[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ජීවිතය සාර්ථක කරන ඉලක්කය හා බැඳුණු උනන්දුව

ජීවිතය සාර්ථක කරන ඉලක්කය හා බැඳුණු උනන්දුව

එක මොහොතක් හෝ අපතේ නොයවමින් දින චරියාවකට අනුව කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් තුළ මොනතරම් මෙහෙයක් ඉටුකර ඇත්දැයි බලන්න. අපේ රටේ සිටි ශ්‍රේෂ්ඨ වැදගත් පුද්ගලයින් ක්‍රමවත් වැඩසටහනකට අනුව දවස් ගත කළ අයුරු ඉතිහාසය අපට කියා දෙයි. දෙවන පැරකුම්බා රජු නියමිත වෙලාවට ආගමික වතාවත් ඉටු කළ අයුරුත් රාජ්‍ය පාලකයකු ලෙස තම වගකීම සඳහා දවස සැලසුම් කරගත් අයුරුත් අපට වැදගත් පාඩමකි.

දිනය සැලසුම් කිරීමේ දී උදේ සහ සන්ධ්‍යාවෙහි සිදු කරනු ලබන ආගමික වතාවත් පිළිබඳවත්, විශේෂයෙන් පොහෝ දිනයෙහි විහාරස්ථානයට ගොස් සිදු කළ යුතු ආගමික වතාවත් ගැන ද මූලික අවධානය යොමු කරන්න.

ඉගෙන ගන්නා ශිෂ්‍යයකු වශයෙන් තම දින චරියාව සකස් කරගත යුත්තේ බොදු හැදියාව සමඟ අධ්‍යාපනික ජීවිතය ද ගොඩනැංවෙන අයුරෙනි.

අරුණට පළමු නැඟීටීමට පුරුදු වන්න. එය ප්‍රබෝධවත් ජීවිතයකට මහත් ශක්තියකි. උදේ හිරු රැස් වැදීමෙන් ගස් වැල් පවා නව පණක් ලබයි. අප කරන කාර්යයන්හි ඵලදායිත්වයට අරුණ තුළින් ලබන පිබිදීම මහත් ශක්තියකි. ඒ තුළින් දවස තුළ කළ යුතු කාර්යභාරයට සූදානම් වීමේ වටිනා අවස්ථාව උදාවනු ඇත.

එදිනෙදා ගෙදර කටයුතු ඉටු කර ගැනීමේ දී පවුලේ සමඟි සම්බන්ධතාව ඉතා වැදගත් ය. මෙහිදී සෑම කෙනෙක් ම අදාළ කාර්යයන්හි කොටස්කරුවකු වන අයුරින් බැඳී කටයුතු කරන්නේ නම්, එම නිවෙස සැනසිලිදායක තැනක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. ගෙදර හා සම්බන්ධ කාර්යභාරය තනි අයකුට කරන්නට සිදු වුවහොත් මොනතරම් කායික හා මානසික පීඩනයකට ඔහු හෝ ඇය පත්වෙනවා දැයි බලන්න.

දිනපතාම යටත් පිරිසෙන් පැයක පමණ කාලයක් වත් දරුවන් සමඟ මවුපියන් සමීපව කටයුතු කළ යුතුයි.

