[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

භාවනා කරනවා කියන්නේ සැමදේම අතහැර කටුක ජීවිතයක් ගෙවීම නොවෙයි

භාවනා කරනවා කියන්නේ සැමදේම අතහැර කටුක ජීවිතයක් ගෙවීම නොවෙයි

මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා මනසා චෙ පසන්නේන භාසති වා කරොති වා තතො නං සුඛමන්වති ඡායා ව අනපායිනි

“මනස“ සෑම ක්‍රියාටකට ම පෙරටුව ගමන් කරයි. පූර්වාංගම වෙයි. යම් කෙනෙක් පහන් වූ සිතින් යමක් කරන්නේ ද, කියන්නේ ද සැප ය ඔහු පසුපස ම එයි. තමන් අත්හැර නොයන සෙවණැල්ල මෙනි.

බුදුරජාණන් වහන්සේ දේශිත ශ්‍රී සද්ධර්මයේ ප්‍රධාන පෙන්වාදීම යහපත් මනසක් පවත්වා ගැනීමයි. මනසේ ප්‍රසාද බව, පිරිසුදු බව ඇති කර ගැනීමට උපකාර වන කරුණු අතර දානය, සීලය ප්‍රධාන වේ. මනසේ ගැඹුරට ම පාරිශුද්ධ ස්වභාවය ඇති කර ගැනීමට නම් අප භාවනාව සඳහා යොමු විය යුතුයි.

දන්දීමෙන් සිතේ සංවර බව, සැහැල්ලු බව ඇති කරනවා. යම් දෙයක් ලෝභ සිතින් අල්ලාගෙන සිටිනවාට වඩා එය සතුටු සිතින් යම් කෙනකුට දන් දී සතුටු වන්නට හැකි නම් එය එක් පැත්තකින් අත්හැරීමක්. ඒ වගේ ම අත්හැරීමෙන් ලබන සතුටක් බවට ද පත්වෙනවා.

යමක් දන් දී ඒ දේ පිළිබඳ සිතා සතුටුවීම, එය අනුස්සතියක් හැටියට වැඩීම චාගානුස්සති භාවනාව ලෙසින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

“අප සාමාන්‍ය යෙන් යම් දෙයක් දෙනවා. ඒත් දුන් ප්‍රමාණය ගැන මතකයක් නැහැ. දීම ගැන ලොකු කල්පනාවකුත් නැහැ. එහෙත් අපට පුළුවන් යම් කිසි කෙනකුට යමක් දීමට පෙරත්, හොඳීන් සිතා බලා සතුටු වන්න. දන් දෙන අවස්ථාවේදීත් ඉතා සතුටින් දෙන්න. දීමෙන් පසුවත් සතුටට පත්වෙන්න. ඒ ගැන යළි යළිත් මෙනෙහි කරන්න. එය සතුටු සිතින් වඩන්න පුළුවන්. ඒ මෙනෙහි කිරීම භාවනාවක් අතරට ගන්නේ නම්, එය චාගානුස්සති භාවනාව නමින් හඳුන්වනවා.

භාවනාව යැයි කී පමණින් බොහෝ දෙනකුට තිබෙන්නේ මේ සෑම දේ ම අතහැර, වනගතව ගල්ලෙනක මහා කටුක ජීවිතයක් ගෙවනවා කියන ආකල්පයයි. නැහැ. අපිට එදිනෙදා ජීවිතයේ දී ත් මනසේ පාරිශුද්ධ භාවයක් ඇති කර ගන්න පුළුවන්. අප කරන ක්‍රියාව, කතා කරන වචනය පවා අප කෙරෙහි ඉතා බලවත්ව හිතෛෂිවන්තව පවතිනවා. යහපත් වචනයකින් හෝ ක්‍රියාවකින් වරදක් වන්නේ නැහැ. බෞද්ධයයන් වශයෙන් දන් දීම කියූ විට විවිධයි. එය අප සවසට බුදුරජාණන් වහන්සේට පූජා කරන මල් වට්ටිය, පහන් ආලෝකය, පෙරවරුවේ තබන බුද්ධ පූජාව විය හැකියි. මේ පූජාවන් පිළිබඳ පවා මනසේ ඇති කර ගත් සංයමයෙන් දානය පිළිබඳ, පූජාව පිළිබඳ මහත් වූ ප්‍රසාද සිතක් ඇති කරගෙන යළි යළිත් ඒ පිළිබඳ මෙනෙහි කරන්න. ඒ චාගය පිළිබඳ යළි යළිත් මනසිකාරය කරමින් සතුටු වෙන්න. සිත ඒකාග්‍ර කර ගන්න. එවිට අපිට චාගානුස්සති භාවනාව වැඩෙනවා. මනසේ සුවපත් භාවය ඇති වෙනවා. පීඩාකාරී මානසික බවෙන් ඈත්වෙනවා. එවිට නිරවුල් මනසින් එදිනෙදා වැඩ කටයුතුවල යෙදෙන්න පුළුවනි.

