[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ධර්ම සන්නිවේදන මෙහෙවර සඳහා කැප වූ යතිවරයාණෝ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි

ධර්ම සන්නිවේදන මෙහෙවර සඳහා කැප වූ යතිවරයාණෝ

පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි

ධර්ම සන්නිවේදනය සඳහා ම පමණක් වූ රූපවාහිනි නාලිකාවක් ආරම්භ නොවූ යුගයක පේ‍්‍රක්ෂක ශ්‍රාවක සිත් තුනුරුවන් වෙත යොමු කරමින්, ලෝ වැසියන්ගේ සිත් සම්බුදු දහමෙන් සුවපත් කිරීමේ අරමුණින් සැම හිත සුව පිණිස “බෞද්ධයා” රූපවාහිනී නාලිකාව ආරම්භ කරනු ලැබූහ.

දවසේ විසිහතර පැය පුරා දම් දෙසුම් ප්‍රධාන ආගමික වැඩසටහන් පමණක් විකාශය කිරීම බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ පරමාදර්ශය වේ. මෙරට බෞද්ධ සමාජයේ යහපත උදෙසා ආරම්භ කළ පළමු බෞද්ධ රූපවාහිනි නාලිකාව ද එම බෞද්ධයා රූපවාහිනි නාලිකාව ය.

දහම් පිපාසිත සමාජයේ දහම් පවස නිවා සදහම් සුවයෙන් සැනසීම උදාකර දෙන්නට පූජනීය දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගත් මෙම උත්සාහයේ ප්‍රතිඵල තවත් යුග ගණනාවක් පුරා බොදු ජනතාව අත්විඳිනු නො අනුමාන ය.

මෙරට ප්‍රකටව වැඩ සිටි ධර්ම විනයධර මහා යතිවරයන් වහන්සේලා මෙන් ම ඉතා අප්‍රකටව වැඩ සිටි ධර්ම විනයධර යතිවරයන් වහන්සේලාට ද දහම් දෙසීමේ අවස්ථාව බෞද්ධයා රූපවාහිනී නාලිකාව මඟින් උදා විය. එමෙන් ම තරුණ ධර්ම කථික ස්වාමීන්ද්‍රයන් වහන්සේ රැසක් ද සමාජය එමඟින් දැන හඳුනාගනු ලැබූහ.

බෞද්ධයා රූපවාහිනියට අමතරව බෞද්ධයා ගුවන්විදුලිය 2011 දී පූජනීය දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආරම්භ කළහ. අනතුරුව ශ්‍රී සම්බෝධි සදහම් සඟරාව ද උන්වහන්සේ ආරම්භ කළහ.

මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙරට ඓතිහාසික පුදබිම්හිදී පමණක් නොව දඹදිව පුණ්‍ය භූමින්හි ද ඓතිහාසික පින්කම් වරින්වර සිදු කළ අවස්ථා බොහෝ ය. තුනුරුවන් වෙත මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් ම කටයුතු කළ උන්වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේ ම මහත් ගෞරවයට පාත්‍රව ම වැඩ සිටි ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමක් වූහ.

උන්වහන්සේ විසින් මෙහෙයවන ලද සමාජ සේවා සද්කාර්යයන් ද බොහෝ ය. එමෙන්ම බෞද්ධයා නාලිකාවට අමතරව එහි ශාඛා ප්‍රධාන නගර රැසක ම ආරම්භ කරමින් බෞද්ධයා නාලිකාවේ ප්‍රගමනයට කළ මෙහෙවර බොහෝ ය.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු වත්මන් සභාපති ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය ගුරුදේවෝත්තමයන් වහන්සේට උපහාර ලෙස බෞද්ධයා මාධ්‍ය ජාලයේ සහ ශ්‍රී සම්බෝධි මහා විහාර ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි ද ඉමහත් අභිවෘද්ධියට සහ සංවර්ධනයට හා ආරක්ෂාවට ද මහඟු මෙහෙවරක් දිවා රෑ වෙහෙසී ඉටු කිරීම ද බොදුනුවන්ගේ ඉමහත් වාසනාවකි.

පූජනීය දරණාගම කුසලධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පස්වන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් පූජනීය බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සමාජ සේවා කටයුතු රැසක් සමඟ පින්කම් මාලාවක් සිදු කිරීමට ද කටයුතු යොදා තිබිණි.

ඒ නිමිත්තෙන් සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ පූජනීය පාණදුරේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අපවත්වී වදාළ පූජනීය පියදස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද ගුණානුස්මරණය මාර්තු මස 3 වැනි දා සිට පැවැත්මීමට කටයුතු යොදා තිබිණි. ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජනීය කැප්පිටියාගොඩ සිරිවිමල අනු නාහිමියන්ගේ ආශිර්වාදයෙන් ගැටඹේ රාජෝපවනාරාමයේ දී පින්කම් මාලාවක් ඉකුත් 3 සහ 4 දෙදින තුළ පැවැත්විණි.

බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සහ මෙහෙයවීමෙන් අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ මහතා සහ පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මහතාගේ සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්ෂ කල්‍යාණ අලවත්තේගම මහතා සහ බෞද්ධයා ගුවන්විදුලි අධ්‍යක්ෂ සහන් වනිගරත්න මහතාගේ ද පූර්ණ කැපවීමෙන් එම ගුණ සමරු පින්කම් මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]