි. සුන්දර යැයි. සිත මුළාවේ නොවැටෙයි. අනිත්‍ය වූ ශබ්දයක කවර සුන්දරත්වයක් ද? ඒ හඬ මිනිසකුගේ ය. ගැහැනියකගේ ය. කුරුල්ලකුගේ ය. සතුරකුගේ යැයි. සිතා සලකන්නේ මුළාව නිසා ය.

මම මුළා නොවෙමි.

ඒ හඬ අනිත්‍යයි. ඒ හඬ නොවෙනස්ව තබා ගැනීමට අතීතයට යාමෙන් වළකා ගැනීමට නොහැකි ය. හඬ මගේ නොවන නිසා ය. මගේ නම් මට පාලකයා කළ හැකි විය යුතු ය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි. හඬ අනිත්‍යයයි. අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. අත් හරිමි.

ස්වාමීනි, මගේ නාසයට ගන්ධයක් දැනෙන විට ඒ ගන්ධයක් යනුවෙන් නොසිතමි. එය ගැහැනියකගේ ය, මිනිසකුගේ ය, සතකුගේ ය. මලක්, කුණු ගොඩක් යනුවෙන් නොසිතමි. එය ගන්ධයක් පමණි.

එය නිත්‍ය යැයි, සුන්දර යැයි, සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ ගන්ධයක කවර සුන්දරත්වයක් ද? ඒ ගන්ධය ගැහැනියකගේ ය. මිනිසකුගේ ය. කුරුල්ලකුගේ ය. කුණු ගොඩකය කියා සලකන්නේ මුළාව නිසා ය. මම මුළා නොවෙමි.

ඒ ගන්ධය අනිත්‍යයි, එය නොවෙනස්ව තබා ගැනීමට, අනිත්‍යයට යාමෙන් වළකා ගැනීමට නොහැකි ය. ඒ ගන්ධය මගේ නොවන නිසා ය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතු ය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.

ස්වාමීනි, මගේ දිවට රසයක් දැනෙන විට ඒ රසයක්, රසයක් යනුවෙන් සිතනු මිස එය කිරි ය, පැණි ය, සීනි ය, ඇඹුල් ය, තිත්තය, යනුවෙන් නොසිතමි. එය රසයක් පමණි. එවිට මට ඒ රස නිසා ඇලීමක්, බැඳීමක්, ආසාවක්, ගැටීමක්, අප්‍රසන්න බවක් ඇති නොවේ. රසයක් දැනුණා පමණි.

ඒ රසය නිත්‍ය යැයි, සුන්දර යැයි, සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ රසයක කවර සුන්දරත්වයක් ද? ඒ රසය සීනි ය, කිරි ය, පැණි ය. තිත්ත ය, ඇඹුල් ය, කියා සලකන්නේ මුළාව නිසා ය. මම මුළා නොවෙමි.

ඒ රසය අනිත්‍යයි, එය නොවෙනස්ව තබා ගැනීමට, අනිත්‍යයට යාමෙන් වළකා ගැනීමට නොහැකි ය. ඒ රසය මගේ නොවන නිසා ය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතු ය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.

ස්වාමීනි, මගේ ශරීරයට ස්පර්ශයක් දැනෙන විට ඒ ස්පර්ශයක්, ස්පර්ශයක් යනුවෙන් සිතනු මිස එය ගැහැනියකගේ ය. පිරිමියකුගේ ය. ගැරඬියකුගේ ය. මදුරුවකුගේ ය යනුවෙන් නොසිතමි. එය ස්පර්ශයක් පමණි. එවිට මම ඒ ස්පර්ශය නිසා ඇල්මක්, බැඳීමක්, ආසාවක්, පිළිකුලක් ගැටීමක්, අමනාපයක් ඇති නොවේ. ස්පර්ශයක් දැනුණා පමණි.

ඒ ස්පර්ශය නිත්‍ය යැයි, සුන්දර යැයි සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ ස්පර්ශයක කවර නම් සුන්දරත්වයක් ද ඒ ස්පර්ශය ගැහැනියකගේ ය. පිරිමියකුගේ ය. ගැරඬියකුගේ ය. මදුරුවකුගේ ය කියා සලකන්නේ මුළාව නිසා ය. මම මුළා නොවෙමි.

ඒ ස්පර්ශය අනිත්‍යයි, එය නොවෙනස්ව තබා ගැනීම අනිත්‍යයට යාමෙන් වළකා ගැනීමට නොහැකි ය. ඒ ස්පර්ශය මගේ නොවන නිසා ය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතු ය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.

ස්වාමීනි, මගේ සිතට යම් අරමුණක් නැඟෙනවිට එය අරමුණක් සේ අරමුණක් යනුවෙන් සිතනු මිස එය ගැහැනියක පිළිබඳව ය. පිරිමියකු පිළිබඳව ය. මිතුරකු පිළිබඳව ය. සතුරකු පිළිබඳව ය යනුවෙන් නොසිතමි. එය අරමුණක් පමණි. එවිට මට ඒ අරමුණ නිසා ඇලීමක්, බැඳීමක්, ආසාවක්, තරහක්, ක්‍රෝධයක් ඇති නොවේ. අරමුණක් නැඟුණා පමණි.

ඒ අරමුණ නිත්‍ය යැයි, සුන්දර යැයි සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ අරමුණක කවර නම් සුන්දරත්වයක්ද? ඒ අරමුණ ගැහැනියක පිළිබඳ ය. පිරිමියකු පිළිබඳ ය. මිතුරකු පිළිබඳ ය. සතුරකු පිළිබඳය යනුවෙන් සිතන්නේ මුළාව නිසා ය. මම මුළා නොවෙමි.

ඒ අරමුණ අනිත්‍යයි, එය නොවෙනස්ව තබාගැනීමට, අනිත්‍යයට යාමෙන් වළකා ගැනීමට, නොහැකි ය. ඒ අරමුණ මගේ නොවන නිසාය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතු ය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.

ස්වාමීනි, බුදුපියාණන් වහන්ස,

ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතෙන් ගන්නා අරමුණු ඒ මොහොතේ ම අත්හරිමි. ඉතින් මගේ සිතට රාගය නොපිවිසෙයි. ද්වේෂය නොපිවිසෙයි. අනිත්‍යය, අනාත්මය වටහා ගන්නා හෙයින් මෝහය හෙවත් මුළාව ද සිතට නොපිවිසෙයි.

දැන් මගේ සිත පිවිතුරු ය. කෙලෙසුන්ගෙන් මිදී තිබේ.

සමන් පිච්ච මලක් මෙන් පිරිසුදු ය.

ස්වාමීනි, දැන් මම මගේ ජීවිතය සමන් පිච්ච මල් සමඟ ඔබ වහන්සේට පූජා කරමි. පූජා වේවා. පූජා වේවා පූජා වේවා.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]