[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

කෙලෙස්වලින් සිත වැහුණොත් පිරිතේ සෙත ලැබිය නොහැකියි

කෙලෙස්වලින් සිත වැහුණොත් පිරිතේ සෙත ලැබිය නොහැකියි

පින්වත් ස්වාමින් වහන්ස,පිරිතෙහි ආශිර්වාදය ලැබෙන්නට නම් පිරිත තමා විසින් ම සජ්ඣායනා කරන්න ඕනෑ කියා අප අසා තිබෙනවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න.

සමාදන් වූ සිල්පද ආරක්ෂා කිරීම, තෙරුවණේ පිහිටීම, පිරිත් සජ්ඣායනාව ආදී යහපත පිණිස ජීවිතය හැඩ ගස්වා ගැනීමේ දී අපට බොහෝ සේ උපකාරි වනවා දෙවියන්ගේ ආශිර්වාදය. ඒ වගේම තමා රැස්කර ගෙන තිබෙන පින. එනිසා බාධා කරදර මැඬගෙන අපේ ගුණධර්ම දියුණු කර ගන්නට නම් අපි නිතරම ඉදිරියට ගත යුත්තේ පින යි. එවිටයි නොපෙනෙන ලෝකයේ ආශිර්වාදය ලබා ගත හැකිවන්නේ. පිරිත් සජ්ඣායනාවට කැමැති ඔබ මේ වැඩපිළිවෙල ජීවිතයට හුරුකර ගන්න.

පිරිත තමා විසින් ම සජ්ඣායනා කරද්දී තමාට පිරිත ඇහෙනවා. ඒ වගේම පිරිත කියාගෙන යද්දී දිව වියැළෙනවා. පිරිතේ ඇති ධර්මයට අනුකූලව තමාගේ හිත වෙනස් වෙනවා. වෙන අරමුණක් සිතමින්, වෙන වැඩක යෙදෙමින් ඔබට බැහැ පිරිත් සජ්ඣායනා කරන්න. පිරිත් කියන අවස්ථාවේ දී පිරිතට ම අවධානය යොමු වෙනවා. පිරිතෙන් සිත පිරී යනවා. ඒ වගේම පිරිත සජ්ඣායනා කරද්දී උගුර ආතුර වෙනවා. මෙසේ පිරිත් සජ්ඣායනා කරන කාලය තුළ දී ඔබට තිබෙනවා නම් යම් රෝගාබාධයක්, කරදරයක්, උපද්‍රවයක්, අන්තරාවක්, අමනුෂ්‍ය දෝෂයක් ඒවා දුරු වෙන්න උපකාරී වෙනවා. ඒක මේ වගේ දෙයක්.

විසක් කැවුණු කෙනකුට වමනය යාමට හෝ විරේකවීමට බෙහෙතක් දෙනවා. ඒ අවස්ථාවේ දී විරේකවීම හෝ වමනය යාම ලෙහෙසි දෙයක් නොවේ. හැබැයි ඒ විරේකයෙන් හෝ වමනය නිසා විස නැසී යනවා. ඒ වගේ තමාම හඬ නඟා පිරිත් සජ්ඣායනා කිරීම තුළින් තමාගේ උවදුරු පහවෙලා යනවා. පිරිත සජ්ඣායනා කරද්දී පිරිතෙන් සෙත සැලසෙනවා. තමා පිරිත කියනා විට පිරිතේ පරිත්‍රානුභාවය ජීවිතයට ළං වෙනවා.

ස්වාමීන් වහන්ස, පරිත්‍රානුභාවය කියන්නේ කුමක් ද?

ධර්මයේ පරිත්‍රානුභාවය විස්තර වන්නේ මේ ආකාරයට යි. පිරිත් සජ්ඣායනා කරද්දී එහි බුදුගුණ කියැවෙනවා. බුද්ධානුභාවය ලැබෙනවා.

පිරිත තුළ ධර්මයේ ගුණ කියැවෙනවා. එවිට ධම්මානුභාවය ලැබෙනවා.

පිරිත තුළ සංඝරත්නයේ ගුණ කියැවෙනවා. එවිට සංඝානුභාවය ලැබෙනවා.

පිරිත කියන්නේ සත්‍ය වචනයක්. ඒ නිසා ම සත්‍යානුභාවය ලැබෙනවා.

පිරිත කියන්නේ පින් වැඩෙන වචනයක්. ඒ නිසා පුණ්‍යානුභාවය ලැබෙනවා.

පිරිත කියන්නේ කුසලයක්. එයින් කුසලානුභාවය ලැබෙනවා.

