[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ලෝකයට දිය හැකි අනර්ඝතම වස්තුව නිර්මල බුදු දහමයි

ලෝකයට දිය හැකි අනර්ඝතම වස්තුව නිර්මල බුදු දහමයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක විනය කීර්ති ශ්‍රී සිද්ධාර්ථ පරියාප්ති විශාරද ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිගල්ලේ ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

ජාතික ජාත්‍යන්තර වශයෙන් ශාසනෝන්නතිය සිදු කරමින් වැඩ සිටින බහුශ්‍රැත විනයධර මහතෙරුන් වහන්සේ නමක් වන ඔබ වහන්සේගේ ජීවන තොරතුරු මතු කරමින්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙමු නායක හාමුදුරුවනේ

මම ජන්ම ලාභය ලැබුවේ 1942 වර්ෂයේ නොවැම්බර් මස 17 වැනිදා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ කිරිඳිගල්ල නමින් හඳුන්වන බොහොම සොඳුරු ගම්පියසක තමයි මගේ ළමා කාලය ගත වුණේ.

ආයුර්වේද වෛද්‍යවරයකු වුණ දසනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර පියාණන් වගේම මියනදෙනියේ හේරත් මුදියන්සේලාගේ ලොකු මැණිකේ මෑණියන් මගේ මවුපියන් බවත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම පුරන ලද පාරමිතා බලයට අනුව 1956 වර්ෂයේ මැයි මස 24 වැනි දා මාරතුගොඩ පුරාණ විහාරස්ථානයේ දී කිරිඳිගල්ලේ ධම්මරතන යන ශාසනික නාමයෙන් ප්‍රවෘජ්‍යාභාවය ලබා ගෙන නිසි වයස සම්පූර්ණ වීමත් සමඟ 1964 වර්ෂයේ ජුනි මස 12 වැනිදා ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබුවා.

ඒ වගේම මාරතුගොඩ පුරාණ විහාරාධිපතිව වැඩ විසූ සාරසිය පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරවාර්හ ඕවිස ශ්‍රී මේධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, කිරිඳිගල්ලේ මේඝගිරි විහාරාධිපතිව වැඩ විසූ ඉහළ දොළොස් පත්තුවේ උප ප්‍රධාන සංඝනායක ගල්ලෑල්ලේ ශ්‍රී රතනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් මගේ ආචාර්යවරුන් වශයෙන් කටයුතු කළ බව පුණ්‍යානුමෝදනා පූර්වකව කෘතවේදීව සිහිපත් කළ යුතුයි. පැවිදි වීමෙන් අනතුරුව කුරුණෑගල මලියදේව මහ පිරිවෙනෙන් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගෙන උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. 1963 වර්ෂයේ සිට 1967 වර්ෂය දක්වා කැලණිය විශ්ව විද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගෙන 1979 වර්ෂයේ දී ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග සමත් වීමෙන් පසුව 1984 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාව ලැබුවා. 1987 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට කටයුතු කළා. ඒ වගේම 1967 වර්ෂයේ සිට 1969 වර්ෂය දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල පොල්ගොල්ලේ ශාස්ත්‍රාරවීන්ද්‍ර පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කළ බවත් සිහිපත් කිරීම වැදගත්.

සසුන්කෙත සරු කරමින් දෙස් විදෙස් කිත්ගොස නඟමින් සිදුකරන සේවාවන් පාඨකයාට සිහිපත් කර දෙන්න හාමුදුරුවනේ

1969 පෙබරවාරි මස 24 වැනි දා මහනුවර දිස්ත්‍රික්කයේ හාරසිය පත්තුවේ ගලසිය පත්තුවේ මාරතුගොඩ විදුමිණ පිරිවෙන ආරම්භ කළා. ඒ සඳහා ගුරුදේවයන් වහන්සේලාගේත්, ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලාගේත් අනුග්‍රහය ලැබුණ බවත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම දායක දායිකාවන්ගේත් පූර්ණ සහයෝගය ලැබුණා. එම පිරිවෙනේ ආරම්භක පරිවේණාධිපති වශයෙන් කටයුතු කරමින් රටට වැඩදායක ගිහි පැවිදි පිරිසක් බිහි කිරීමට ක්‍රියා කළා.

අද වන විට එය බොහොම ප්‍රසිද්ධ පිරිවෙන් විද්‍යායතනයක් .

1978 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළා.

