[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පාපය අළු යට සැඟවුණ ගිනි පුපුරක් වගෙයි සැඟවී සිට විපාක දෙනවා

පාපය අළු යට සැඟවුණ ගිනි පුපුරක් වගෙයි සැඟවී සිට විපාක දෙනවා

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි පින යනු සැපයම වන්නේ ය. මේ ජීවිතයේ කවුරුන් හෝ සැප විඳිනවා යනු ඒ පෙර කරන ලද පිනෙහි ඵලයන් ම ය. පෙර පින් කළ අය මේ ජීවිතයේ කුමන තරාතිරමක උපත ලබා සිටිය ද සැපය උදාකරමින් පින සෙවණැල්ල සේ ඔහු පසුපස හඹා එනවා. ඒ සැපයට තව කෙනෙක් ඊර්ෂ්‍යා කිරීමෙන් එය වළකන්නට බැරි වන්නා සේ ම තමා සතුකර ගන්නට ද නොහැකියි.

ඒ පිළිබඳ කඩවත මාවරමණ්ඩිය සිරි ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක, හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය, ශාස්ත්‍රපති පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් පළ කළ අදහස් ය.

ස්වාමීන් වහන්ස, ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක් උරුම වූ සත්වයාගේ සැප දුක තීරණය වන්නේ කෙසේ ද?

අපේ ජීවිත දවසින් දවස ගෙවෙමින් යනවා. මොහොතින් මොහොත වියැකෙමින් යනවා කාලය වේගයෙන් දිව යනවා. ආයුෂයට නැවතුමක් නම් නැහැ. අපේ ජීවිත මේ රැල්ලට හසු වී ගසාගෙන යනවා. ළදරු විය, තරුණ විය කරා යනවා. තාරුණ්‍යය මහලු විය කරා යනවා. මහලු විය මරණය කරා යනවා. ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේලාගේ පටන් සියලු සත්වයින්ගේ ඉරණම මෙයයි. මෙවන් ඉරණමක් ළඟ හඬා දොඩා පසුතැවෙන්නට සිදු නොවන ජීවිතයක් සාදාගත් අය සැබෑම පින්වතුන්. ඒ නිසා නොපමාව පින් රැස්කර ගත යුතු වෙනවා.

අපට මේ සඳහා බොහෝ කල් තියෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ හුස්ම පොදක් ඉහළට අරගෙන පහළට ගෙන ආපසු ඉහළට ගන්න කලින් අපි මැරෙන්න පුළුවන් කියලා. ඒ නිසා නොපමාව පින් කරගන්න කිව්වා. ලෝවැඩ සඟරාව දෙස බැලීමේදී මේ බව හොඳින් වටහා ගන්නට පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ ගද්‍යයෙන් වදාළ දේ වීදාගම මහා මෛත්‍රය හිමියන් ලෝ වැඩ සඟරාවේ මෙසේ පද්‍යයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙස ද හෙට මරු නේති සිතන්නේ
කිකල ද මහසෙන් මරු ඇප වන්නේ
කුමට ද කුසලට කම්මැලි වන්නේ

අද අදම මාරයා පැමිණෙතැයි සිතා පින් කළ යුතු ය. හෙට මරු නොඑන්නේ දැයි කෙලෙස සිතන්නද? මහා සේනාවක් ඇති මාරයාට කවර නම් කාලය ඇප වෙන්නද? එබැවින් කුසල් කිරීමට කුමක් හෙයින් කම්මැලි වන්නේ ද?

මිනිසත් බව ලැබීමත් පිනක් නේ ද?

මේ වන විට ලෝක ජනගහනය බිලියන අටක් පමණ වන බව කියන්නට දත්ත තිබෙනවා. නමුත් අපා, දෙපා, සිවුපා , බහුපා සතුන් කොපමණ ජීවත් වනවාද යන්න කෙසේවත් ගණනකින් දක්වන්නට බැහැ.

