[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සිරිසඟබෝ රජු රක්තාක්ෂි රකුසාගෙන් රට බේරාගත් හැටි

සිරිසඟබෝ රජු රක්තාක්ෂි රකුසාගෙන් රට බේරාගත් හැටි

සිරිසඟබෝ රජතුමා බොහෝ ම දැහැමි රජ කෙනෙක්. එතුමා රාජ්‍ය පාලනය කරන කාලයේ ඇති වුණා රක්තාක්ෂි කියලා උණ රෝගයක්. ඒක ඇතිවුණේ රාක්ෂයෙක් නිසා. රටේ ජනතාවගේ කිසියම් අකුසල කර්මයක් නිසා වෙනත් දේශයකින් මේ රාක්ෂයා ලංකාවට පැමිණ තිබුණා.

රටේ හැම ගමක් කෙළවර ම රැකගෙන ඉඳලා මිනිසුන් එන යන කොට ඔවුන්ට පෙනෙන සේ පෙනී සිටියා. ඔහුගේ හැඩරුව දකින කොටත් මිනිසුන් වගේ ම තිරිසන් සත්තු පවා බය වුණා. මහා බඩක් දරාගෙනයි හිටියේ. බඩ වැඩි නිසා දෙපා ඇද වෙලා, මුව දෙපසින් විශාළ දළ දෙකක් විහිදිලා, ඒ වගේම මහා වළාකුලක් වගේ කාල වර්ණයෙන් බිය ගෙන දුන්නා. ඇස් දෙක රත් කළ යකඩ බෝල දෙකක් වගේ දකින අය බියට පත් කළා.

රාක්ෂයා ව දැක්කොත් ඒ අයගේ ඇස් රතුපැහැ වෙනවා. පැය කිහිපයක් යන කොට උණ හට ගන්නවා. දවස් දෙකක් තුනක් යන කොට උණ වැඩිවෙලා, කෑම කන්න බැරි වෙනවා. වතුර ටිකක්වත් බොන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ උණ නිසා ම ටික දවසකින් මිය යනවා. වෙදවරු කොතරම් බෙහෙත් කළත් සනීප කර ගන්න පුළුවන්කමක් ලැබුණේ ම නෑ. දවසින් දවස, සතියෙන් සතිය, මාසයෙන් මාසය ගෙවී ගෙන යන කොට හැම ගමක ම මිනිස්සු මැරෙන්න පටන් ගත්තා.

උණ හැදුණ කෙනෙකුට උපස්ථාන කරන්නත් මිනිසුන් බය වුණා. යහළුවෙක් හෝ ඥාතියෙක් හෝ දරුවෙක් හෝ කවුරු හරි කෙනෙක් රෝගියාට සලකන්න ගියහම ඒ උපස්ථායකයාටත් උණ හැදෙනවා. රෝගියාගේ රතු පැහැ වූ ඇස් දෙක දකිනකොටත් මේ රෝගය වැළඳෙනවා.

රට පුරාම රෝගය පැතිරිලා ගිය නිසා යක්ෂ බයකුත්, රෝග බයකුත්, මරණ බයකුත් ඒ වගේම ආහාර පාන හිඟයකුත් ඇති වෙන්න පටන් ගත්තා.

දැහැමි සිරිසඟබෝ රජතුමා උත්සාහ ගත්තා මේ රෝගය නතර කරන්න. මැරෙන මිනිසුන් සොහොනට ගෙනත් දාන පමාවෙන් ශරීර රස්නය යන්න කලින් ලේ පෙර පෙරා මිනී මස් කන්න තමයි මේ රෝගය පතුරුවලා තිබුණේ.

