[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කර්මය නම් කුමක්ද?

කර්මය නම් කුමක්ද?

අපේ ක්‍රියාවනට අනුකූලව ක්‍රියාත්මක වන, පුද්ගලයකුගේ බලපෑමක් නැති, ස්වභාවික න්‍යායක් ලෙස කර්මය හැඳින්විය හැකි ය. එය නීති දායකයකු නොමැතිව නීතියක් නොහොත් ධර්මතාවක් ලෙසින් පවතින්නකි. කර්මය ක්‍රියාත්මක වන්නේ එයට ම ආවේණික වූ ක්ෂේත්‍රයක ය.

බාලයකු සරල බසින් කර්මය කුමක්දැයි මෙසේ දක්වනු ඇත.

එනම්, හොඳක් කරන්න. ඒ හොඳ ඔබට දැන් හෝ පසුව හෝ ලැබේ.

නරකක් කරන්න. එම නරක දැන් හෝ පසුව හෝ ඔබට ලැබේ.

අස්වනු නෙළන බසින් දක්වතොත් කර්මය මෙසේ පැහැදිලි කළ හැකි ය. ඔබ හොඳ බීජ වැපුරුවොත් හොඳ අස්වැන්නක් ඔබට ලැබේ. නරක් වූ බීජ වැපුරුවොත් නරක අස්වැන්නක් නෙළා ගත හැකි ය.

විද්‍යානුකූල බසින් කර්මය යනු හේතු ප්‍රත්‍ය න්‍යාය ලෙස දැක්විය හැකි ය. සෑම හේතුවකටම ප්‍රතිඵලයක් ඇත.

ධම්මපදයේ කර්මය විස්තර වන්නේ මේ ආකාරයෙනි.

සියලු හොඳ හෝ නරක අවස්ථාවන්හි දී මනස පෙරටුව සිටියි. ඔබ අයහපත් හෝ යහපත් මනසකින් කථා කරයි ද, ක්‍රියා කරයි ද, එවිට අයහපත හෝ අයහපත ඔබ පසුපස එන්නේ රියෙහි බැඳි ගවයා ගේ පසුපස යන රිය සක ලෙස ය. නැතහොත් ඔබ අත හැර නො යන ඔබේ සෙවණැල්ල මෙනි.

කර්මය සරල වශයෙන් ක්‍රියාවකි. පණ ඇති ජීවියකු තුළ පවතින ශක්තිය නොහොත් බලය නොයෙක් නම්වලින් හැඳින්වෙයි. එනම් මූලික ආශා හෙවත් ලැදිකම්, විඥානය ආදී වශයෙනි. එවැනි සහජ ගති ලක්ෂණ සෑම ජීවියකු ම චලනය කරයි. ඒ ජීවියා මනෝගතව හෝ භෞතික වශයෙන් චලිත වේ. ඒ චලිතය ක්‍රියාව නම් වෙයි.

ක්‍රියාවන් නැවත නැවත සිදුවීමෙන් පුරුදු ඇති වෙයි. පුරුදු හැසිරීම් හෙවත් චර්යාව බිහි කරයි. බුදු සමයේ දී මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ කර්මය යන නමිනි.

අවසාන අරුතින් කර්මය යන්නෙන් අදහස් කරන්නේ හොඳ හෝ නරක මානසික ක්‍රියාවන් හෙවත් චේතනා ය. කර්මය චේතනාවකි’යි බුදුරජාණන් වහන්සේ දෙසූ සේක. මේ අනුව කර්මය ඒකකයක් නොවේ. ක්‍රියා පිළිවෙළකි. ක්‍රියාවකි, ශක්තියකි. බලවේගයකි. සමහරු මේ බලවේගය හඳුන්වන්නේ ක්‍රියාකාරී බලය යනුවෙනි. අප වෙත එන ප්‍රතික්‍රියාවන් අප කරන ක්‍රියා නිසා ඇතිවන ඒවා ය. මිනිසා ප්‍රත්‍යක්ෂණය කරන වේදනා හා සතුට ඔහුගේ ම ක්‍රියාවල ප්‍රතිඵලයකි. ඔහුගේ ම වචන හා සිතිවිලි ඔහු වෙත ම ප්‍රතිචාරය වීමකි. අපේ ක්‍රියා, වචන හා සිතිවිලි අපේ සමෘද්ධිය හා පරාජය, වාසනාව හා අවාසනාව නිෂ්පාදනය කෙරේ.

පොදු ස්වභාවික න්‍යායක් වන කර්මය ක්‍රියාත්මක වන්නේ අපේ ක්‍රියාකාරකම්වලට සම්පූර්ණ අනුකූලතාව අනුවයි. එය ඊට ම පොදු වූ නීතියක් මිස නීති දායකයකු නොමැත.

කර්මය ක්‍රියාත්මක වන්නේ එයට අයත් ක්ෂේත්‍රයේ ම ය. එයට බැහැරින් මැදිහත් වන ස්වාධීන පාලන නියෝජනයක් නොමැත. හොඳ හෝ නරක විපාක දෙන අධීක්ෂකයකු හෝ පරිපාලකයකු නොමැත්තේ ය. බෞද්ධයෝ කර්මානුකූල ප්‍රතිඵල අපේක්ෂාවෙන් ද දෙවියන් යැදීම කෙරෙහි විශ්වාසය නො තබති. බුදුරදුන්ගේ ධර්මයට අනුව කර්මය යනු වෙනත් කිසිදු පිළිසරණක් නොමැති බැවින් අපගේ ආයාචනය පරිදි කිසියම් අද්භූත බලවේගයන් විසින් අප වෙත පමුණුවනු ලැබූ බාහිර තීරකවාදී මායාවක් හෝ දෙවියන් විසින් මෙසේ වියයුතු යැයි කරනු ලැබූ නියමයක් ද නොවේ.