දිනක් මට යම් පුද්ගලයෙක් හමුවුණා. ඔහු බෞද්ධයෙක් නොවෙයි. බෞද්ධ පරිසරයක් නැති රටකයි ජීවත් වෙන්නේ. ඔහු තමන්ගේ ජීවිතයට සිදු වූ බොහොම කටුක අද්දැකීමක්, මෙනෙහි කරමින් ඉන්න පුරුදු වුණා. අපි වූවත් ප්‍රශ්නයක් ආවොත්, දිවා රෑ නොතකා ඒ පිළිබඳව ම කල්පනා කරනවා නේද? මට මෙහෙම සිද්ධ වුණා. මම මෙහෙම කටයුතු කළා යනුවෙන්. මේ පුද්ගලයාට මුණ ගැසුණා හිතවතෙක්. ඔහුත් බෞද්ධයෙක් නොවෙයි. ඔහු තම හිතවතාට සිතේ පීඩාකාරී බව දුරු කර ගන්න, සිත නිදහස් කර ගන්න ක්‍රමයක් කියා දෙනවා. ඒ පාන්දරම කුරුල්ලන්ට කෑම ටිකක් දීල, කුරුල්ලන් ඒ කෑම කන දෙස බලන් ඉන්න කියා.

කුරුල්ලන්ට කෑම දෙන්න සුදුසු තැනක් සුදුසු ලෙසින් භාජනයක් සකස් කරගෙන උදේ ම කෑම ටිකක් තබා විනාඩි පහක් දහයක් විතර කුරුල්ලන්ගේ හැසිරීම බලා සිටියා. කුරුලු මව්පියන් දරුවන් සමඟ, කෑමට එනවා. විවිධ පක්ෂීන් එනවා. ඔහුට ම සිතා වතුර ටිකකුත් කුරුල්ලන්ට බීමට තබනවා. මේ කුරුල්ලන්ගේ හැසිරීම බලා සිටීමත් සමඟ ඔහුගේ මනසේ තිබූ ගැටලුකාරී බව, පීඩනය පහව ගියා. මනස නිදහස් වුණා. නිරවුල් බවට පත්වුණා. ඔහු මට කියනවා

“හාමුදුරුවනේ, මනසේ නිරවුල් බව හේතුවෙන් මගේ රැකියාව පවා හොඳීන් කර ගැනීමට පුළුවන් වුණා. ඒ හේතුවෙන් මට රැකියාවේ ඉහළ තනතුරකුත්, වගකීමකුත් ලැබුණා. “ කියා. ඕනෑම කෙනකුට පීඩාකාරී ස්වභාවයක් ඇතිවීම ස්වභාවිකයි. සමහර විට අසල්වැසියන් නිසා, අපේ මනස පීඩාකාරී බවට පත්වෙනවා. සමහර කාර්යාල කටුතුවල දී තමන්ට අප්‍රසන්න අය නිසා, කටයුතුවල පීඩාකාරී බවක් ඇතිවෙනවා. ඒ වගේ ම ගේ - දොර ගත්විට, දරුවෝ හිතුවක්කාරයි. ස්වාමියා බිරිඳට අවනත නැහැ. බිරිඳ - ස්වාමියාට අවනත නැහැ. ඥාතීන්ගෙන් ඇතිවන කරදර හේතුවෙන් තමන්ගේ මනසට දැඩි පීඩාකාරී තත්වයක් ඇතිවිය හැකියි. මේ ලෝකයේ සිදුවන දේ අපට නවත්වන්න බැහැ. ඒ වගේ ම අසල්වැසියන් හෝ සමාජයේ අන්‍යයන් හදන්නත් බැහැ. සංසාරගත අකුසල කර්මයකට හෝ දරුවෝ නොමඟ යනවා නම් ඒ අය හදන්නත් බැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ පළමුව තමන්ගේ මානසික සුවපත් භාවය මෙන් ම මානසික ශක්තිය, මානසික උතුම්භාවය ඇති කර ගන්නා ලෙසයි. ඒ ආකාරයෙන් අපේ මනස සකස් වූ විට ජිවිතයට එන සෑම ප්‍රශ්නයකට ම නිරවුල් මනසින් මුහුණ දිය හැකිවේවි. ඒ නිසා සෑම කෙනකු ම තමන්ට හැකි පමණ භාවනාවක් පුරුදු පුහුණු කර ගන්න.

අර පුද්ගලයා කුරුල්ලන්ට කෑම දීල සතුටුවෙන්න, මනස නිරවුල් කර ගන්න ඉගෙන ගත්තෙ බෞද්ධයකු නොවන අන්‍යාගමික පුද්ගලයකුගෙන්. එහෙත් නොදැනීම ඔහු තුළ වැඩුණේ කුමක් ද? චාගය නමැති චාගානුස්සති භාවනාවයි. එසේ නම් නිරන්තරයෙන් දන් දෙන අපි ඒ දානය දීම පිළිබඳ නිතර, නිතර මෙනෙහි කරනවා නම්, නිතර නිතර සතුටු වෙනවා නම්, කතා කරනවා නම් අපේ මනසේ චාගානුස්සති භාවනාවෙන් ඇතිවෙන සංසිඳීම ඇතිවීම ආරම්භ වෙනවා. පීඩාකාරී මනස බැහැරව නිරවුල් මනසක් ඇතිවෙනවා. මෙම භාවනාව ගැඹුරට වැඩිය හැකි භාවනාවක්. අපි මෙසේ සිතමු. බෞද්ධ අපේ නිවෙස්වල සාමාන්‍යයෙන් උදේ, සවස බුදුන් වැඳ පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් සමාදන් වූ ව ද, සමාදන් වූ සීලය කොපමණ දුරට ආරක්ෂා කරනවා ද? කියන කාරණය පිළිබඳ ගැටලුවක් පවතිනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් අව අටවක පෝදා (15) අන්තර්ජාල කළාපයේ පළවේ.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]