[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

බලු කපුටු දානයත් සැප විපාක ලැබෙන පින්කමක්

බලු කපුටු දානයත් සැප විපාක ලැබෙන පින්කමක්

දානය කියා කියූ සැණින් අපට සිහියට එන්නේ මහා සංඝරත්නය උදෙසා දෙන සාංඝික දානය යි. එහෙත් බුද්ධ ශාසනයේ දී විවිධ අයුරින් දානය විග්‍රහ වෙනවා.

මරණයට කැප වූ සතුන්ට ජීවිත දානය දෙනවා. ඒ අභය දානය යි. තව පිරිසක් සතුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔවුන්ට කෑමබීම දෙනවා. ඇතැම් අය වැඩිහිටි, ළමා නිවාසවලට ආහාර දෙනවා. එයත් දානයක්. ඒ අතර මංමාවත්වල සිටින සුනඛයන්, කපුටන් ආදී සතුන් උදෙසා බලුකපුටු දානය දෙනවා. දෙනු ලබන දාන අතරින් බලුකපුටු දානයේ අනුසස් තිබෙනවා ද? මෙම් ඒ පිළිබඳව කළ සාකච්ඡාවකි.

පින්වත් ස්වාමින් වහන්ස, ජාති, ආගම්, කුල භේදයකින් තොරව බොහෝ දෙනා බලුකපුටු දානය දෙනවා. ඒ දානයෙන් අපට රැස්වෙන්නේ කෙබඳු පිනක් ද?

බුදුරජාණන් වහන්සේ ලෝකයාට මහත් අනුකම්පා සහගතයි. උන්වහන්සේ වදාළා පින්වත් මහණෙනි, මම තරම් දන් දීමේ විපාක දන්නා කෙනකු ලෝකයේ ඉන්නවා නම් කෑමට ගත් බත්පතේ අවසාන බත් කට හෝ තව කෙනකුට නොදී අනුභව කරන්නේ නෑ.කියලා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් එසේ වදාළේ උන්වහන්සේ ගේ විශ්මිත අවබෝධයෙන්. රහසින්වත් සැක සහිත දෙයක් උන්වහන්සේ වදාළේ නැහැ. දානය කියන දේ භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කළා.

උන්වහන්සේ බොසත් අවධියේ දානය දෙද්දී ගුණවතුන් පමණක් තෝරා ගන්නේ නැහැ. දෙන්නට යමක් තිබුණා නම්, ලබා ගන්න කෙනකු සිටියා නම් තිබෙන දේ සතුටින් පූජා කළා .දාන පාරමිතාව ලෙස,

උදාහරණයක් ලෙස බෝසත් අවධියේ වෙස්සන්තර ආත්මයේ තමාගේ ලෙයින් උපන් දරු දෙදෙනා වූ ජාලිය ක්‍රිෂ්ණජිනා දන් දුන්නේ කිසිදු සීලයක්, ගුණයක්, තෙතමනයක් නැති නන්නාඳුනන බ්‍රාහ්මණයකුට යි. සීලයක් ගුණයක් නැති පුද්ගලයකුට දරුවන් දුන්නායි කියලා උන්වහන්සේගේ විශ්මිත අවබෝධයට, ලොව්තුරා බුදු බවට එය ගැටලුවක් වූයේ නැහැ. එනිසා දානය කියන්නේ ගුණවතුන් පමණක් තෝරාගෙන දෙන දෙයක් නොවේ. දෙන්නට යමක් තිබෙනවා නම් ලබා ගන්නට කෙනෙක් ඉන්නවා නම් එය ලබාදීම දානය යි.

අපි දන්නවා පසුගිය කොවිඩ් වසංගත කාලයේ මිනිසුන්ගේ ජන ජීවිතය ඉතා වේගයෙන් අකර්මණ්‍ය වුණා. කුසට අහරක් නැතිව ඇතැම් දෙනාට කුසගින්නේ ඉන්න වුණා. එහෙත් අප රටේ කිසිදු කෙනකු හාමතේ මිය ගියේ නැහැ. ඒ අපි සංසාරයේ දන් දීපු ජාතියක් නිසා. එදා අවුරුදු දෙකක් නගර වසා තිබුණා. ඒ කාලයේ මංමාවත්වල සිටිය සුනඛයන්, බළලුන්, කුරුල්ලන් වගේ සතුන් ඉතා අසරණ වුණා. ඒ සතුන්ට දින ගණන් ආහාරයක් ලැබුණේ නැහැ. ඒත් අපේ රටේ පින්වත් දුවලා, පුතාලා ගමක්, නගරයක් පාසා හන්දිවල බලුකපුටු දාන දුන්නා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා බත්පතේ ඉතුරුවන කෑම ටික සතකුට ආහාරය පිණිස දුන්නොත් ඒ දුන්නා වගේ සිය ගුණයක් ලැබෙනවා කියලා. ඒක බුද්ධ වචනයක්. ඒ නිසා බලුකපුටු දානය සැප විපාක ලබා දෙන පින්කමක්.

බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ සංසාරයේ අම්මා, තාත්තා නොවූ කෙනෙක්. බිරිඳක්, සැමියෙක්, දරුවෙක්, සහෝදරයෙක්, සහෝදරියක් නොවූ කෙනෙක් මේ ලෝකයේ නැහැ. එහෙම නම් මේ කපුටු, බළල්, කුරුල්ලන්, සුනඛයන් ආදි මේ සියලුම සතුන් මේ සංසාරේ කවදා හරි ආත්මයක අපට කිරි දුන් අම්මා වෙන්න පුළුවන්. දහඩිය හෙලා පෝෂණය කළ තාත්තා වෙන්න පුළුවන්. ආදරේ කළ බිරිඳ, ස්වාමියා, දරුවා වෙන්න පුළුවන්. එක කුසේ උපන් සහෝදරයා, සහෝදරිය වෙන්න පුළුවන්. ඒ අය කවුද කියලා අපට හඳුනා ගන්න බැහැ. ඒ අය තිරිසන් ආත්මයේ, එනිසා බුද්ධ වචනය විශ්වාස කරන්න. බලු කපුටු දානයක් දුන්නත් කල්ප ගණනක් ඔබට සැප විපාක ලැබෙනවා ම යි. බලුකපුටු දානය අනන්ත පින් සිදුවන දානයක්.

තිරිසන් සතෙක් මියගිය පසු සමහර පිරිස් ඒ සතාට දානයක් දී පින් පෙත් අනුමෝදන් කරනවා. ඒ පින මියගිය සතාට ලැබෙනවා ද?

බොහෝ නිවෙස්වල තිරිසන් සතුන්ට. දරුවන්ට වගේ ආදරය කරනවා. සලකනවා. ලෙඩට, දුකට පිහිට වෙනවා. එසේ සෙනෙහසින් හදා වඩා ගන්නා ඒ සතා මරණයට පත් වුණාම ඒ උදවිය බොහෝ සේ කම්පාවට පත් වෙනවා. අපි ඇතැම් මාධ්‍යවල දුටුවා නිවසේ සුරතලයට හදාවඩාගත් සුනඛයා මියගියාම නිවැසියෝ ස්වාමින් වහන්සේ වැඩස කරවගෙන පාංශුකූලය දී පින්පෙත් අනුමෝදන් කරනවා.

එය මේ වගේ තේරුම් ගන්න. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ තෝදෙය්‍ය කියලා මහා සිටුවරයෙක් වාසය කළා. ඔහු ඉතා ධනවත් පරම්පරාවෙන් එන කෙනෙක්. පරම්පරා හතක ධනය ඔහුට තිබුණා. එහෙත් කවදාවත් දානයක් දුන්නේ නැහැ. බණ පදයක් ඇසුවේ නැහැ. ස්වාමින් වහන්සේ නමකට වන්දනාමාන කළෙත් නැහැ. තණ්හාවෙන් ජීවත්වෙලා මියගියා. ඔහු සිටු නිවසේ සිටි බැල්ලකගේ කුසේ පිළිසිඳ ගත්තා. භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල ම දිවැසින් දුටුවා.

සිටුවරයාට එක පුතෙක් සිටියා. ඔහු මේ උපන් සුනඛ පැටියාට බොහෝ සෙනෙහෙවන්තයි. මේ කවුද කියා සිටු පුතාට තහවුරු කිරීමට දිනක් භාග්‍යවතුන් වහන්සේ සිටු මාලිගය අසලින් වැඩියා. භාග්‍යවතුන් වහන්සේ දුටු පැටියා බුරාගෙන ඉදිරියට පැන්නා. භාග්‍යවතුන් වහන්සේ වදාළා තෝදෙය්‍ය නුඹ පෙරදීත් මට නින්දා අපහාස කළා. අදත් මට බුරනවා නේද කියලා. තෝදෙය්‍ය නාමය ඇසුණු ගමන් මේ පැටවා කන් කඩාගෙන, වලිගය හකුලාගෙන ගොස් ලිප් බොක්කේ අළු උඩ ලැග්ගා. වෙනදාට සුවපහසු ආසනවල සැතපුණු මේ සුනඛ පැටවා අද ලිප් බොක්කේ ගුලිවෙලා හිටියා. සවස සිටු පුත්‍රයා නිවසට පැමිණ පැටියා ගැන විපරම් කළ විට සේවකයෝ දවල් කාලයේ සිදු වු සියලු දේ කියා සිටියා. සුනඛයාට තම පියාගේ නම කිව්වා කියා ඇසුණාම සිටු පුතා කිපුණා. වහා ජේතවනාරාමයට ගියා

“ස්වාමීනි ඔබ වහන්සේ අපේ සුරතලාට මගේ පියාගේ නම කියලා කතා කළේ ඇයි?”

