[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මනස්කාන්ත මනසකින් දිවි පැවැත්ම සැබෑ මානව සංවර්ධනයයි

මනස්කාන්ත මනසකින් දිවි පැවැත්ම සැබෑ මානව සංවර්ධනයයි

මානව සංවර්ධනය යන නමින් හඳුන්වනු ලබන්නේ මානව භෞතික සම්පත් සංවර්ධනය සහ මානවයාගේ ආධ්‍යාත්මික සංවර්ධනයයි. මෙහිදී පළමුව භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ භෞතික සම්පත් සංවර්ධනයෙහි ලා උතුරා යන සහ පුපුරා යන තෘෂ්ණාව විසින් පාරිභෝගික ධනවාදයෙහි ගොදුරක් බවට පත්නොවිය යුතු බවයි.

තවද ආධ්‍යාත්මික සංවර්ධනය ඇතිකර ගැනීම උදෙසා ඉහත සඳහන් භාණ්ඩ හා සේවා පිළිබඳ සීමිත මනසක් ඇතිකර නොගත හොත් අසීමිත ආසාවන් දෝරේ ගලා යන තැනට පත්වේ. එපමණක් නොවේ අසීමිත ආසාවන් උදෙසා සීමිත සම්පත් භාවිත කරගැනීම පිළිබඳ ඇතිවන ගැටලු රැසකට මානවයාට මූණ දීමට සිදුවේ. තවද මිනිසා භෞතික සම්පත් සොයා යෑමේ කෙළවර දකින්න පුලුවන් දෙයක් ද නොවේ. සුඛෝපභෝගි ජීවිතය යනු කෙළවරක් නැති මායිමක් නැති ප්‍රාර්ථනාවක් පමණි. එකී ප්‍රාර්ථනාව තුළ සාක්ෂාත්කොට නිම කළ හැකි මායිමක් දක්නට ලැබෙන්නේ නැත.

ලෝකයේ තියෙන සකලවිධ නිෂ්පාදනයන් පිළිබඳව ආසාව මුදාහළ හොත් එකී ආසාව වඩාත් අසීමිත සම්පත් ළඟාකර ගැනීමට ඇති නොහැකියාව අතෘප්තිමත් ජීවිතයක් මානවයාට ඉතිරි කරනු ලැබේ.

භෞතික සමිපත් සංවර්ධනය අසීමිතව සිදු කර ගැනීම ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ අනුමත නොකළහ. තවද භෞතික සම්පත් ළඟා කර ගැනීම සාධනය කර ගත හැකි ඒකායන සිහිනයක් ද නොවේ. සැබැවින්ම ඒ වෙනුවට කළ යුත්තේ භෞතික අවශ්‍යතා අවම කර ගැනීමයි. එලෙස අවශ්‍යතා අවම කර ගැනීමෙන් සම්පත් සීමා කර ගැනීමට හැකිවන බව ද තථාගතයන් වහන්සේ පෙන්වා වදාළහ.

අප සතුව ඇත්තේ දර ස්වල්පයක් නම් කළ යුතුව පවතින්නේ ගින්දර අඩු කර ගැනීමයි. ගින්දර ප්‍රමාණයට දර සපයා ගැනීමට උත්සාහ කළහොත් හැමවිටම දර අඩුයි යන මනසක් ඇතිවේ. ගින්දරේ ස්වභාවය කිසිදාක දර ඇතැයි කියන්නේ නැත. දමන දමන සියලු දර ගින්දර විසින් පුළුස්සා දමනු ලැබේ. භෞතික සම්පත් පිළිබඳ ආසාව ද ගින්දර මෙනි. දමන දමන දර ගින්දර පුළුස්සා දමන්නා සේ භෞතික සම්පත් පිළිබඳ ආසාව තෘප්තිමත් කොට නිම කළ හැක්කක් නොවේ. එනිසා කළ යුත්තේ ගින්දර කළමණාකරණය කරමින් දර අඩු කර ගැනීමයි.