රජතුමා දවසක් සිරියහන් ගබඩාවට ගිහින් තමන් ආරක්ෂා කරන අෂ්ටාංග සීලය නැවතත් සිහිපත් කරමින් එය සමාදන් වුණා. ඇඳේ වැතිරිලා ‘මම රක්තාෂි රාක්ෂයා දකින්නේ නැතිව මිය ගියත් නැඟිටින්නේ නෑ’යි තීරණය කරගෙන තමන් අතීතයේ කළ පුණ්‍ය කටයුතු සිහිපත් කරමින් ධර්මය මෙනෙහි කරන්න පටන් ගත්තා. ඒ බලය නිසා ම රක්තාක්ෂි රාක්ෂයාට සුවසේ ඉන්න පුළුවන්කමක් නම් ලැබුණේ නෑ. ඔහුගේ ඇඟ මිරිස් තැවරුණාක් මෙන් වේදනා ගෙන දෙන්න පටන් ගත්තා. එන්න එන්නම වේදනාව තදබල වුණා. මෙහෙම වෙන්න හේතුව මොකක් ද කියලා සොයල බලන කොට දැක ගන්න ලැබුණා දැහැමි සිරිසඟබෝ රජතුමාගේ සත්‍යක්‍රියාව.

වහාම රජමාළිගාවට ගියා. එහෙත් රජතුමාගේ සිරියහන් ගබඩාවට හෝ මාළිගාවේ දොරටුවෙන් ඇතුළට යන්න පුළුවන් වුණේ නෑ. රජතුමාට සිහිනෙන් පෙනෙන්න ගත්තා රාක්ෂයා රජමාළිගාවේ මිදුලට ඇවිත් ඉන්නවා. සීමැදුරු කවුළුවෙන් බලන කොට රක්තාෂි යක්ෂයාව දැක්කා. රජතුමා ඔහු අමතලා

‘තෝ කවරෙක්ද?’යි ප්‍රශ්න කළා.

‘මම රක්තාෂි. මම ඈත ගමකයි හිටියේ ඒත් මට මොහොතක්වත් ඉන්න බැරි නිසයි ආවේ. ඔබගේ ගුණ තේජසින් මට සුවෙන් ඉන්න පුළුවන්කමක් ලුබුණේ නෑ. මට බියක් දැනෙනවා’යි පිළිතුරු දුන්නා. රජතුමාට කේන්ති ගිහින් හිටි නිසා ‘

ඒයි රාක්ෂය, තොප මගේ රටේ මිනිසුන්ට උණ රෝගයක් ඇති කරලා, මිනිසුන් මරාගෙන කන්න පටන් ගත්තා. රටවැසියන් බියෙන්, ශෝකයෙන්, දුකෙන් ජීවත් වෙන්නේ.වහාම මේ ලංකාද්වීපයෙන් පිටත් වෙලා යන්න’යි කියා සිටියා.

ඒ අසා සිටි රාක්ෂයා රජතුමා අමතලා ‘රජතුමනි, මම මිනිසුන් මරාගෙන කන්නේ නෑ. මම අමු සොහොනට ගිහින් දමන, සුනඛයින් ඒ වගේම හිවලුන් ආදී සතුන්ගේ ආහාරයක් වන මිනී තමයි ආහාරයට ගන්නේ. මගේ කිසිම වරදක් නෑ. වරදක් කරලා තියනවා නම් මට දඬුවම් දෙන්න. මට අභය දානය දෙන්න’යි කියා සිටියා. ඒ කතාවට රජතුමාගේ හදවත කම්පා වෙලා

‘තොප බිය වෙන්න ඕන නෑ. මම අභය දානය දෙන්නම්. මේ රෝගය තවදුරටත් පතුරුවන්න එපා. ඉල්ලන දෙයක් දෙන්නම්. වහාම මට කියන්න’යි කිව්වා.

‘රජතුමනි, මෘත ශරීර කනකොට පරඬලා කොළ කන්නා වගේ. උණු උණු ලේ සහිත මස් කනකොට මට බොහෝ කලක් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මට එක් ජනපදයක් දෙන්න. මින්පසු කිසිම රෝගයක් පතුරුවන්නේ නෑ’යි වරයක් ඉල්ලා සිටියා.

රජතුමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. දෙවැනිවරට ඉල්ලා සිටියා එහෙමනම් දවසට එක බිල්ල බැඟින් දෙන්න’යි කියලා. රජතුමා ඒකත් බැහැර කළා.

