[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අභියෝග හමුවේ නොසැලෙන්න තැනට සුදුසු නුවණ දියුණු කර ගන්න

අභියෝග හමුවේ නොසැලෙන්න තැනට සුදුසු නුවණ දියුණු කර ගන්න

ජීවිතයේ අරමුණු සපල කර ගැනුමට හිතනවා නම් එල්ල වන බාධක මැද ඉදිරියට යා යුතු වෙනවා. මෙහි දී අපි ඥානාන්විත වීමේ අවශ්‍යතාව යි ඉස්මතු වන්නේ. මෙයට තවත් දිය හැකි වචනයක් වන්නේ තැනට සුදුසු නුවණ යන්න යි. මේ කරුණ කරණියමෙත්ත සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ”නිපකො” යන්නෙනු යි.

එයින් ප්‍රකාශ වන්නේ ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්ත විය යුතු ය යන මේ කියන කාරණය යි. නිපක කියන වචනයේ සාමාන්‍ය අර්ථය වන්නේ නුවණින් ක්‍රියා කළයුතු යන අදහසයි. එනම් නුවණැති බවයි. එහෙම වුණත් මෙම සූත්‍රයේ දී නිපක යන වචනයෙන් ඊටත් වඩා එහා ගිය පුළුල් අදහසක් ප්‍රකාශ වෙනවා.

එනම් යම් ක්‍රියාවක දී, වචන කථා කිරීමේ දී, සිතිවිලි ඇති කර ගැනීමේ දී ඒ ඒ අවස්ථාවට ඇතිවන ගැටලු හෝ වෙනත් බාධක අවස්ථාවන්හි දී එම බාධක මග හරවා ගෙන ඒ ඒ අවස්ථාවට සුදුසු වන ආකාරයෙන් අදාළ ප්‍රතිචාර දැක්වීමට ඇති කර ගන්නා නුවණ මෙයින් අදහස් කරනවා. එසේ වීමේ දී පුද්ගලයා වඩාත් නිවැරැදිව ස්වකිය සෑම ක්‍රියාකාරකමක්ම පවත්වනවා වගේ ම එයින් බාහිර සමාජයටත් තමන්ටත් විශාල මෙහෙවරක් ඉටු කරවා ගන්නට හැකියාව ඇති කර ගන්නවා.

කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් තමන්ට සුදුස කර්මස්ථානයක් ලබා ගෙන වනගතව හෝ ආරණ්‍යවාසිව සිටින භික්ෂුව තමන්ගේ කර්මස්ථානය වඩමින් සමථ හෝ විපස්සනා භාවනාවෙහි යෙදෙන විට එය සාර්ථක කර ගැනිමට අවශ්‍ය වන්නේ චතුසම්පජඤ්ඤයෙන් ක්‍රියා කිරීම යි.

සාත්ථක සම්පජඤ්ඤය, සත්ප්‍රාය සම්පජඤ්ඤය, ගොචර සම්පජඤ්ඤය හා අසම්මොහ සම්පජඤ්ඤය යන සතර ආකාර මනා වූ සිහිනුවණ පවත්වාගෙන ක්‍රියා කිරීම අදහස් වෙනවා.

සාත්ථක සම්පජඤ්ඤය කියලා කියන්නේ තමන් ගත් කමටහන අනුව එය සාර්ථකව සිදු වන්නේ ද යන නුවණින් යුක්තව ක්‍රියා කිරිම යි.

සත්ප්‍රාය සම්පජඤ්ඤය කියලා කියන්නේ තමන්ට යෝග්‍ය වූ හෙවත් ගැලපෙන කර්මස්ථානයෙහි තමා සතියෙන් පිහිටා සිටින්නේ ද යන අවදියෙන් සිටිම යි.

ගොචර සම්පජඤ්ඤය කියා කියන්නේ එම යෝගාවචර භික්ෂුව තමන්ගේ ගොදුරු තම තුළ පිඬු පිණිස හැසිරීමාදියෙහි තමන්ගේ කර්මස්ථානයට බාධක නොවන අන්දමින් එම අරමුණ සතියෙහි පිහිටුවා ගැනිම යි. අසම්මොහ සම්පජඤ්ඤය කියලා කියන්නේ යාම්, ඊම් ආදි සියලු ඉරියව් පැවැත්වීමේ දී හැම විටම නුමුළාව සිහි නුවණින් ක්‍රියා කිරිම යි.

මේ කියන චතුසම්පජඤ්ඤයෙන් යුක්තව නිපක බව දියුණු කර ගැනීමට නම්, භික්ෂුව තමන්ට අයත් වන සිවුරු මැසීම් ආදිය ගැන විමසිලිමත් විම, තමන්ගේ කර්මස්ථානය වැඩිමට අදාළ සෙනසුන් ආදිය පිළිබඳ සුදුසු නුසුදුකම් ආදිය පිළිබඳ විමසිලිමත් විම, විනය විචාරීමට අවශ්‍ය වන කාලය පිළිබඳ විමසිලිමත් වීම, යන කරුණු අත්‍යවශ්‍ය වෙනවා.

මේ අනුව බලනවිට කර්මස්ථානයක් තමන්ගේ චරිතානුකුලව ලැබුණු පසුව ඊට අනුව තමන්ගේ දිවි පැවැත්ම හැම අතින්ම පවත්වා ගෙන යාමත්, ඒ ඒ අවස්ථාවන්හි දී භාවනානුයෝගිව කටයුතු කිරීමේ දී ඒ ඒ අවස්ථාවට සුදුසු වන ආකාරයෙන් නුවණින් යුක්තව ක්‍රියා කිරිමත් අදහස් කෙරෙන බව මෙහි දී තේරුම් ගත යුතු ව පවතිනවා.