ඔබේ නිවස පිහිටා ඇති පර්චස් කිහිපයක ප්‍රමාණයකින් යුතු ඉඩමේ සතුන් කොපමණ ජීවත් වෙනවාද? එය ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් වන්නට පුළුවන්. උපතින් සත්වයාට ඒ සා සුවිසල් උප්පත්ති ස්ථාන සංඛ්‍යාවක් තිබියදී අප මිනිස් ලොව උපදින්නේ ඇයි? පින නිසා

එපමණක් නොවෙයි, නිරයේ ද අසුර අපායේ ද, පේ‍්‍රත ලෝකයේ ද ගණනින් කිව නොහැකි තරම් ප්‍රාණීන් ඉපිද සිටින බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ ඕනෑම තැනක ඉපදීමට අපට ද අවස්ථාව තිබියදී අප මේ මිනිස් ලොව උපදින්නේ ඇයි? පින නිසා

මේ ස්ථාන අප විසින් හෝ අපගේ මව්පියන් විසින් හෝ තෝරාගත්තේ නැහැ. කොහේ කොතැන හිඳ කොහොම මරණයට පත්වූවා දැයි නොදන්නා අප මරණින් මතු මව්කුස පිළිසිඳගෙන තිබෙනවා. මව්කුසක් තිබෙන්නේ මිනිස් ලොව මව්වරුන්ට පමණද? නැහැ. දහස් ගණනින් බොහෝ වූ මව් කුසවල් සෙසු ලෝකවල තිබියදී අප මිනිස් මව්කුසක් කරාම පැමිණියේ ඇයි? පින නිසා

අප උපන් මේ බිම ලොව පුණ්‍යවන්තම භූමියක්. ඇත්තෙන්ම අප හුදෙක් මිනිස් ලොව උපත ලැබීමට සීමා නොවී බුදුරජාණන් වහන්සේගේ සරණ යන්නටත් අවස්ථාව ලැබිලා. තථාගත ශ්‍රී සද්ධර්මය සරණ යන්නට අවස්ථාව ලැබිලා. පින් දහම් කර ගන්නට අවස්ථාව ලැබිලා. ඒ පින පොඩි පිනක් නම් නොවෙයි. අතිශය වටිනා පුණ්‍ය විපාකයක්.

ජීවත්ව ඉන්නා කාලයේ කාල බීල සතුටින් හිටියාම ඇති. පින්කරන්න අවශ්‍ය නෑ කියලත් ඇතැම් අය කියනවා

අපේ සංසාරික පින බොහෝ සෙයින් ගෙවී ගිහින්.” යන්න නිතර සිහි කරන්නට ඕනෑ.

අපේ පින ගෙවී ගියා යන්නෙන් නොනැවතී, පිනෙන් බලවත් ව, වැඩී යා හැකි පරිදි මේ බුද්ධ ශාසනය තුළ පින් රැස් කිරීමට අපත් බුද්ධිමත් වන්නට ඕනෑ. දක්ෂ වෙන්නට ඕනෑ. එසේ නොවුණොත් මේ පින ගෙවී අවසන් වෙද්දී අප වැටෙන්නේත් බොහොම දුක්ඛිත ඉරණමකටයි.

මහත් වූ පුණ්‍ය සම්භාරයක් විය පැහැදම් කර සම්බුද්ධ ශාසනයක ලද මේ මිනිස් ජීවිතය තුළ පින නහගන්න කෙනෙක් නම් වෙන්න එපා. ඉන්න ටිකේ කාලා බීලා සතුටින් හිටියාම ඇති. අමුතුවෙන් පින් කරන්න දෙයක් නෑ.” කිය කියා පිනට ගරහන්න එපා. වියදම් කරන්න දෙයක් අලුතින් නූපදවා ගත්තොත් ව්‍යාපාරයක් වුණත් බංකොළොත් වෙනවා.

බුදුරදුන්ට එරෙහිව ගිය දේවදත්ත අද ඉන්නේ නිරයේ. තමන් කරන ලද අකුසල කර්මය අළුයට සැඟවුණු ගිහි පුපුරක් වගේ සැඟවිලා ඉඳලා විපාක දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුංචිම පිනක් වුණත් පින් රැස් වෙනවා ය යන ධර්මතාව විශ්වාස කරමින් පින් රැස් කරන්නට අපි පුරුදු වෙන්නට ඕනෑ. වැස්ස වෙලාවක කළගෙඩියක කට ඇරල තිබ්බට පස්සේ බිංදුව බිංදුව වැටිල කළගෙඩිය පිරිල ඉතිරිල යනව වගේ උත්සාහවත් පුද්ගලයා ටිකෙන් ටික පිනෙන් ඉතිරිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ධර්මයෙහි පින අර්ථ ගන්වන්නේ කෙසේ ද?

මහණෙනි පිනට බිය වන්නට එපා. පින යනු සැපයට කියන තවත් නමකි. ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනාප වූ පි‍්‍රය වූ, දෙයට කියන තවත් නමකි.

