[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

උතුම් පෝ දාක

සම්බුදු පියා බුදුවීමෙන් පසුව
කාළුදායි තෙරණුන්ගේ ඉල්ලීම අනුව
මැදින් පෝ දින පිරිවර කැටුව
ශාක්‍ය දේශයට වැඩමවූයේ තුටුව

නෑයන්ගේ මානය දුරු කරන්නේ
යමා මහ පෙළහර පාන්නේ
අසිරිමත් වර්ෂාවක් වසින් නේ
වෙස්සන්තර ජාතකය දෙසන් නේ

සුදොවුන් රජ තෙවැනි වැඳුමෙන් පිදුවා
යශෝධරා දේවිට සඳකිඳුරුදව දෙසුවා
නන්ද රාහුල කුමරු උතුම් පැවිදි බව ලැබුවා
කුල දරුවන් පැවිද්දට මවුපිය අනුමැතිය පැන වූවා

ශාක්‍ය කුමරුන් විශාල පිරිස ක්
උපන් ගමට නෑයනට කළා සේවය ක්
සම්බුදු පියාගේ කළගුණ දැක්වීම ක්
ඓතිහාසිකව මේ උතුම් පෝය දිනයක්

****

දිගාසිරි පතමි

ගුරු පියතුමකි මුල්තැන ගන්නා සඳය
තරු රැස බැබළෙනව ගුරුහිමි සඳ වටය
ඒ තරු රැසින් සුබ පතනවා මේ සමය
දිගුසිරි පතමි හැත්තෑ නවවැනි දිවිය

පැණනද පිරිවෙනේ උගතුන් බිහි කෙරුවා
ගුරු සිසු දෙපිරිසකගේ ආසිරි ලැබුවා
ගුණ නැණ බලෙන් කවි පොත් පත් ලිව්වා
දිවියේ තවත් අවුරුද්දක් පසු කෙරුවා

ජන්මය ලබා හැත්තෑ නව වැනි වසරක් ගත වූවා
කළ මහ මෙහෙවරත් රට ලෝකය ජාතිය ගාවා
දකිනා කෙනකුගේ සිත සතුටින් පිරවුවා
මාහරගම පියරතන නාහිමි වැජඹේවා

****

බුදු සමිඳු

දෙව්ලොව තුසිත පුර දෙව්සැප විඳ නේක
නිම් නැති සුපින්බර දිවියක අවිවේක
ගතකොට කෙලෙස් සිඳ වෙසඟෙහි පෝ දාක
මනුලොව ඉපිද සම්බුදු බව ලැබු සේක

****

දැයක් පිබිදුණි

දම් රසයෙන් දැයක් පිබිදු
ගංගොඩවිල සෝම සමිඳු
අප කාගෙත් මනස් පිබිදු
හිමි නාමෙන් පිපෙයි කුමුදු

හිමියනි ඔබ දෙසු දහම
නිවැරැදි බුදු දහම පරම
දේවතා සංකල්ප වගෙම
හරියට අවබෝධ කෙරුම

පරලොව හිමි සැනසේවා
හිමි සිතු පරිදි ම වේවා
බුදු මඟ හිමි සැනසේවා
සෝම සමිඳු සැරදේවා

****

මුනි සිරිපා පුදමු

නැඟ එන විටදි රන්හිරු රැස් කිරණ පබා
පේවී සිසිල් ජලයෙන් නා සිරුර ඔබා
තෙදබල සමන් දෙවිඳුගෙ නිති පිහිට ලබා
මුනි සිරිපා කමල නමදිමු නළල තබා

සදහම් රැසින් මුලු හෙළයම සිරි මැව්වේ
මිසදිටු දනන් තුඩතුඩ මෙත් ගුණ පෙව්වේ
සැම සිත් පහන් කර බව ඝනඳුර නිව්වේ
නමදිමු! වාම සිරිපද සමනල පව්වේ

නිසසල කඳු පෙළින් නිති රැකවරණ මැද
දිය ඇලි තුරුලතා දසුනකි වනය මැද
පරසතු මල් මදාරා නෙක මලින් පුද
තුටුවෙති දෙව් බඹුහු මුනි සිරිපාද වැඳ

බිඳහැර ජාති කුල මල සිත්සතන් තුළ
කරුණාවයි කියා හඬ දෙන සවන් තල
නමදින මුනිඳු සිරිපද ලස කලින් කල
එය මහ පිනකි මතු දැක්මට නිවන් ඵල

****

සොයුරු පෙම

අත්වැල් බැඳගෙන පාසල් ගිය හැටි
සිහිවෙනවා
වරෙකදි රණ්ඩු වූ හැටි මතකෙට එනවා
හඬනා විටදී සිනා පොදක් ගෙන දුන්
හැටි සිහිවෙනවා
නුඹ අප හැර ගියත් සිත තුළ
තවමත් ගැවසෙනවා

දුප්පත්කම නිසා පාසල් ගමනට
තිත තියමින්
පවුලේ බර කරට ගත්තේ පියකු
ලෙසින්
එනවිට සිදාදියේ වෙළඳාමට ගිහින්
අපේ කුස ගිනි නිවන්නට අහරත් ගෙන ආවානේ ඉතින්

පුංචි නංගිගේ ගෙල සරසන්නට
ලස්සන මුතු මාල පොටක්
දෑත පිරෙන්නට මා හට වළලු
ගොඩක්
අරගෙන ගෙට ආවේ පුරවාගෙන
සිනා කටක්
අකාලයේ ඇයි මිය ගියේ කරලා ද පවක්

සිතා ගන්න බැරි ලෙස නුඹ
අපගෙන් වෙන් වූවා
අඬමින් මල්ලියේ අයියට ඒ බව කිව්වා
හැම හදවත් දුක් කඳුළින් නහවා
සමුගත් මල්ලිට අක්කා මතු බුදු බව පැතුවා

****

සිතීමට ...

දහම අදහම හොඳින් වෙන් වෙන්ව හඳුනා ගෙන
දැහැමි දිවියක් ගෙවන්නට හොඳින් හිතට ගෙන
වැඩ කළොත් අප රටේ ගිහි පැවිදි සියලු දෙන
සම්බුදු සසුන බැබළෙයි ඒ ගැන ද සිතනු මැන

ඇසූ පමණින් දෙයක් හරියි පිළිගන්න එපා
මෙයයි හරි දහම යැයි හනික පිළිගන්න එපා
බොරුව හරි කරන්නට කරයි සමහරු උපා
කිසිදෙයක් එකවර හරියි පිළිගනු එපා

පිළිගන්න එපා අනුමානයට කිසි දෙයක්
බුදු දමට නොගැළපෙන්නට තිබිය හැක ඉඩක්
එම කරුණ බුදු දමට ගැලපේවි නම් හොඳින්
පිළිගන්න විනයානුකූල වන හොඳ මඟක්

බක් පුර අටවක

මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.07 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.11 න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]