“සිටු පුත්‍රය, ඒ සුරතලා පෙර භවයේ ඔබේ පියා නිස යි.” “ඔබ වහන්සේ ඒක ඔප්පු කරන්නේ කොහොම ද?”

“පුත්‍රය, ඔබ ඔය පැටියා පිරිසුදු කරලා දිය නො මුසු කිරිබතක් කවන්න. හිස අතගාමින් ඉන්න. නින්ද යාගෙන එද්දී අහන්න තාත්තේ, ඔබ අපට නොදුන් දෙයක් තිබෙනවා ද? කියලා.

සිටු පුතා සියල්ල එලෙසම කළා. ඒ මොහොතේ සුරතල් සුනඛ පැටවා වත්ත කෙළවරට ගොස් එක් ස්ථානයක පහුරු ගෑවා. එතැන හාරා බලද්දී රන් මිරිවැඬි සඟල, රන් හැරමිටිය,රන් පිඟාන ආදිය තිබුණා. සිටු පුතා මහත් දුකට පත් වුණා. මගේ පියාට මෙතරම් ධනයක් තිබිලත් තිරිසන් ලෝකයේ ඉපදුණා කියා කම්පාවට පත්ව ඔහු සතු ධනය එදා පටන් දන් දීමට පුරුදු වුණා.

එදා භාග්‍යවතුන් වහන්සේ සිටු පුතාට කිව්වේ නැහැ. ඔබගේ පියා තිරිසන් ලෝකයේ ඉපදුණේ පැන් වඩලා පින් අනුමෝදන් කරන්න කියලා. සිටුපුතා එහෙම කරන්න හිතුවෙත් නැහැ. පියා තිරිසන් ලෝකයේ ඉපදුණ බව දැන දැනත් එහෙම ඉල්ලීමක් එතැන කෙරුණෙත් නැහැ. තිරිසන් සතාට මොන ආකාරයේ පිනක් කරලා අනුමෝදන් කළත් ඒ පින අනුමෝදන් කරන්න බැහැ.

ධර්මයට අනුව නම් මියගිය තිරිසන් සතාට පින් අනුමෝදන් වෙන්න බැහැ.

මිය ගිය සුරතල් සතා වෙනුවෙන් අපි යම් පිනක් කළොත්, පින ඒ සතාට අනුමෝදන් වෙන්නේ නැතිනම් ඒ පිනට මොකද වෙන්නේ?

අපි ශ්‍රමය, ධනය, කාලය වැය කරලා මිය ගිය සෙනෙහෙවන්තයන්ට පින් අනුමෝදන් කරනවා. එහෙත් ඒ පින ඒ අයට ගන්න බැරි නම් භාග්‍යවතුන් වහන්සේ වදාළා සම්පූර්ණයෙන් ම ඒ පින පින්කම කළ අයට අනුමෝදන් වෙනවා. ඒ විශ්වාසයෙන් අපි පින්කම් කළ යුතුයි.

සමහරු අහසේ පියාසරන කුරුල්ලන් දෙස බලා හිතනවා අනේ මටත් කුරුල්ලෙක් වෙලා මෙහෙම පියාඹලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්නම් කොතරම් හොඳ ද? කියා. බොළඳ ප්‍රාර්ථනා කරනවා. ධර්මය පිළිබඳ, බුද්ධ වචනය මාත්‍රයක් දන්න කෙනකු ඒ වගේ පව්කාර ප්‍රාර්ථනයක් කරන්නේ නෑ. කුරුල්ලා කුඩා වුවත් කෙතරම් පව් කර ගන්නවා ද? ඔවුන් කෑමට ගන්නේ තවත් ප්‍රාණියෙක්. ඒ සතුන් දන්නේ නෑ තමන් කර ගන්නේ ප්‍රාණඝාතයක් කියලා. ඔවුන් නොදන කළත්, ජීවත්වීමට කළත් එයින් අකුසලයක් රැස් වෙනවා. ඒ ප්‍රාණඝාත අකුසලය. ඒ නිසා ඔබ කවදාවත් පින්කමක් කරලා බොළඳ ප්‍රාර්ථනා කරන්න එපා.

එනිසා පින්වතුනේ මේ සසර ඉතාමත් බියකරු යි. භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, මා තරම් දන්දීමේ අනුසස් දන්නා තව කෙනකු නැහැ. දාන පාරමිතාව සත්‍ය යි. දානයේ ආනිශංස සත්‍යයි කියලා. පුළුවන් ආකාරයට ඔබත් දන් දෙන්න පුරුදු වෙන්න.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]