[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පාණදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන් සියවසක අභිමානයට ආශිර්වාද ...

පාණදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන් සියවසක අභිමානයට ආශිර්වාද ...

උදාර ලෝක ශාසනික සේවාවක් කරන සුදීප්තිතර විද්‍යස්ථානයකි

සුනිශිත ධර්ම – විනය ඥානයෙන් පෝෂිතව, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ව්‍යාවෘත වෙමින් ස්වාර්ථ පරාර්ථ සාධනයෙහි නියුක්තව ශාසන බ්‍රහ්මචර්යාවෙහි උදාර පරමාර්ථයන් සාධනය කර ගැනීම භික්ෂු ප්‍රතිපදාව යි.

එකී උදාර භික්ෂු ප්‍රතිපදාවේ ආයති සුරක්ෂාව මෙන් ම ත්‍රිවිධ ශාසනයේ ප්‍රවර්තන, ප්‍රවර්ධනය හා සුරක්ෂණය අරමුණ කර ගනිමින් මෙයින් සියවසකට පෙර මහ පඬිරුවනක් වූ පණ්ඩිතාචාර්ය වලානේ ශ්‍රී විජයනන්ද මහා ස්වාමීන්ද්‍රයන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් පාණදුර, වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙන 1923 වර්ෂයේ දී ආරම්භ කරන්නට යෙදිණි.

අද්‍යතනය වන විට ප්‍රදේශයේ සුදීප්තිතර විද්‍යස්ථානයක් බවට පත්ව ප්‍රතිබල සම්පන්න ශාසන මාමක භික්ෂු පරපුරක් දායාද කරන වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙනේ ශත සංවත්සරය නිමිත්තෙන් ආශීර්වාදාත්මක ශුභාශිංසන පණිවුඩයක් ලබා දෙනුයේ ඉමහත් සංතෝෂයෙනි.

වර්තමානය වන විට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී සම්බුද්ධ දර්ශනයේ සංස්පර්ශයෙන් ජන මනස ප්‍රබෝධවත් කරවීමෙහිලා ප්‍රතිබල සම්පන්න ධර්ම දේශකයාණන් වහන්සේ බිහි කිරීමෙහිලා සුවිසල් කාර්ය සමුදායක් ඉෂ්ට කරන පාරිවේණික මධ්‍යස්ථානයක් ලෙස සම්භාවනාවට පාත්‍රව ඇති ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙන වාර්ෂික වශයෙන් සිදුකරන සමාජ සත්කාරයන් ද ගණනාවකි. දුෂ්කර පළාත්වල ශිෂ්‍ය දරුවන්ට පොත්පත් ප්‍රදානය කිරීම, උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙන්ම ශ්‍රී විජය ප්‍රකාශන අරමුදල මඟින් ධර්ම පුස්තක මුද්‍රණය කොට බෙදාහැරීම ද ඒ අතර සුවිශේෂී වේ.

සියවස් සමරන ශ්‍රී විජය සෞගත විද්‍යාල මහ පිරිවෙන ආදී කර්තෘවරයාණන් වහන්සේ ඇතුළු මෙකී දීප්තිමත් විද්‍යස්ථානයේ ප්‍රගමනය උදෙසා නන් අයුරින් දායකත්වය සපයා ජන්මාන්තර ගත වූ ගෘහස්ථ ප්‍රවෘජිත සැමට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ම සාක්ෂාත් වේවා යි ප්‍රාර්ථනා කරන අතර ම වර්තමාන පරිවේණාධ්‍යක්ෂ ස්ථවිරපාදයන් වහන්සේ ඇතුළු සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලයට උදාර ලෝක ශාසනික සේවයෙහි නියුක්ත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’යි ආශිංසනය කරම්හ.


ප්‍රදේශයේ කීර්තිධර මහ පිරිවෙනකි

අප රටේ පැරණිතම අධ්‍යාපන ක්‍රමය බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායයි. එකී අධ්‍යාපන සම්ප්‍රදායට පාරිවේණික අධ්‍යාපන ක්‍රමය භික්ෂූන් වහන්සේ කේන්ද්‍රීය සාධකය කොට ගෙන එමඟින් පර්යාප්ති ශාසන සංරක්ෂණයට ද මඟ සලසන ලදි. මෙරටෙහි ඉතිහාසයේ විවිධ යුගවල මෙකී අධ්‍යාපන ක්‍රමය ඉතා දියුණූුවෙන් පැවති අතරම පරිහානියට ගොදුරු වූ ආකාරය ද ප්‍රකට කරුණකි.

