[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ඇසින් දුටු දෙයත් වරදින්නට පුළුවන්

ඇසින් දුටු දෙයත් වරදින්නට පුළුවන්

ලක්දිව එක් ආරාමයක වාසය කළා තෙරුන් වහන්සේ දෙනමක්. එක් නමක් ආගන්තුක යි. අනෙක් තෙරුන් වහන්සේ විහාරයේ කලක් වැඩ සිටි තෙරුන් වහන්සේ නමක්. දෙදෙනා වහන්සේ ම පිණ්ඩපාතයේ වැඩම කළත් එකම මාර්ගයේ ගමන් කරන්නේ නෑ.

දිනක් ආගන්තුක තෙරුන් වහන්සේ පාන්දරින් ම පිණ්ඩපාත චාරිකාවේ යෙදුණා. ගෙපිළිවලින් වැඩම කරන උන්වහන්සේට මුණගැහුණා ඉතාම ශ්‍රද්ධා සම්පන්න උපාසිකාවක්. ගෙදරට වැඩම කරවාගෙන ගෙපිලෙහි ආසනයක් පනවා දුන්නා. පාත්‍රය අරගෙන බත් පිනිවලින් පුරවා පූජා කළා. තෙරුන් වහන්සේත් උපාසිකාවගේ ඉල්ලීම අනුව එතැන දී ම වළඳන්න පටන් ගත්තා. ඒ මොහොතේ එතැනට පැමිණියා වංසවත්, ධනවත් කාන්තාවක්. ඇය තෙරුන් වහන්සේ වැඩ සිටින පිලේ ම මිටි ආසනයක හිඳගත්තා. දුර සිටින කෙනකුට පෙනෙන්නේ දෙදෙනා ම එක ආසනයක ඉඳගෙන ඉන්න ආකාරයක්.

මදක් ප්‍රමාද වී පිණ්ඩපාතයේ වැඩම කළ විහාරවාසී තෙරුන් වහන්සේට මෙය දකින්න ලැබුණා. ‘විහාරයේ දී නම් මේ පාංශුකූලික භික්ෂුව සන්සුන්. ඒත් පිණ්ඩපාතයේ ඇවිත් උපාසිකාවන් සමඟ එකම අසුනේ ඉඳගන්නවා. මේක භික්ෂුවකට ගැළපෙන දෙයක් නම් නෙවෙයි. අදම පන්සලෙන් එලවලා දාන්න ඕන. මේ වගේ කෙනෙක් තවදුරත් මේ විහාරයේ හිටියොත් විපතක් සිදු වෙන්න පුළුවන්’ යැයි සිතමින් පිණ්ඩපාතයේ යෙදී විහාරයට වැඩම කළා.

පාංශුකූලික තෙරුන් වහන්සේත් පිණ්ඩපාතය නිමවා වැඩම කරනවා. උන්වහන්සේ සන්සුන් ගමනින් වැඩම කර තමන් වහන්සේ වැඩ සිටි කුටියට පිවිසුණා. විහාරවාසී තෙරුන් වහන්සේ කෝපයෙන් රත්වෙලා. ආගන්තුක භික්ෂුවට දොස් කියන්න, චෝදනා එල්ල කරන්න, අපහාස කරන්න, පරිභව කරන්න අවස්ථාව එනකම් බලන් හිටියා.

පිණ්ඩපාතික තෙරුන් වහන්සේ කාමරයට පිවිසුණා පමණයි නැවත එළියට එන බවක් පෙනෙන්න ඇත්තේ නෑ. දැන් විහාරවාසී භික්ෂුවගේ කෝපය එන්න එන්නම වැඩි වෙනවා. ඉවසන්න බැරිම තැන ගියා ආගන්තුක භික්ෂුව වැඩ සිටින කුටිය ඉස්සරහට. කුටියට ඇතුල් වන කොට පා සෝදා ගන්න වතුර කළයක් තබා තිබුණා. එයින් කෝප්පයකට ජලය පුරවාගෙන මහ සද්දයෙන් පා දෙක සෝදන්න පටන් ගත්තා. පාංශුකූලික තෙරුන් වහන්සේ සොයා බැලුවා මහත් සද්දයෙන් පා සෝදන අසංවර තැනැත්තා කවුද කියලා. උන්වහන්සේට කරුණු සියල්ල හොඳින්ම වැටහුණා.

