[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මානව සම්පත් කළමනාකරණයෙහි විශිෂ්ට මාර්ගෝපදේශකත්වය

මානව සම්පත් කළමනාකරණයෙහි විශිෂ්ට මාර්ගෝපදේශකත්වය

බුදුදහමට අනුව මානව සම්පත ගිහි-පැවිදි වශයෙන් ප්‍රධාන කොටස් දෙකකින් සහ භික්‍ෂු-භික්‍ෂුණී-උපාසක- උපාසිකා යනුවෙන් අනු කොටස් සතරකින් යුක්ත ය. බුදුරජාණන් වහන්සේ මානව සම්පත මැනවින් කළමනාකරණය කළ ශාස්තෘවරයෙකි.

ප්‍රථම ධර්ම දේශනයෙන් නොබෝ කලකට පසු පළමු භික්ෂු පිරිස (60) අමතා කළ

මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙවි මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද, චාරිකාවෙහි හැසිරෙවු. දෙනමක් එක් මඟින් නො යවු. මහණෙනි, මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දෙසවු. පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරවු. ස්වල්ප කෙලෙස් ඇති සත්වයෝ වෙති. ඔවුහු ධර්මය නො ඇසීමෙන් පිරිහෙති. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මමත් උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි.”

යන පාඨයෙහි බුදුරදුන් තුළ පැවැති මානව සම්පත් කළමනාකරණයේ විශිෂ්ට ලක්ෂණ දැකිය හැකි ය. නිසි පිරිසක් ධර්ම ප්‍රචාරය සඳහා යෙදවීම, අවශ්‍ය අරමුණ පැහැදිලි කිරීම, ධර්ම ප්‍රචාරය ශීඝ්‍ර කරවීම සඳහා එක ම මඟින් දෙදෙනකු නො යැවීම, තමන් වහන්සේ ද ධර්මය ප්‍රචාරය කිරීම සඳහා තනිව ම පිටත්වීම යනු ඒවා ය.

බුදුදහම මිනිසකුගේ අත්‍යවශ්‍ය භෞතික සම්පත් කොටස් සතරක් ලෙසින් දක්වයි. එනම්

චීවර, පිණ්ඩාපත, සේනාසන, ගිලානපච්චය යනු එම හතරයි. මෙම කිසිදු ද්‍රව්‍යයක් අධිකව පරිභෝජනය කිරීම භික්‍ෂුවකට යෝග්‍ය නො වන බව විනය ශික්‍ෂා මඟින් පෙන්වා දී ඇත. මේවා පිළිබඳ පමණ දැනගත යුතු බව අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන ධම්මඤ්ඤූ සූත්‍රයෙහි සඳහන් වේ.

පැවිද්ද යනු පංසුකූල චීවරය ඇසුරු කොට ගත්තක් බවත්, අතිරේක ලාභ වශයෙන් සිවුරු වර්ග කිහිපයක් ද පරිහරණය කළ හැකි බවත් විනයෙහි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ එක් වේලක් පමණක් ආහාර වැළඳූ බව බ්‍රහ්මජාල සූත්‍රයෙහි දැක්වේ. භික්‍ෂූන් වහන්සේ දෙවේලක් අනුභව කිරීම සඳහා අවසර දී ඇති නමුත් විකාලභෝජනය නො කළ යුතු බව අනුදැන වදාළහ; තව ද ප්‍රමාණවත් පරිදි ආහාර අනුභව කිරීමට ද උපදෙස් දුන්හ. තව ද ආහාර එකතු කොට තබාගෙන වැළඳීම ද නො කළ යුතු බව ද විනයෙහි සඳහන් වේ.