රාක්ෂයා දුකට පත් වෙලා පිළිරුවක් වගේ බලාගෙන ඉන්න පටන් ගත්තා. මේ රකුසා නිසා රටේ ජනතාවට දුකක් දෙන්නේ නෑ. මම දුප්පතුන්ට, දුගී මගීන්ට, තිරිසන් සතුන්ට වස්තු සම්පත්වලින් හා කෑම බීමවලින් දන් දෙනවා. එහෙම වුණත් මට අවස්ථාවක් ලැබුණේ නෑ මගේ මස් ලේ දන් දෙන්න. මම කොතරම් හෙව්වත් මෙහෙම දානයක් බාර ගන්න කෙනෙක් මට ලැබෙන්නේ නෑ. අද මගේ ඉදිරියට ම එවැනි දානයක් ඉල්ලාගෙන ඇවිත්. මගේ ශරීරය මොහුට ආහාරයක් වෙනවා’යි තීරණය කරගෙන

‘රාක්ෂය, ඔබගේ මනදොළ පිනවන්න මම ඉදිරිපත් වෙනවා. මගේ ශරීර මාංශ හිත් සේ අනුභව කරන්න’යි කියා අසල සිටි අමාත්‍යවරයෙක් අමතලා මගේ ශල්‍යවෛද්‍යවරයා මෙහි ගෙන්නාගෙන එන්න’යි පණිවිඩයක් යවලා ඔහු ගෙන්වාගෙනැවිත්,

‘වෛද්‍යතුමනි, මම ප්‍රාර්ථනා කළ දානයක් දීමට අද අවස්ථාව ලැබුණා. මගේ අත්පා සිඳිමින් ඒවා උණු උණුවේ ම මේ රාක්ෂයාට කන්න දෙන්න. ඔහුගේ ලේ පිපාසය හා කුසගින්න නිවන්න’යි නියෝග කළා.

රජතුමාගේ මේ ප්‍රකාශයෙන් අමාත්‍යවරුනුත්, රටවැසියාත් හඬා වැළපෙමින් දුකට පත් වුණා. අවසානයේ අමාත්‍යවරුන් ඉදිරිපත් වුණා රජතුමා වෙනුවෙන් බිලිවෙන්න. ඒ දිහා බලන් හිටිය ජනතාවත් අතරක් නැතිව ජීවිත දානයට ඉදිරිපත් වෙන්න පටන් ගත්තා.

රජතුමා ඒ පිරිස අමතලා ‘තොප මෙතැනින් ඉවත් ව යන්න. මගේ දානයට අනතුරක් කරන්න එපා’යි කිහිප වතාවක් ම ඉල්ලා සිටියා.මේ වෙන කොට රාජාංගනය සෙබළුන්ගෙන්, අමාත්‍යවරුන්ගෙන් හා රටේ ජනතාවගෙන් පිරී ඉතිරිලා ගිහින්. රකුසා හොඳටම බය වුණා.

මම රජතුමාගේ මාංශ පිළිගත්තොත් ලෝක පාලක දෙවිවරුන්ගේ ශාපය මට විඳින්න වෙනවා. මගේ හිස සත්කඩකට පලා විනාශ කර දමනවා. මම මේ අපරාධය කරන්නේ නෑ’යි තීරණය කරලා රජතුමාව අමතලා

‘රජතුමනි, මම මෙයින් මතුවට මිනිස් ශරීර මාංශ තබා තිරිසන් සතුන්ගේ මංශවත් කන්නේ නෑ. මට ගමක් පාසා සුදුසු භෝජනයෙන් බලි පූජා පවත්වන්න. ඒ වරය මට දෙන්න’යි වරයක් ඉල්ලා සිටියා. රජතුමා පැමිණ සිටි පිරිස අමතලා

‘පින්වත් රටවැසියෙනි, අද පටන් හැම ගමක ම භෝජනවලින් බලි පූජා පවත්වන්න. ගමක් ගමක් පාසා අණ බෙර ගසමින් එය දැනුම් දෙන්න’යි නියෝග කර රකුසාට අටසිල් ලබා දී සීලයේ පිහිටෙව්වායි කථා පුවතක් හත්ථවනගල්ල විහාරය වංසයේත්, සිංහල එළු අත්තනගලු වංසයේත් සඳහන් වෙනවා. සිරිසගබෝ රජතුමාගේ දැහැමි පාලනයත්, ආධ්‍යාත්මික ගුණයත්, ලංකාවේ රජ දරුවන්ගේ සීල ගුණයත්, රටවැසියාට තිබුණු ආදරය හා කරුණාවත් මේ කතා පුවතින් පවසනවා.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]