අප සතුව ඇත්තේ ජලය ස්වල්පයක් නම් ඊට සරිලන කුඩා භාජනයක් භාවිත කළහොත් එම භාජනය උතුරා යන ආකාරයෙන් පරිහරණය කළ හැක. එහෙත් ස්වල්ප ජලයට විශාල බේසමක් යොදා ගන්නේ නම් එය පිරවීමට අසීමත වෙහෙසක් ගතයුතු වේ. අසාවන් පිළිබඳ අසීමාන්තික බව ද ස්වල්ප ජලයකින් විශාල බේසමක් පිරවීමට දරන උත්සාහයට නොදෙවෙනි වේ. ඒ අනුව ‘ඌනෝ ලෝකෝ අතින්තො තණ්හා දාසෝ’ ලෝකය ඌනයි අතෘප්තිකරයි තණ්හාවට තෘෂ්ණාවට ආසාවට දාස වේ යන බුද්ධ භාෂිතයට අනුව භෞතික සම්පත් සංවර්ධනය යනු මානවයාගේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් හඳුනාගෙන ඒවාම පමණක් සපුරා ගැනීමට මනස පාලනය කර ගැනීමයි. ශාන්තිනායක තථාගතයන් වහන්සේ මානව සංවර්ධනයේ නියමුවාණන් වන්නේ මේ අත්‍යවශ්‍ය අවශ්‍යතා පමණක් සම්පූර්ණ කර ගැනීමට නියමාකාරයෙන් මඟපෙන්වන හෙයිනි.

එසේම ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ ශාන්තිනායකයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ‘සන්තුට්ඨි පරමං ධනං’ යන තථාගත දේශනාවෙන් සවිස්තර වන අතර, සංතෘප්තිය හෙවත් තෘප්තිමත් භාවය පරම ධනය වන බවයි. සතුට ධනය වීමට නම් ආසාව අත්‍යවශ්‍යතාවලට පමණක් සීමා කළ යුතු ය. එසේත් නැත්නම් ධනය යන්නෙහි කෙළවර- ධනය යන්නේහි අවසානය මානවයා සතුටෙන් ජීවත්වීමෙන් පමණි. මේ සතුට යන්නෙන් අදහස් කරන්නේ සුඛෝපභෝගීව ජීවත්වීම නොවේ. තවද මේ සතුට උපභෝග පරිභෝග භාණ්ඩවලින් ලබන තෘප්තිය ද නොවේ. සතුට යනු තෘප්තිමත් භාවයයි. එය මෙලොව ඇති පරම ධනයයි.

මේ ධනය යමකුට වේ නම් ඉතා කුඩා ඉඩමක, ඉතා කුඩා නිවසක, ඉතාමත් තෘප්තිමත් ජීවිතයක් ගතකළ හැක. එසේම සියලු උපභෝග පරිභෝග සහිත ඉතා විශාල ඉඩමක, ඉතා විශාල ගෙයක අතෘප්තිකර ආසාවන්ගෙන් ජීවත් වන්නේ නම්, ඔහුට අනේක විධ සම්පත් ඇතත් පරම ධනය නැත. භෞතික සම්පත් ඇද්ද නැද්ද යන්නට වඩා අත්‍යවශ්‍ය වන්නේ සෑහිමට පත්වීමයි. තෘප්තිමත්වීමයි. ඊට ඉඩම හෝ ගෙය ලොකු ද කුඩා ද යන්න අදාළ නොවේ. උපභෝග පරිභෝග වස්තූන් ඇද්ද නැද්ද යන්න අදාළ වන්නේ ම නැත.

තෘප්තිමත් චරිතයක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ ධනියගෝපාල කතාපුවතෙන් මොනවට පැහැදිලි වේ. ධනියගෝපාලගේ ප්‍රකාශය තෘප්තිමත් තැනැත්තකුගේ උදාන වාක්‍යයකි. මානවයාගේ සෑහීමට පත් තෘප්තිමත් භාවය සියලු ජීව අජීව වස්තූන්ගේත්, ලෝකයේත් සියලු මිනිසුන්ගේත් උන්නතියට කෙතරම් බලපාන්නේ ද යන්න ගැඹුරින් විමසීමේ දි මොනවට පැහැදිලි වේ.

තථාගත දේශනාවේ එන මේ තෘප්තිමත් භාවය වැදගත් වන්නේ මානවයා සංවර්ධිත මිනිසකු කිරීමට එය ඉවහල් වන හෙයිනි. කොන්ක්‍රිට් වනාන්තරවලින් නිර්මත අස්වාභාවික මෙවලම් අනේකවිධ උපභෝග පරිභෝග වස්තූන්, මිල මුදල්, විවිධ බහුජාතික සමාගම් ආදියෙන් ලෝකයේ කිසදා අවසන් නොවන දැවැන්ත තරගයකට මිනිසා යොමුකොට එකී තරගයෙන් හෙම්බත් භාවයට පත්කොට, එකී විඩාබර සිතින් හැමදේම මදි මදි කියන මනසින් ජීවත්වී මිය යනවාට වඩා සෑහීමට පත් සන්තෘප්ත මනස්කාන්ත මනසකින් ජීවත්වීම මානව සංවර්ධය ලෙස දේශනා කළ හෙයින් ශාන්තිනායක සම්බුදු පියාණන් වහන්සේ සැබෑ මානව සංවර්ධනයේ නියමුවාණන් වහන්සේ වූ හ.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]