බුදුරජාණන් වහන්සේ යහපත සැපත සලසන පින් රැස් කර ගැනීමට ශ්‍රාවකයන්ව නිරන්තරයෙන් ම උනන්දු කර වදාළා.

යම්කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිත, කය, වචනය යන තිදොරින් පින් කළොත්, නැවත නැවතත් කර ගන්න ඕනෑ වෙන්නේ ඒ පිනමයි. පින් කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇති කර ගන්න ඕනෑ. සැප කියා කියන්නේ පිනටමයි.

වත්මන් සමාජයේ මිත්‍යා දෘෂ්ටික මතවාදයක් පැතිර යනවා” පින් කරන්න හොඳ නැහැ. පින් කිරීමෙන් සසර දිගු වෙනවා, පිනට කැමැති වීමත් තණ්හාවක් නේද? ආදී වශයෙන්

මෙවැනි මිත්‍යා දෘෂ්ඨික ප්‍රකාශ කරන පුද්ගලයන් ආහාර අනුභව කරන්නේ නැද්ද? ඇඳුම් අඳින්නේ නැද්ද? එහෙම නම් ආහාරයටත් තණ්හාවක් තියෙනවානේ. ඇඳුම් අඳින්නත් තණ්හාවක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක් ඇතිවීමට හේතුව තමයි තණ්හාව.

මොකක්ද ඒ තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ත්‍රිවිධ වූ මේ තණ්හාවට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යැයි කියනවා. මෙහි තණ්හාව දුක ඉපදීමේ සැබෑ හේතුව ම බව දේශනා කර තිබෙනවා.

මෙවැනි මිත්‍යා දෘෂ්ටික මතයන්ගෙන් සැපය වනසා ගන්නවුන්ගේ අවාසනාවට වාසනාව දෙන්නට බැහැ. පව්කාර දිවියක්ම උරුම කර පැමිණි අය එයින් ම වැනසී යාම පව් විපාක දීමේ ස්වභාවයයි.

ස්වාමීන් වහන්ස, අපේ රටේ උදේ සිට රෑ වන තුරු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ, ධර්මය රැව් පිළිරැව් දුන්නත් අසන්නට ලැබෙන්නේ හද කම්පා කරවන සිදුවීම්. ඇයි එහෙම වෙන්නේ ?

උදේ පාන්දර ඉදන්ම ගමක් ගානේ, පන්සලක් ගානේ මෙන්ම ටීවී, රේඩියෝ මාධ්‍ය ඔස්සේ ද ධර්මය රැව් පිලිරැව් දුන්න ද ඒවායින් ඵල ලැබගන්නේ සුළු පිරිසක්. බහුතරයකට ධර්මය ඇසෙන විට කන් අගුළු වැටෙනවා.

ඉපදීම, ලෙඩවීම, ජරාවට පත්වීම, මරණය යනු දුකක් ලෙස දකින්නට සිත් සංවේදී නොවන තාක් මිනිසුන් සිටින්නේ ධර්මයට බොහෝ ඈතින්. අද බොහෝ දෙනෙක් කාර්යබහුලයි. වැඩ රාජකාරී වගකීම්වලින් හෙම්බත්වෙලා. විවේකයක් ඇත්තේම නැහැ. ඔවුන් හති වැටෙනා තුරුම, හැට පනින තුරුම කාර්ය බහුලයි. ඉඳගන්නා හිටගන්නවත් වාරුවක් නැතිදාට පින්කම් කරන්නට මතක් වෙනවා. හනි හනිකට පින්කම් ගොඩක් කරගන්නට පෙර නොතිබුණු හදිස්සිය තිබුණාට එදාට ප්‍රමාදයම පසුතැවීමට හේතුවෙනවා.

දානය නම් වූ අත්හැරීමෙන් ලබන පිනට වඩා සීලය ආරක්ෂා කිරීමෙන් රැස්වන පින මහත් ඵල යි. සිල් ආරක්ෂා කිරීමෙන් රැස් වන පිනට වඩා භාවනා කිරීමෙන් රැස්වන පින මහත්ඵල මහානිශංස යි. මේ උතුම් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් තුළින් ජීවිතයට පින් රැස් කර ගනිමින්, කුසල් වඩමින් උතුම් නිවන් සැප ලබා ගැනීමට උත්සාහවන්ත වෙමු.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]