ඒ ඒ යුග පරිවර්තනයන් අනුව සැලකීමේ දී ස්වදේශීය සම්බුද්ධ ශාසනයේ නූතන සමයේ ආරම්භය හා ව්‍යාප්තිය සිදු වූයේ වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ධර්ම විනයානුකූල ශාසනෝන්නතිකාමී වැඩ පිළිවෙත නිසාවෙනි. විශේෂයෙන් ම උන්වහන්සේ නියමකන්ද පිරිවෙන ආරම්භ කිරීමෙන් විනාශ වී තිබුණු භික්ෂු අධ්‍යාපනය යළි නඟාසිටුවූ සේක.

19 වැනි සියවසෙහි මැදභාගය වන විට මිෂනාරි අධ්‍යාපනය රාජ්‍ය අනුග්‍රහයෙන් ව්‍යාප්ත වූ නිසා මෙරටෙහි දේශීය අධ්‍යාපන ක්‍රමය අඩපණ විය. එසේ වුවත් වලානේ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ විසින් පාරිවේණික අධ්‍යාපන ක්‍රමය නඟාසිටුවමින් සසුනට දායාද කළ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර නිසා ආරාමීය ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ක්‍රමයෙන් ව්‍යාප්ත විය.

එහි ම ප්‍රතිඵලයක් ලෙස 1923 දී පාණදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙන ආරම්භ වූ අතර, එවකට භාෂාත්‍රයේ පඬිරුවනක් වශයෙන් වැඩ විසූ පූජ්‍යපාද පණ්ඩිතාචාර්ය වලානේ ශ්‍රී විජයනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම පිරිවෙනේ ආදි කර්තෘන් වහන්සේ ද වූහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු සුප්‍රකට බහුශ්‍රැත පඬිරුවනක් වූ පණ්ඩිතාචාර්ය පූජ්‍යපාද මාදුපිටියේ මේධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙකී ආධිපත්‍යයට පත් වී ඇත.

කෙසේ වුවත් මෙම විද්‍යස්ථානයේ දීප්තිමත් අවධිය ලෙස වර්තමාන පිරිවෙනේ කෘත්‍යාධිකාරි පූජ්‍යපාද පාණදුරේ විජිතනන්ද නායක ස්ථවිරයන්ගේ අවධිය හැඳින්වීම අනුචිත නොවේ. සියලු විහාරාංගයන්ගෙන් සමලංකෘත වූ ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙන මේ වන විට ප්‍රදේශයේ කීර්තිධර මහ පිරිවෙනක් බවට පත් වී තිබීම අපගේ ද සතුටට හේතු වේ.

මේ අවස්ථාවේ ස්වර්ණ ජයන්තිය සමරන වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලීය මහ පිරිවෙන් කෘත්‍යාධිකාරි ධූරිණ පූජ්‍ය පානදුරේ විජිතනන්ද නායක ස්ථවිරයන් ඇතුළු සැම දෙනාට ම තව තවත් ධර්ම ශාස්ත්‍රීය සේවාව සිදු කර ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා'යි ප්‍රාර්ථනා කරම්හ.


සසුනටත් රට දැයටත් වැඩ වඩන ධර්ම නිකේතනයකි

පාණදුර ප්‍රදේශයේ ඉතා කීර්තිමත් පිරිවෙන් ආයතන හා විහාරස්ථාන රැසක් පවතින අතර, අධ්‍යාපනික, ශාසනික සාමාජීය, සේවා රැසක් සිදු කරන ආයතනයක් වශයෙන් වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙන ද ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. 1923 මාර්තු මස 08 දින අතිපූජ්‍ය වලානේ ශ්‍රී විජයනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදි කර්තෘත්වයෙන් අරැඹි මෙම විහාරස්ථානය, පණ්ඩිතාචාර්ය අතිපූජ්‍ය මාදුපිටියේ මේධානන්ද, අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යුගයේදී වඩාත් අභිවෘද්ධියට පත් වූ බව ප්‍රසිද්ධ කරුණකි.

අතිපූජ්‍ය මාදුපිටියේ මේධානන්ද නායක ස්වාමීන් වහන්සේ අද මෙන් මාධ්‍ය බහුලව නොතිබුණ කාලයේ ගුවන් විදුලි දක්ෂ ධර්ම දේශකයන් වහන්සේ නමක් වශයෙන් කා අතරත්, සම්භාවනාවට පාත්‍රව වැඩ සිටි අතර, සිංහල, පාලි, සංස්කෘත ඉංගී‍්‍රසි භාෂා ප්‍රවීණයෙක් වශයෙන් ද ලොකු පිළිගැනීමක් තිබුණ බව අපට සිහිපත් වේ. විජය සෞගත විද්‍යාල පිරිවෙන ද උන්වහන්සේ නිසා මහත් ප්‍රසිද්ධියට පත්විය.