‘මුන්වහන්සේ සිත දූෂ්‍ය කරගෙන ඉන්නේ. මම පිණ්ඩපාතය ගත් අවස්ථාවේ ඉඳගෙන හිටිය ආකාරය හරියට දකින්න නැතිවයි මේ විදිහට හැසිරෙන්නේ. තව දුරටත් මෙහෙම හැසිරුණොත් රහතන් වහන්සේ නමක් කෙරෙහි කෝප ගෙන බොහෝ අකුසල් රැස් කර ගන්නවා. ඒ නිසා උන්වහන්සේගේ සැකය දැන්ම නැති කරන්න ඕන යැයි කල්පනා කරලා එවලේ ම භාවනාවට සමවැදිලා කුටියේ කැණිමඬල සමීපයේ පළක් බැඳගෙන වැඩ සිටියා.

නේවාසික භික්ෂුව කෝපයෙන් කාමරයට ඇතුළු වුණා. දොර මුල්ලේ, ඇඳ යට, මේස යට හැම තැන ම පරීක්ෂා කර බැලුවා. පාංශුකූලික තෙරුන් වහන්සේ දකින්න ලැබුණේ නෑ. ‘මොහොතකට පෙර හිටිය මේ භික්ෂුව එක වරම අතුරුදහන් වෙලා. එළියටවත් යන්න ඇති. මම නොදකින විදිහට’යි කල්පනා කරලා කාමරයෙන් එළියට යන්න හදන විට අහසේ පලක් බැඳගෙන භාවනාවේ යෙදෙමින් සිටි ආගන්තුක භික්ෂුව උගුර පාදා තමන් වහන්සේ කාමරයේ වැඩ සිටින බව ඇඟ වූවා. ඒ මොහොතේ හඬ ආපු දිශාව පරීක්ෂා කරන විට අහසේ පලක් බැඳගෙන වැඩ සිටින ආගන්තුක භික්ෂුව දැක

‘ආයුෂ්මතුනි, ඔබ වහන්සේ පාංශුකූලික යි. සංවර යි. ඒ සියල්ල ම පෙන්වන්නේ විහාරයේ දී විතරයි. ගම ඇතුළට ගියහම අසංවරව හැසිරෙනවා. අද මගේ ඇස් දෙකින්ම ඒක දැක්කා. කාන්තාවක් සමඟ එකම ආසනයේ ඉඳගෙන කතා කරමින් හිටියා. ඒවගේ දේවල් භික්ෂුවකට තහනම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. විනය නීති නොසලකා කටයුතු කළ ඔබට මෙතරම් ආනුභාවයක් කොයින් ද? යනුවෙන් ප්‍රශ්න කර සිටියා. එම අවස්ථාවේ දී පාංශුකූලික වූ රහතන් වහන්සේ

‘ස්වාමිනී, පැවිද්දෝ නම් කවරාකාරයකින්වත් ස්තී‍්‍රන් සමඟ එකම යහනේ ඉඳගන්නේ නෑ. මම ඒ බව හොඳින් දන්නවා. ඔබ මා වැඩ සිටි ආකාරය හරියට දකින්නේ නැතිවයි මේ චෝදනා එල්ල කරන්නේ. මට වඩා කුඩා ආසනයකයි උපාසිකාව ඉඳගෙන සිටියේ. රහතන් වහන්සේලා එසේ කරන්නේ නෑ’යි පවසමින් තමන් වහන්සේ අර්හත්භාවය ලබා සිටින බවත්, වැරැදි දැකීමකින්, වැරැදි වැටහීමක් සිතේ ඇති වන බවත් පවසමින් කරුණු පහදා දී සංසාර ගමනින් උන්වහන්සේ ගලවා ගත්තා’යි කතා පුවතක් මජ්ක්‍ධිම නිකාය අටුවාවේ විමංසක සූත්‍ර වර්ණනාවේ සඳහන් වෙනවා.

යමක් දුටු පමණින් හා පුද්ගලයකුගේ බාහිර හැසිරීම හෝ පෙනීම මත තීරණ ගැනීම සුදුසු නැති බව මේ කතා පුවත උපදෙස් ලබා දෙනවා.

බිරිඳ සැමියා කෙරෙහිත්, සැමියා බිරිඳ කෙරෙහිත්, දෙමාපියන් දරුවන් කෙරෙහිත්, දරුවන් දෙමාපියන් කෙරෙහිත් මේ ආදී වශයෙන් සමස්ත සමාජය ම කටයුතු කිරීමේ දී බාහිර දර්ශනයෙන් හෝ යමක් ඇසූ පමණින් හෝ තීරණවලට එළැඹීම මෙලොවත්, පරලොවත් අසාර්ථක වීමට හේතුවක් වෙනවා.

මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]