තවදුරටත් ප්‍රකාශ කරනවා නම්, 1983 වර්ෂයේ දී කිරිඳිගල්ල මේඝගිරි විහාරස්ථානයේ ශ්‍රී සුධර්මෝදය නමින් මූලික පිරිවෙනක් ආරම්භ කළා. මාරතුගොඩ විදුමිණ පිරිවෙන් විද්‍යායතනය හා අනුබද්ධ ආයතනයක් වශයෙන් තමයි එම පිරිවෙන ආරම්භ කළේ. කුඩා සාමණේර හාමුදුරුවන්ගේ භික්ෂු ආකල්ප සංවර්ධනයට යොමුවුණ ආයතනයක් වශයෙන් භික්ෂු අධ්‍යාපනයේ උන්නතියට කටයුතු කිරීම අරමුණ වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.

ඊට අමතරව 1989 වර්ෂයේ සිට 1990 දක්වා ස්වීඩනයේ ධර්මදූත කටයුතුවලට සහභාගි වෙමින් ධර්ම ප්‍රචාරය සඳහා දායකත්වය ලබා දුන්නා. නැවතත් අධ්‍යාපන අමාත්‍යංශයේ පත්වීමක් මත 1990 වර්ෂයේ සිට 1995 වර්ෂය දක්වා මධ්‍යම පළාතේ පිරිවෙන් හා ආගමික අධ්‍යාපනය පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කළා.

ඒ වගේම 1995 වර්ෂයේ සිට අද දක්වා ම ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් බෞද්ධ විහාරය මූලික කරගෙන ස්වීඩනය, ඩෙන්මාර්කය, නෝර්වේ, පින්ලන්තය හා අයිස්ලන්තය යන රටවල ධර්ම දූත කටයුතුවල යෙදුණා.

ශ්‍රී ලාංකික මූලයක් ඇතිව ඒ රටවල ජීවත්වන බෞද්ධ ජනතාවටත්, වෙනත් රටවලින් පැමිණි බෞද්ධ ජනතාවටත් බෞද්ධ ප්‍රතිපත්ති පූරණය සඳහා අවශ්‍ය දැනුම ලබා දෙනවා.

දේශීය විදේශීය ධර්ම ප්‍රචාරයෙහිලා අත්දැකීම් සම්භාරයකින් පිරිපුන් වයෝවෘද්ධ, තපෝවෘද්ධ, සීලවෘද්ධ නාහිමිපාණන් වහන්සේ නමක් වූ ඔබ වහන්සේ ධර්ම ප්‍රචාරයේ නියැළීමට බලාපොරොත්තුවන ස්වාමීන් වහන්සේලාට ලබාදෙන අවවාද අනුශාසනා පැහැදිලි කරමින් සාකච්ඡාව අවසන් කරමු අපේ හාමුදුරුවනේ.

ඒක ඉතාම වැදගත් පළමුවෙන් ම භික්ෂුව කියන්නේ කවුද යන්න නිවැරැදිව තේරුම් ගත යුතුයි.

භික්ෂු ප්‍රතිරූපය ආරක්ෂා වන ආකාරයට පළමුවෙන්ම කටයුතු කළ යුතුයි. ලංකාවේ පිරිසට වඩා විදේශිකයන්ගේ සිතුම් පැතුම් වෙනස් වන නිසා විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. එනිසා තමා හැම පැත්තකින්ම ශක්තිමත් ව අත්දැකීම් සමුදායක් ඒකරාශි කරගෙන තිබීමෙන් ඕනෑම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙනවා. එම ශක්තිය විදේශගත වීමට පෙර ලබා ගෙන තිබීම වැදගත්. බෞද්ධ දර්ශනය වගේම භාෂා ඤාණයත් වර්ධනය කර ගෙන තිබීම අත්‍යවශ්‍යයි.

එහෙම නැත්නම් අනෙක් පිරිස අපහසුතාවට පත්වෙනවා වගේම තමනුත් අපහසුතාවට පත්වෙනවා. සැම විටම භික්ෂු ආකල්පවලින් පරිපූර්ණ ප්‍රතිරූපයත් නිවැරැදි ධර්මාවබෝධයත්, පිරිපුන් බහුශ්‍රැත බවත් තුළ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ලැබෙනවා. ලංකාවෙන් ලෝකයට දිය හැකි අනර්ඝතම වස්තුව නිර්මල බුදුදහම බව අවබෝධ කරගෙන කටයුතු කිරීම අතිශයින් ම වැදගත්.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]