කායික හා මානසික ස්වස්තතාව වෙනුවෙන් භික්ෂු - භික්ෂුණීන්ට ආදර්ශවත් උපදෙස් සපයා ඇති බුදුරදුන් ඉන් අපේක්‍ෂා කරන ලද්දේ සියලු අංශයන්හි ප්‍රගමනයට නිරෝගිමත්කම වැදගත් වන හෙයිනි. යම් හෙයකින් රෝගී තත්වයට පත්වුවහොත් තාමගේ කාර්යයන් තමාට ම කර ගැනීමට බාධා වනවා සේ ම බාහිර පිරිස ද ඉන් කරදරයට පත් වේ. එබැවින් ගිලනුන් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කළ බුදුරදුන් ගිලනුන්ට උපස්ථාන කිරීමෙහි වැදගත්කම හා කරන ක්‍රමය දේශනා කළා සේ ම ජීවිතාදර්ශයෙන් ද පෙන්වා වදාළහ. (පූතිගත්තතිස්ස කථා පුවත)

තව ද භෝග සම්පත් බහුල වීම නිසා කුලයන් පිරිහීම සහ නො පිරිහීම සඳහා බලපාන කරුණු සතරක් අංගුත්තරනිකායේ චතුක්ක නිපාතයේ එන කුල සූත්‍රයෙහි දැක්වේ. එනම්, විනාශ වූ දැය නො සෙවීම, දිරාපත් වූ දේවල් නැවත පිළිසකර නො කිරීම, ප්‍රමාණයක් නැතිව ආහාර පාන අනුභවය, දුසිල්වත් ස්ත්‍රියක හෝ පුරුෂයකු ප්‍රධානත්වයෙහි තැබීම යනු පිරිහම සඳහා බලපාන කරුණු ය. ඒවායින් වැළකීමෙන් කුලය පිරිහීමෙන් වළකා ගත හැකි වේ.

ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා විවිධ කළමනාකරණ ක්‍රම බුදුරදුන් විසින් පෙන්වා දී ඇත.

දීඝනිකායේ සිගාල සූත්‍රයෙහි භෝග විනාශ වන කරුණු හයක් ‘අපායමුඛ’ යනුවෙන් දක්වා ඇත. එනම්, නිතර මත්පැන් පානය, නිතර නො කල්හි වීථි සංචාරය, නිතර උත්සව දර්ශන බැලීමට යෑම,නිතර සූදු කෙළීම, නිතර පාප මිත්‍ර ඇසුර, නිතර අලස බවින් යුක්තවීම යනුවෙනි. මල් පැණි රැස් කොට මී බඳීන බමරකු පරිද්දෙන් ද, පස්කැට රැස් කොට තුඹසක් බඳීන වේයකු පරිද්දෙන් ද, අන්‍යයන්ට හිංසා නො කොට භෝග රැස් කළ යුතු බවත්, ගිහියන් විසින් එකී භෝග සතර කොටසකට බෙදා පරිහරණය කළ යුතු බවත් සඳහන් වේ.

ධනයෙන් එක් කොටසක් එදිනෙදා පරිහරණය සඳහාත්, කොටස් දෙකක් කෘෂිකර්මය, වෙළඳාම යනාදි කර්මාන්තයන්හි දියුණුව සඳහාත් වෙන් කළ යුතු වේ. එක් කොටසක් විපත් පැමිණි කල්හි ප්‍රයෝජනය සඳහා තැන්පත් කළ යුතු ය. නිසි ආර්ථික කළමනාකරණයකින් ධනය ඇත යන සුවයත්, භෝගයන් ඇත යන සුඛයත්, ණය නැත යන සුඛයත් ලැබිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ කාල කළමනාකරණය මැනවින් ප්‍රගුණ කළ ආචාර්යවරයෙකි. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස යනුවෙන් දවස කොටස් පහකට බෙදූ බුදුරදුන් ඉන් වැඩි කොටසක් වැය කරන ලද්දේ දෙව් බඹුන් සහිත මිනිසුන්ට ධර්මය දේශනා කරමින් මාර්ග දර්ශනය සඳහා ය.

බොහෝ දෙනකුට හිත සුව සලසනු පිණිය ඇතැම් අවස්ථාවල ඉතා දුර ගමන් පවා පා ගමනින් ම වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද තෙරුන්ගේ කාලය පිළිබඳ දැනීම ප්‍රශංසා කළ අයුරු මහාපරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වේ.