පිරිතක් සජ්ඣායනා කරන විට සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු එයට ආශා කරනවා. එයින් දේවානුභාවය ලැබෙනවා. පරිත්‍රානුභාවය කියන්නේ බුද්ධානුභාවය, ධම්මානුභාවය, සංඝානුභාවය, පුණ්‍යානුභාවය, කුසලානුභාවය, දේවානුභාවය, සත්‍යානුභාවය කියන මේ සියල්ලේ එකතුව යි. ඔබම පිරිත සජ්ඣායනා කරන කොට ඔබ කරා ඒ සියලු ආනුභාවයක් පැමිණෙනවා. සියලු ආශිර්වාදය ලැබෙනවා.

පිරිත් සජ්ඣායනා කිරීමෙන් ආශිර්වාදය සලසා ගන්නේ කොහොම ද?

නිතර පිරිත් සජ්ඣායනා කරමින් වාසය කරන මනුස්සයාට සර්පයෝ දෂ්ඨ කරන්නේ නැහැ කියනවා. දෂ්ඨ කිරීමට එන සර්පයා පවා බැහැරව යනවා. පිරිතේ ආනුභාවය නිසා. ඒ වගේම සතුරුකම් කරන්න යමෙක් කැමැතිව ඉන්නවා නම් ඒ සතුරා තමාගේ උපක්‍රමය අතහරිනවා පිරිතේ බලයට. කිපුණ හස්ථියෙක් ඔහු ඉදිරියට ආවත් ඒ හස්ථියා මෙල්ල වෙනවා. ඒ වගේම බණ පොතේ මෙහෙමත් සඳහනක් තියෙනවා. ඇවිළීගෙන එන ගින්න පවා පිරිතේ ආශිර්වාදයෙන් නවතින බව යි. ශරීරගත වූ හළාහල විසක් පවා පිරිතේ ආනුභාවයෙන් තුනී වී මාරාන්තිකවීම වළකාගත හැකි බවයි. තමා නසනු කැමතිව තමා කරා එන පිරිස පවා මිත්‍යාභාවයට පත්කර ගත හැකි බලයක් පිරිතට තිබෙනවා. උගුල් ඇටවීම, හදිහූනියම් පවා සම්පූර්ණයෙන් තමාගේ ජීවිතයෙන් බැහැරව යනවා. ඒ පිරිතේ ආශිර්වාදය ආනුභාවය නිසා.

අපි කෙතරම් පිරිත් සජ්ඣායනා කළත් පිරිතේ ආශිර්වාදය ලැබෙන්නේ නැහැනේ කියලා ඇතමෙකුට සිතෙන්නට පුළුවන් අවස්ථා තිබෙනවා නේද ස්වාමීන් වහන්ස

පිරිතේ ආශිර්වාදය නො ලැබෙන කරුණු තුනක් ධර්මයේ සඳහන් වෙනවා.

ඒ තමාගේ කර්මය බොහෝ බලවත්නම් ඔහුට පිරිතේ ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. ඒක පිරිතේ දෝෂයක් නොවේ. තමා රැස්කර ගත් කර්මයේ දෝෂයක්.

දෙවැන්න රාග, ද්වේෂ, ඊර්ෂ්‍යා, මෝහ, මාන්න ආදී කෙලෙස්වලින් තම සිත වැහිලා නම් පිරිතේ ආශිර්වාදය නො ලැබී යනවා. ඒකත් තමාගේ දෝෂයක් මිස පිරිතේ දෝෂයක් නොවේ.

තුන්වැන්න තමයි පිරිත ගැන තිබෙන අවිශ්වාසය. තමා තුළ ශ්‍රද්ධාවක් නැත්නම් මේ පිරිතෙන් මට ආශිර්වාදයක්, ආරක්ෂාවක් ලැබෙනවා කියා හැඟීමක් නැත්නම් ඔහුටත් පිරිතේ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එහිත් දෝෂය පිරිතේ නොවේ තමාගේ ම යි.

එනිසා ඔබ පිරිත ගැන එහෙම තේරුම් ගන්න. තමාට ආශිර්වාදය පිණිස පිරිත් සජ්ඣායනා කරන්න පුරුදු වෙන්න. පිරිත් සජ්ඣායනාව ජීවිතයේ අංගයක් බවට පත්කර ගන්න.

නොයෙක් ශාරීරික අපහසුතා නිසා කෙනෙක් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් පිරිතේ ආශිර්වාදය ලබා ගැනීම පිණිස පිරිත් අසාගෙන සිටියාට වරදක් නැහැ. එහෙත් පුළුවන් සෑම වෙලාවක දී ම සංඝයා වහන්සේ අසලට ගොස් පිරිත් සජ්ඣායනා කරන්න පුරුදු වෙන්න. ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ පිරිත් විකාශනය වන විට ඔබත් මහත් ශ්‍රද්ධාවෙන් පිරිවානා පොත්වහන්සේ අතට ගෙන පිරිත් සජ්ඣායනා කරන්න. එවිට ඔබට පිරිතේ ආශිර්වාදය ලැබෙනවා ම යි.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]