දැන් අප විසින් විමසා බලන්නට අවශ්‍ය කරන්නේ මෙම සූත්‍ර දේශනාව භික්ෂූන් වහන්සේට අදාළ වන්නක් වුවත් සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන අප සමාජයෙහි ජීවත්වන අයට මේ නිපක යන ගුණයෙන් ප්‍රායෝගිකව අත්විඳීය හැකි ඵලය කුමක් ද යන්න ගැනයි. දැන් සාමාන්‍ය ගිහි ජිවිත ගත කරන උදවිය තමන්ගේ ජීිවන ගමන පිළිබඳ සැලසුමක් වගේම ඒ සැලසුම සඵල වීමෙන් තමන් අපේක්ෂා කරන ඉල්ලක්කය කුමක් ද යන්න පිළිබඳ විමසිල්ලෙන් ක්‍රියා කිරිම වැදගත් වන බව මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. ඕනැම පැවිදි හෝ ගිහි ජීවිත ගත කරන හැම කෙනෙකුටම යම් ඉලක්කයක් සාධනය කර ගන්නා අයුරෙන් තමන්ගේ ජිවිතය ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එහි දී පළමුවෙන් ම වැදගත් වන්නේ ඊට අවශ්‍ය සැලසුම යි. එම සැලසුම කියලා කියන්නේ එහි දී ඉලක්කය කරා ළගා විමට අවශ්‍ය ක්‍රියාකාරි වැඩපිළිවෙලයි.

සෑම ඉගෙන ගන්නා දරුවකුටමත් ඉලක්කයක් තිබෙනවා. ඉතින් නිදසුනක් ගත්තොත් පාසලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය දරුවාගේ අද පවතින ඉලක්කය වන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්වීම යි.

ඒ මොකටද? තවදුරටත් ඉහළ යැයි පිළිගත් පාසලකට ඇතුළත් වී ඉදිරි අධ්‍යාපනික ජයග්‍රහණ හිමි කර ගැනුමට යි. ඉතින් ඒ ඉල්ලක සපුරා ගැනීමට නම් දරුවා ඊට අවශ්‍ය අධ්‍යාපනික සාධනයන් ශක්තිමත් කර ගත යුතු වෙනවා. ඉතින් ඒවා සම්පූර්ණ කර ගැනීමට නොයෙක් බාධක ඉදිරිපත් වෙනවා.

මෙහි දී පළමුවැනි අවශ්‍යතාව තමා, තම මව්පියන්ගේ ඉදිරිපත් වීම. ඉතින් ඒ කාර්ය සඵලවන තරමට තමා, දරුවාට පළමුවැනි බාධකය ජයග්‍රහණය කර ගත හැකි වන්නේ. ඉතින් එවැනි අවස්ථාවක දී දරුවා ඊට අවශ්‍ය වන ආකාරයෙන් ක්‍රියා කළ යුතු වෙනවා. මව්පියන්ගේ ආදරය කරුණාව දිනා ගන්නා තරමට යි දෙමාපියන් දරුවන් පිළිබඳ උනන්දු වන්නේ.

ඒ වගේම දරුවාගේ ඒ අරමුණ ඉටු කර ගැනීමේ දී වැඩිහිටි මව්පියන්ගේ ආර්ථික තත්වය ශක්තිමත් බව ද වැඩි කර ගැනීමට සිදු වෙනවා.

ඒ මොකට ද මේ දරුවන්ගේ අමතර අධ්‍යාපන වියදම් පිණිස. ඉතින් මෙවැනි අවස්ථාවල දී මව්පියන් ද ස්ථාමෝචිත නුවණින් යුක්තව අවශ්‍ය කරුණු කාරණා සොයා බලා, විමසිලිමත් වී ස්ථානෝචිත ප්‍රඥාව යොදවා තමන්ගේ ආර්ථික අපහසුකම් දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට බලපාන ආකාරය විමිසිලිමත් වී ඊට අවශ්‍ය ආධාර උපකාර බාහිර පාර්ශ්වයන්ගෙන් ලබා ගෙන හෝ ක්‍රියා කිරීමටත්, තැනට සුදුසු නුවණ මෙහෙයවා දරුවාගේ අභිමානයට හානි නොවන ආකාරයෙන් තම ඥාති හිතෛෂීන්ගේ, පරිත්‍යාගශිලින්ගේ උදව් උපකාර පවා පැතීමට සිදු වෙනවා.

මේ ආකාරයෙන් බොහොම හොඳ සිහියෙන් හැම ක්‍රියාමාර්ගයක් ම ගැනීමෙන් ඉලක්ක ගත ඒ අරමුණ සඵල කර ගැනීමේ හැකියාව ඇති කර ගන්නවා.

දරුවාත් විභාගයෙන් උසස් ලෙස සමත් වෙන්නට නම් වේලාවට විභාග ශාලාවට පැමිණීම, ප්‍රශ්න පත්‍රය නිවීසැනසිල්ලේ කියවා කරුණු මැනවින් තේරුම් ගෙන තැන්පත්ව, කලබල නොවී පිළිතුරු ලිවිම කළ යුතු වෙනවා.

මෙලෙස කිසියම් කාර්යයක් සඵල කර ගැනීමේ දී මනා හේතුඵල සම්බන්ධතාවක් ඇතිව මේ හැම ක්‍රියාවක් ම සිදුවනවා වගේම ඊට තැනට සුදුසු නුවණ මෙහෙයවීම නිසා විවිධ බාධක මඟහරවාගෙන ඉලක්ක සපල කර ගන්නට හැකියාව උදා කර ගන්නට පුළුවන්කම ඇති වෙනවා.

මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් අව අටවක පෝදා (15) අන්තර්ජාල කළාපයේ පළවේ.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]