[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

විවාහය බිඳවන්නට අසත්පුරුෂයන් එදිරිවාදිකම් කරනවා ද?

විවාහය බිඳවන්නට අසත්පුරුෂයන් එදිරිවාදිකම් කරනවා ද?

සාර්ථක යුගදිවියක් පවත්වා ගැනීම සඳහා අන්‍යෝන්‍ය විශ්වාසය ඉතා අවශ්‍ය වෙනවා. සමාජයේ බොහෝ යුග ජීවිත ගත කරන්නන් අසහනයෙන් හා පීඩනයෙන් ගත කරන්නේ විශ්වාසය නොමැති නිසා ය.

සමහර වේලාවට හොඳින් ජීවත්වන දෙන්නෙක් දිහා බලා අසත්පුරුෂයන් ඊර්ෂ්‍යා කරනවා. ඊට පස්සේ ඒ ජීවිත දෙක කඩාකප්පල් කරලීම සඳහා කුමන්ත්‍රණ කරන්නත් පටන් ගන්නවා. විශේෂයෙන් දුරකතන ආදිය ඔස්සේ වැරැදි ආරංචි පතුරවනවා. එක්කෝ අභූත චෝදනා ඇතුළත් කොට කැලෑපත්තර ලියා එහාට මෙහාට තැපැල් කරනවා.

ඉතින් මේ වගේ වේලාවට අන්‍යොන්‍ය විශ්වාසය දෙදෙනා තුළ ගොඩනඟාගෙන නොතිබුණොත් සැක සංකා ඇති කර ගෙන යුගදිවිය අර්බුදයක් බවට පත් කර ගන්නවා. ඒ නිසා විශ්වාසය විවාහ දිවියේ බැඳීම ඇති කරවන ප්‍රධාන බලවේගයක්.

සංසිඳීම ඕනෑ

ඊළඟ කාරණය වන්නේ දෙදෙනා තුළ ශීලය සමානව පිහිටිය යුතු බවයි. ශීලය කියන්නේ සංසිඳුණු බවයි. එහෙම නැත්නම් හික්මුණු බවයි. ඊට විරුද්ධ පැත්ත නොහික්මුණු බවයි.

නොහික්මුණු දෙන්නෙක්ගේ විවාහය තිරිසන් දෙදෙනකු එකතු කළා වගෙයි. දෙන්නාම නැත්නම් එක් කෙනෙක් වුණත් අසංවර නම්, හික්මීමක් නැත්නම්, කතා කරන්නවත් දන්නේ නැත්නම්, කටට ආ දේ හැම වෙලාවෙම කෝප ගින්දර අවුලනවා නම් එතැන කොහොමද ලස්සන යුගදිවියක් තිබෙන්නේ.

ආවේගශීලිව හැසිරෙන, කුඩා දේකට හෝ ඉවසීමක් නැති කෙනා මහා නොහික්මුණු කෙනෙක්. එවැනි අයට යුගදිවිය සතුටින් ගෙවන්න බැහැ. ඒ නිසා විවාහ වෙන්න සූදානම් වන විට දෙදෙනා තුළ ශීලාචාර ගති පැවතුම් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

කැපවීමට වගවීම

ඊළඟ කාරණාව සම චාගා, ඒ කියන්නේ පරිත්‍යාගය සමාන වෙන්න අවශ්‍යයි. මෙහිදී යමක් පරිත්‍යාග කරන කොට එක් හිතක් පවතිනවා කියන එක මතුපිටින් පෙනෙන අර්ථය වුණත්, ඊටත් වැඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ යුගදිවිය පවත්වා ගැනීම සඳහා දෙන්නාගේ ම කැපවීම අවශ්‍ය වන බවයි.

මෙහිදී රැකී රක්ෂා කටයුතු වගේ ම ගේ දොර කටයුතුවලදීත්, සමාජ කටයුතු වලදීත් එක් කෙනෙකුට සියල්ල පවරා අනෙක් කෙනා නිදහස් වෙන්න කල්පනා කළොත් සමබර යුගදිවියක් ගෙවන්න බැහැ. ඒ නිසා හැම කටයුත්තක් වෙනුවෙන් ම දෙදෙනාම ලොකු කැපකිරීම් කළ යුතු වෙනවා.

අනෙකාගේ මතයටත් ඉඩ දෙන්න

සම ප්‍රඥා යනුවෙන් හතරවෙනුව දැක්වෙනුයේ තීරණ ගැනීමේ දී දෙදෙනාගේ ම අදහස් සැලකිල්ලට ගෙන නිවැරැදි දේ තෝරා ගැනීමට කල්පනා කළ යුතු බවයි.

සමහර වෙලාවට එක් කෙනකුගේ ම මතයක් ක්‍රියාත්මක කරන්න තරම් සැහැසි වෙලා කොච්චර අර්බුද හදා ගන්නවා දැයි බලන්න. ඒ නිසා ආදිපත්‍යකාමි බවින් මිදී දෙදෙනාට ම එකඟ විය හැකි තීරණ ගෙන කටයුතු කරනවා නම් පවුල් ජීවිතයේ බොහෝ අවුල් නිරාකරණය කර ගන්න හැකි වෙනවා.