විවිධ ක්‍රියාකාරකම් නිසා අපහසුතාවක් ඇතිවන්නේ නම් සතියකට පැය කිහිපයක් වත් දරුවන් සමඟ ගත කිරීමට කාලය වෙන් කර ගත යුතුව ඇත. මවුපියන් දරුවන්ගේ ලෝකයෙන් දුරස් වීම සුබදායි නොවේ. දරුවන් හා මවුපියන් අතර තිබෙන බැඳීම මෙහෙකරුවකුගෙන් හෝ වෙනත් වැඩිහිටියකුගෙන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකින් ලැබෙන්නේ නැත. දරුවන්ට ලැබිය යුතු මවුපිය ආදරය, සෙනෙහස රැකවරණය නොලැබෙනවා නම්, මුදල් පසුපස හඹාගොස් උපයන මුදලින් ප්‍රයෝජනයක් ඇත්දැයි සිතා බලන්න. පවුල සමාගමකට උපමා කර දැක්වූයේ නම්, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන්නේ සැමියා හා බිරිඳයි. එදා පැරැණි සමාජයේ ගෙදර සියලු කටයුතු කළේ බිරිඳ ය. සැමියා කුඹුරේ, හේනේ වැඩකට ගොස් එයින් ලබන ආදායම් ගෙනත් දුන්නේ බිරිඳ අතට ය. එම ආදායම, වගකීම හඳුනා ගනිමින් පවුලේ දියුණුව සඳහා සමබරව යොදාගත් අයුරු අපි දනිමු. අද දෙදෙනා ම බොහෝ විට රැකියාවක නියුක්ත ය. රැකියාවල ස්වභාවය පිළිබඳ දෙදෙනාට ම අන්‍යෝන්‍ය අවබෝධය තිබිය යුතු ය. ඒ අනුව නිවසේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් තම තමන් සතු කාර්යභාරය කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍යය.

ජීවිතයක අධිෂ්ඨානයක් ඉලක්කයක් තිබිය යුතු ය. ඉලක්කය හා බැඳුණු ආශාව, උනන්දුව ජීවිතය සාර්ථක කරයි. අභියෝග, ප්‍රශ්න ගැටලු හමුවේ ඉදිරියට යෑම බුදුදහමෙහි ‘සක්කෝ’ ගුණය ලෙස දක්වා ඇත. බැහැ නොකිය පුළුවන් කියන අධිෂ්ඨානය අප තුළ ඇති කර ගත යුතුව ඇත. ජීවිතයේ ඉහළටම ගිය සමහර ජීවිත දෙස බලන්න.

කම්කරු ජීවිත ගත කළ සමහර අය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උසස් ම චරිත බවට පත්වී ඇති අයුරු දැක ගන්නට පුළුවන. උනන්දුව හා අධිෂ්ඨානය තිබේ නම් ජය කණුව කරා ළං වීම අපහසු නොවනු ඇත.

තමන් කරන දේ අවංකව ඍජුව කරන්න. නිවැරැදි දේ, හරි දේ තෝරා බේරාගෙන කටයුතු කිරීම තුළින් ඔබට හැමදාම සතුටු විය හැකි ය. අයුක්ති ආසාධාරණ දේ සිදු කර පසුව එහි විපාක විඳින්නට සිදු වන්නේ ඔබටම ය. එහිදී ඒ අසාධාරණ දේ කිරීමට පෙළඹවූ අය ඔබ සමඟ නැත. මේ නිසා කරන සෑම දෙයකදී ම අවංකව කාර්යභාරය ඉටුකරන්නට උත්සාහ ගන්න.

සමාජය තුළ ජීවත් වීමේ දී අපගේ වරදක් අඩුපාඩුවක් පෙන්වා දුන් විට එය පිළිගැනීමට අප සූදානම් විය යුතු ය. නොමඟ යන දරුවන් දෙස බලා මවුපියන් මොන තරම් මානසික පීඩනයකට පත්වෙනවා ද? පේ‍්‍රම සම්බන්ධතා මත්වතුර, මත්කුඩු, ජංගම දුරකථන ෆේස්බුක් හරහා මොනතරම් ළමා ජීවිත ආගාධයට පත්ව තිබෙනවා ද? ගෙදර සාලය තිබෙන්නේ බාර් එකක් කර ගැනීමට නොවේ. මුළු පවුලම ආගාධයට ඇද දමන මත්පැනින් වැළකීමට වර්ෂය ආරම්භයේ දී ම අධිෂ්ඨානයක් ඇති කර ගන්න.