වර්තමානයේ මෙම ආයතනයෙහි අධිපතිත්වය හොබවන කළුතර දිසාවේ උප ප්‍රධාන සංඝ නායක පදවිය හොබවන පූජ්‍යපාද පාණදුරේ විජිතනන්ද නායක ස්වාමීන් වහන්සේ තම ආචාර්ය ස්වාමීන් වහන්සේලාගෙන් ලත් ආභාෂය ඇතුව මෙම පිරිවෙන් ආයතනය වඩාත් ක්‍රමානුකූලව දියුණුවට පත් කර ඇත. භෞතික වශයෙන් පුස්තකාලය සහිත පිරිවෙන් ශාලාව ඉදි කිරීම, නව සීමා මාලකය ඉදි කිරීම, නව පිරිවෙන් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, මෙන්ම චෛත්‍ය රාජයාණන් වහන්සේ ගොඩනැඟීම අටවිසි බෝධිඝරය ඉදි කිරීම, ආදි විහාරාරාංගවලින් විහාරස්ථානය රමණීයත්වයට පත් කර ඇත.

සසුනේ චිර පැවැත්ම උදෙසා කුල දරුවන් රැසක් පැවිදි කොට එම ශිෂ්‍ය පිරිස දැන උගත් භික්ෂූ පිරිසක් බවට පත් කොට විදේශ ධර්මදූත සේවයෙහි ද යොදවමින් ශාසනික සංග්‍රහයක් විජිතනන්ද නාහිමියන් සිදු කරන අතර, දැයේ දරුවන් වෙනුවෙන් ශ්‍රී මේධානන්ද දහම් පාසල ආරම්භ කොට පවත්වාගෙන යමින් ද, ප්‍රඥා ප්‍රදීප ශිෂ්‍යත්ව අරමුදල’ මඟින් ශිෂ්‍යත්ව පිරිනැමීමෙන් කරන සුවිසල් සේවය ද වඩාත් අගය කළ හැක. මෙසේ විවිධ කාර්යයන් රැසක් මඟින් සසුනටත්, රටටත්, දැයටත් වැඩ වඩන ශී‍්‍ර විජය සෞගත විද්‍යාලය මහා පිරිවෙන් ආයතනයට වසර සියයක් සපිරෙන මේ මොහොතේ තවත් ශතවර්ෂාධික කාලයක් මේ ආයතනය දිනෙන් දින දියුණුවට පත් වේවා. සම්බුදු සසුනේ චිර පැවැත්මට ශක්තියක් වේවා. විහාරාධිපති පරිවේණාධිපති නාහිමිවරු ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණින් නීරෝගි සුව දීර්ඝායු සැලසේවා'යි ආශිර්වාද කරම්හ.


ධර්ම ශාස්ත්‍රෝන්නතිය වෙනුවෙන් කර ඇති මෙහෙවර අගය කළ යුතුයි

වර්ෂ 1923 මාර්තු 08 දින පණ්ඩිතාචාර්ය පූජ්‍ය වලානේ ශී‍්‍ර විජයනන්ද නායක ස්වාමීන් වහන්සේගේ ආදි කර්තෘත්වයෙන් ඇරැඹි මෙම පිරිවෙන් ස්ථානය සියවසක් පුරා ධර්ම ශාස්ත්‍රොන්නතිය වෙනුවෙන් සිදු කර ඇති මෙහෙය මෙහිදී අගය කළ යුතු ය. ශ්‍රී විජයානන්ද නාහිමියන් ආරම්භ කළ පරිවෙණස්ථානය ආරක්ෂා කර ගනිමින් එහි දෙවැනි ආධිපත්‍යයට පත්වූයේ පණ්ඩිතාචාර්ය පූජ්‍ය මාදුපිටියේ මේධානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘතාදී භාෂා ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණයෙකි. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු පූජ්‍ය පාණදුරේ විජිතනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිරිවෙනස්ථානයේ වගකීම් සම්භාරය ඉසිලීමට සිදුවිය. උන්වහන්සේගේ ඍජු නායකත්වය යටතේ මේ වන විට දීප්තිමත් පරිවෙණස්ථානයක් බවට ශ්‍රී විජය සෞගත විද්‍යාලය පත්ව ඇත.

ශතවර්ෂයක් සපිරෙන මෙම විද්‍යස්ථානය තුළින් මතු මතුත් සසුන් දියුණුව සලසන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරම්හ.

 

මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]