[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක 2023-03-29

සසර පුරා පසුපස එන හුරු පුරුදු

තථාගත බුදුපියාණන් වහන්සේ ජීවමාන සමයෙහි පිළින්දවච්ච නම් මහ රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේ වංශවත් පවුලක උපත ලද අතර මවුපියන් ගුණ යහපත් ය. ධනවත් ය. පිළින්දවච්ච මහ රහතන් වහන්සේ මහා බලසම්පන්න, හික්මීමෙන් යුතු කායික ක්‍රියා ඇති රහතන් වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධියට පත්වූහ. එහෙත් උන්වහන්සේගේ වචනය රළු ය. අසන්නන්ට ප්‍රිය නූපදවන්නේ ය. කෙනකුට ආමන්ත්‍රණය කළේ පවා තෝ, වසලය ආදී අමිහිරි වචනයෙනි.

දිනක් උන්වහන්සේ මහ මඟ වඩිමින් සිටියහ. අතර මඟ පැල්පතක කුඩා දැරියක් හඬා වැළපෙනු උන්වහන්සේට අසන්නට ලැබුණි. දැරිය හඬන්නේ මහලු කාන්තාවකගෙන් තමන්ට මාලයක් මිලදීගෙන දෙන ලෙස ඉල්ලමිනි. ඒත් ඇය ඉතා දුප්පත් ය. දියණියට මාලයක් ගෙන දෙන්නට වත්කමක් නොවීය. මේ සිදුවීම දුටු තෙරුන් වහන්සේ තමන් වහන්සේ සමීපයේ වූ පිදුරු ටිකක් ගෙන මාලයක් ලෙස සකසා දැරියගේ ගෙල පළඳවන ලෙස ඒ මහලු මවට දුන්හ.

ගතවූයේ නිමේෂයකි. පිදුරු මාලය රන් මාලයක් බවට පත්වුණි. දැරිය සතුටින් ඉපිළුණි.

පිළින්දවච්ච මහ රහතන් වහන්සේගේ බල සම්පන්න බවට එක් උදාහරණයක් පමණි මේ.

දිනක් දම් සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේ පිළින්දවච්ච මහ රහතන් වහන්සේගේ මේ ගතිගුණ ගැන කතා බහට ලක් කළහ. උන්වහන්සේ පින්වත්, මහා බල සම්පන්න, දැන උගත් මහ රහතන් වහන්සේ නමක් වූව ද අන් අයගේ සිත රිදෙන ලෙස කතා කිරීම උන්වහන්සේට නොගැළපෙන බව කියවුණි. එතැනින් නොනැවතී මේ බව බුදු රජාණන් වහන්සේට ද දැන්වූහ. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෙස පිළින්දවච්ච මහ රහතන් වහන්සේගේ මේ රළු වචන භාවිතය පෙර සසර පුරුද්දක් නිසා පැවත එන්නකි. උන්වහන්සේ පෙර ආත්ම බව දහතුනක් උසස් බමුණු කුලවල ඉපදුණි.

ඒ හැම බවයක දී ම අන් අය සුළු කොට, පහත් කොට සැලකීම පුරුද්දක් විය. අනුන්ට කතා කළේ ද නිග්‍රහ වන ලෙසිනි. මහරහතන් වහන්සේ නමක් වීමට පින් පුරා තිබුණ ද මේ ආත්ම බවයේ ද රළු වචන භාවිතයට හුරු වූයේ ඒ සසර පුරුද්දට ය.

මේ කතාව බෞද්ධයින්ට තමන් කරන කියන දේ පිළිබඳ, ජීවිතයට පුරුදු පුහුණු කරන දේ පිළිබඳ සිතා බලන්නට හොඳ මාර්ගෝපදේශයකි. නරක පුරුදු පමණක් නොව හොඳ පුරුදු ද බවයෙන් බවයට තමන් පසුපස එන නිසා හොඳ නරක තෝරා බේරා ගැනීම මේ ජිවිතයට සේ ම පරලොව ජීවිතයට ද එක සේ වැදගත් වන බව බෞද්ධයා සිතට ගත යුතු ය.

බොදු පරිසරයක හැදී වැඩෙන, බොදු මඟ යන කෙනකැයි යන අභිමානය ඕනෑ ම බෞද්ධයකුට තිබිය යුතු ය. මේ බෞද්ධයෙකැයි ඕනෑ ම කෙනෙකුට හඳුනාගත හැකි

හික්මීමක්, ප්‍රතිපත්තිගරුක බවක් ඕනෑම බෞද්ධයකුට තිබිය යුතු ය.

බෞද්ධ නාමයෙන් පෙනී සිටිමින් අන්‍යයන්ගේ අයහපත ම ප්‍රාර්ථනා කරන්නාට සැබෑ බෞද්ධයකු විය නොහැකි ය. ජීවිත කාලය පුරා ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින්, ක්‍රෝධ සිත් උපදවා ගනිමින් තමන්ගේ දියුණුව පැතූවත් එවැනි පුද්ගලයාට කිසිදාක දියුණුවක් ලද නොහැකි ය. ඒ පුරුදු සසරට ද උරුම ය. ඊළඟ බවයේ ද ඔහු තුළින් විද්‍යමාන වන්නේ ඒ දුර්ගුණ ම ය. කොතරම් බලසම්පන්න කෙනෙක් වුවද එයින් ගැලවිය නොහැකිය

කෙනෙක් දිගින් දිගට ම පුරුද්දක් ලෙස පාප ධර්මයන්හි නියැළෙනවා නම්, වරදින් මිදී නිදොස් නොවනවා නම් ඔහුගේ ජීවිතය අඳුරු ය. ඒ අඳුර සසර ද අන්ධකාර කරනු ඇත. මේ නිසා තෙරුවන් කෙරෙහි සැබෑ ශ්‍රද්ධාවෙන් ධර්මානුකූල දිවි පැවැත්මක් ගොඩනඟා ගැනීමට බෞද්ධයා නිරන්තරයෙන් උත්සාහ කළ යුතු ය. එය දොලොවට ම වැඩදායක ය.

බක් පුර අටවක

මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.07 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.11 න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

Full Moonඅමාවක

අප්‍රේල් 19

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]