යම් කෙනකුට මෙලොවදී ලැබිය හැකි ඉහළම ධනය සතුටයි. තමන් කරන කාර්යය දෙස බලා සතුටු විය හැකි අයුරින් වගකීම් ඉටුකරන්න. ව්‍යාපාරිකයෙක් නම් තම ව්‍යාපාරය දෙස බලා සතුටු විය හැකි ය. රැකියාවක් කරන්නේ නම් තම රාජකාරිය දෙස බලා සතුටු විය හැකි අයුරින් කටයුතු කරන්න. යුතුකම් හා වගකීම් නිසි පරිදි ඉටුකිරීම තුළින් ලබන සතුට මුදලට ගත නොහැකි ය. අවංකත්වය පැත්තකට දමා අනියම් මඟින් ලබන සතුට ඉක්මනින්ම වේදනාවක් බවට පත්වනු ඒකාන්ත ය.

නූතන තාක්ෂණික ලෝකයේ ප්‍රචාරක මාධ්‍ය තුළින් පාරිභෝගිකයා දිනා ගැනීමට ගන්නා උත්සාහය හැම පැතිකඩකින් ම දැකගත හැකි ය. මේවා ලබා ගන්නට රැකියා දෙක තුනකවත් නියැළෙන්නට සිදුවෙයි.

මේ අතෘප්තිකර තත්ත්වය මිනිසා ආතතියට පත් කරයි. මේ ප්‍රචාරණවලට වහලකු නොවී අපගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේ පමණක් තෝරා බේරාගෙන කටයුතු කිරීමට අප සූදානම් විය යුතු ය.

සමහර අයගේ ජීවිතය කාර්යබහුල ය. තමන්ට කරන්නට බැරි මට්ටමට ව්‍යාපාර අරඹා ඇත. තමන් කරන කුමන හෝ කාර්යයක් ඇත්නම් එය අවුලක් නොවී පහසුවෙන් හොඳට කිරීමට හැකි විය යුතු ය. අපට කරන්නට පුළුවන් මට්ටමට දිගටම කරගෙන යා හැකි අයුරින්, උසුලා ගත හැකි අයුරින් අපගේ කාර්යභාරය සීමා කර ගත යුතු ය. මෙය ‘අප්පකිච්ච’ නමින් සඳහන් ය.

කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කළා නම් එහි සාර්ථක මට්ටමට පැමිණි පසු ඒ හා සම්බන්ධ අනික් කොටසට අත තැබිය යුතු ය. කොයි ක්‍රමයකින් හෝ කරන්න බැරි තරමට වැඩ ගොඩක් පටලවා ගැනීම සියල්ල ම අසාර්ථක තත්ත්වයට පත්කරයි.

කාර්ය බහුල ජීවන ගමන ආතතියට මඟකි. දවස පුරාම මැෂින් එකක් සේ වැඩ කළත් සතුටක් නැත්නම් එබඳු ජීවිතයක ඇති ඵලය කුමක් ද?

ශරීරයට අනවශ්‍ය ලෙස දුක් නොදී අනවශ්‍ය සුඛෝපභෝගී ජීවිතයකටත් පත්නොවී සැහැල්ලුවෙන් මධ්‍යම ප්‍රමාණයේ ජීවිතයක් ගත කරන ආකාරය ගැන සිතන්න. ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, යානවාහන අනවශ්‍ය මට්ටමින් පරිහරණය කිරීමට නොසිතා තමන්ගේත්, පවුලේත් අවශ්‍යතා ඉටුවන අයුරින් කටයුතු කරන්නේ නම් මොනතරම් සැනසිල්ලක් ද? ඔබේ නිවසට එන අමුත්තන්ට පෙන්වීම සඳහා වටිනා භාණ්ඩවලින් ගෙය අලංකාර කර තැබීම අවශ්‍ය දැයි බලන්න. බොහෝවිට ගෙදර අය ඒවා පරිහරණය කරන්නේ නැත. ඒවා වසා පැත්තකින් තබා ඇත. එකම අරමුණ අන් අයට ප්‍රදර්ශනයයි. ඔබේ ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන් අවබෝධයෙන් පරිහරණය කරන්න.


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]