යුග ජීවිත ගොඩනඟා ගැනීමේ දී විශේෂයෙන් භාර්යාවන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ වැදගත් දේශනාවක් කළා.

එනම් භාර්යාව තුළ පැවතිය යුතු ගුණයි. එයින් කියැවෙන්නේ භාර්යාවන් අම්මා කෙනෙකුගේ ගුණයෙන් යුතු වෙන්න ඕනෑ. (මාතු භාරියා) එමෙන්ම සහෝදරියක් වගේ වෙන්න ඕනෑ. (භගිනි භාර්යා) එමෙන්ම යහළුවෙක් වගේ වෙන්න ඕනෑ (සඛී භාර්යා) ඇතැම් වේලාවක මෙහෙකාරියගේ කාර්යභාරයත් ඉටු කළ යුතු වෙනවා. එවැනි තැනෙක ස්වාමියා මොන තරම් සැනසිල්ලක් ලබනවා දැයි බලන්න. එවිට ඒ ස්වාමිපුත්‍රයා තම භාර්යාව කෙරෙහි ඉතා ආදරයෙන් කටයුතු කරනවා නොවේ ද?

දෙවියෙක් හා දෙවඟනක්

එමෙන්ම භාර්යාව පමණක් නොව ස්වාමියා ද මේ ගුණවලින් යුතුවීම අවශ්‍ය වෙනවා. පියකු වගේ, යහළුවකු වගේ, සහෝදරයකු වගේ, මෙහෙකරුවකු වගේ ස්වාමියා කටයුතු කරනවා නම්, භාර්යාවගේ ආදරය දිනා ගන්න පහසු වෙනවා නොවේ ද? තවත් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ වදාළේ යුගදිවි ගත කරන්නන් අතර පැවතිය යුතු සබඳතාව දෙවියෙක් හා දෙවඟනක් සමඟ එක්ව කරන වාසය හා සමාන විය යුතු බවයි. (දේවො දෙවියා සද්ධීං සංවසති)

මේ අනුව භාර්යාව දෙවඟනක් නම් ඇය ගෙදර ශි‍්‍රයා කාන්තාව බවට පත්වෙනවා නොවේද? ශි‍්‍රයා කාන්තාව ජීවත්වන නිවසක් සියලු සම්පත්වලින් සපිරෙනවා. යන එන අයට ඉතා පි‍්‍රයමනාප වෙනවා. එතැන පේ‍්‍රතයන් භූතයන් හෝ අමනුෂ්‍යයන් වසන්නේ නැහැ.

මෙලෙස ස්වාමි භාර්යාවරුන් දෙවියන් දෙවඟනන් වගේ වසන නිවසක දූ දරුවන් දෙවියන් වගේ වෙනවා. ගුණවත් සිල්වත් දරුවන්ගෙන් සමාජය යහපත් වෙනවා.

අපේ බෝසතාණන් වහන්සේ උපදින්නට හොඳ අම්ම කෙනෙක් සොයද්දී මහාමායා දෙව්දුව හමු වුණේ ඇයගේ සිල්වත් ජීවිතය නිසයි. ඒ වගේ යහපත් දරුවන් උපදින්නට හොඳ මව්වරුන් සොයාගෙන එනවා. ඒ අනුව බෝසත් දරුවන් ලබන්නට අම්මලා තාත්තලා ගුණවන්ත විය යුතු බව මේ අනුව අපට පේනවා.

නිතර අඬදබර කළොත්...

ගෙදර පරිසරය අයහපත් වුණොත්, ස්වාමි භාර්යාවන් යක්ෂ යක්ෂණීන් ලෙස ජීවත් වුණොත් ඒ අය ළඟ උපදින්න සොයාගෙන එන්නේ යක්ෂ දරුවන්.

අම්මාගේ මානසික ක්‍රියාකාරකම් දරුවාට ද බලපානවා. අම්මා තාත්තා නිතර නිතර අඬදබර කර ගන්නා විට දරුවන්ගේ මානසිකත්වයත් එලෙසම වැඩෙනවා. එබැවින් සමාජයත් යහපත් කර ගැනීමට යුගදිවි ගෙවන දෙමහල්ලන්ට පැවරී ඇති වගකීම කෙතරම්’දැයි කල්පනා කර බලන්න.

සෝමතිලක ජයමහ ගයන මේ ගීතය අපේ යුගදිවි ගෙවන තරුණ තරුණියන්ගේ අවධානයට ලක්විය යුතු විශිෂ්ට කලා නිර්මාණයක්.

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
පි‍්‍රය බිරිඳගේ සෙනෙහෙ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

කටු මැටි ගෑ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුණොත් පුංචි පැලේ
අඹුදරුවන් අතරතුරේ
මට නිම් නැති සුවය දැනේ


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]