බුදුරදුන් හමුවීම සඳහා භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන පිරිසට වෙන් වෙන් වූ කාල තිබූ බව එයින් පැහැදිලි වේ. ආගන්තුක භික්‍ෂූන් විසින් ගම්වැදිය යුතු සහ නො වැදිය යුතු කාලය, ආරාමික භික්‍ෂූන්ගෙන් විමසා දත යුතු බව චුල්ලවග්ගපාළියේ එන ආගන්තුක වතෙහි දැක්වේ. තව ද අප්‍රමාදීව කටයුතු කරන ලෙස භික්‍ෂූන්ට අනුදැන වදාළේ ද කාලය පිළිබඳ බුදුරදුන් දැක්වූ ආකල්පය හේතුවෙනි.

ගෘහයක වසන ස්වාමි, භාර්යා, දූදරු, වැඩිහිටි, සේවක යන අංශ මැනවින් කළමනාකරණය කර ගැනීම සඳහා දීඝනිකායේ සිගාල සූත්‍රයෙහි එන යුතුකම් සහ වගකීම් වැදගත් වේ. තව ද සුත්තනිපාතයේ එන වසල සූත්‍රයේ සහ පරාභව සූත්‍රයේ සඳහන් ඇතැම් ඉගැන්වීම් මඟින් ද ගෘහ කළමනාකරණය නො කරන පුද්ගලයන් පිළිබඳ සඳහන් වේ.

වත්මන්හි මානව සමාජය මුහුණ පා ඇති ප්‍රබල ගැටලුවකි, ආතතිය ඇතුළු විවිධ මානසික ගැටලු. තරුණ සමාජය මෙයට වැඩිපුර ගොදුරු වීම නිසා දිනකට සියදිවි නසා ගන්නා ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වේ. මානසික කැලඹිලි ස්වභාවයන් කළමනාකරණය කර ගැනීමට බුදුසමයෙන් ලැබෙන පිටුබලය ඉතා පුළුල් ය.

ලෝකයෙහි ඇති හොඳ ම ආතති කළමනාකරණ විධි 7ක් මජ්ක්‍ධිම නිකායේ එන සබ්බාසව සූත්‍රයෙහි සඳහන් වේ. එනම්, ආසවා දස්සනා පහාතබ්බා දර්ශනයෙන් සෝවාන් මාර්ගයෙන් කෙලෙස් දුරු කිරීම, ආසවා සංවරා පහාතබ්බා ඉන්‍ද්‍රිය සංවරයෙන් කෙලෙස් දුරු කිරීම, ආසවා පටිසෙවනා පහාතබ්බා සිව්පසය සේවනය කිරීමෙන් කෙලෙස් දුරු කිරීම, ආසවා අධිවාසනා පහාතබ්බා ශීත, උණුසුම, බඩගින්න, පිපාසය ආදිය ඉවසීමෙන් කෙලෙස් දුරු කිරීම, ආසවා පරිවජ්ජනා පහාතබ්බා නපුරු ඇත්, අස්, ගොන්, බලු, සර්පයන්, කටුක ලැහැබ් ආදිය දුරු කිරීමෙන් කෙලෙස් දුරු කිරීම, ආසවා විනොදනා පහාතබ්බා කාමවිතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදිය දුරු කිරීමෙන් කෙලෙස් දුරු කිරීම, ආසවා භාවනා පහාතබ්බා භාවනාවන් ඇසුරින් කෙලෙස් දුරු කිරීම යනුවෙනි. බටහිර මනෝවිද්‍යාඥයින් විසින් පවා ආතති කළමනාකරණය සඳහා මෙම විධික්‍රම භාවිත කරනු ලබන බව සඳහන් වේ.

ඉහත සඳහන් කරුණු සමුච්චය අනුව වුව බුදුරජාණන් වහන්සේ භෞතික සහ අභෞතික කළමනාකරණ විධික්‍රම ලෝකයට හඳුන්වා දුන් විශිෂ්ටතම ආචාර්යවරයා ලෙසින් සැලකිය හැකි ය. මෙම කළමනාකරණ විධික්‍රම නූතන සමාජයේ විවිධ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මහෝපකාරී වන බව කිව හැකි ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]