බෞද්ධයන් විශ්වාස කරන්නේ මිනිසා බිජුවට වැපිරු අයුරු අස්වනු නෙළා ගන්නා බවයි. අප සිටියේ කෙසේද? යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස අපි දැන් පෙනී සිටිමු. වෙනත් වචනවලින් කිවහොත් මිනිසා කෙසේ සිටියේ ද? ඒ අයුරින් දිගට ම නිරපේක්ෂ ලෙස පෙනී සිටින්නෙක් නොවේ. මෙයින් සරල ලෙස අදහස් කරන්නේ කර්මය කලින් තීරණය කරන ලද බලවේගයක් නොවන බවයි.

බුදුරදුන් පෙන්වා දුන් පරිදි සෑම දෙයක් ම වෙනස් විය යුතු ය. අපි අපේ අතීතයේ වහලුන් බවට නිකම්ම පත් වෙමු. අනික් අතට සෑම දෙයක් ම තීරණය කර නොමැති නම් ආදර්ශ වගා කිරීම හා ආධ්‍යාත්මික වර්ධනයක් නොමැත්තේ ය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බාහිර තීරක වාදය හෝ අතීරක වාදය නො පිළිගත් සේක.

කර්මය පිළිබඳ වැරැදි අර්ථකථනයන් හා අතාර්කික මත ගැන අංගුත්තර නිකායේ සඳහන් වේ. නුවණැත්තන් ඒ ගැන පරීක්ෂා කොට පහත සඳහන් මත අත්හැර දැමීම නුවණට හුරු ය. සියල්ල පූර්ව ජාතියේ කළ ක්‍රියාවන්ගේ ප්‍රතිඵල යැයි විශ්වාස කිරීම, උත්තරීතර පාලකයකු ගේ නිර්මාණයන්හි විපාක යැයි ඇදහීම හා සියල්ල පැන නඟිනුයේ හේතුවක් හෝ ඵලයක් නොමැතිව යන විශ්වාසය.

පුද්ගලයකු මිනීමරුවකු, හොරකු, ස්ත්‍රී දූෂකයකු වීමත්, ඔහුගේ ක්‍රියාවන් පූර්ව ක්‍රියාවන් නිසා ඇති වූවක් සේ ද,

උත්තරීතර පාලකයකු ගේ නිපදවීමක් හේතුකොට සිදුවන්නක් ද, ඒ ඒ අවස්ථාව අනුව නිකම් සිදුවූවක් ද වේ නම් ඒ පුද්ගලයාගේ අයහපත් ක්‍රියාවලට ඔහු වගකිව යුත්තකකු සේ සැලකිය නො හැකි ය.

කර්මය පිළිබඳ තවත් සදොස් අදහසක් මෙසේ දැක්වේ. කර්මය ක්‍රියාත්මක වන්නේ යම් පුද්ගලයකු විශ්වාස කරනු ලබන ඔහුගේ ඇදහිල්ල අනුව ය. මිනිසාගේ ඊළඟ ජීවිතය පිළිබඳ ඉරණම ඔහු තෝරාගත් විශේෂ ආගම මත යන්තමින් හෝ රඳා පවතී යැයි සිතිය නො හැකි ය. ඔහු අදහන ආගම කුමක් වුව ද මිනිසා ගේ ඉරණම මුළුමනින් ම රඳා පවත්නේ ඔහුගේ කයින්, වචනයෙන් සිතිවිල්ලෙන් කරන ක්‍රියාවන් මත ය. ඔහුට කවර අඩයාලමක් තිබුණ ද, යහපත් ක්‍රියාවන්ගෙන් පිරි නොකිලිටි ජීවිතයක් ගත කරයි නම්, ඊළඟ ජීවිතයේ හෝ වාසනාවත් ජීවිතයකට හිමිකම් ලබයි.

තම සිතෙහි දුෂ්ට සිතිවිලි රඳවා ගනිමින්, පාප ක්‍රියාවන්හි යෙදෙමින් ජීවත් වන මිනිසාගේ ඊළඟ ජීවිතය ද කාලකණ්ණි තත්ත්වයට පත්වේ.

බෞද්ධයෝ මරණින් පසු සුගතිගාමී වීමට වාසනාව ඇත්තේ තමනට පමණකැයි කිසිවිටෙකත් නො කියති. කවර ආගමක් ඇදහුව ද මිනිසා ගේ කර්මානුකූල සිතිවිලි ඔහුගේ ඉරණම තීරණය කරනු ඇත.

බුදුරජාණන් වහන්සේ කර්ම න්‍යාය දේශනා කළේ ධනවතුන් ආරක්ෂා කිරීමට හෝ දුප්පතුන් සැනසීමටවත්, ඊළඟ ජීවිතයේ දී උරුම වන වාසනා මහිමය පිළිබඳ මනෝදර්ශකයක් දැක්වීමටවත් නොවේ. බුදු සමයට අනුව කර්මය පැහැදිලි කරන්නේ මනුෂ්‍ය වර්ගයා අතර පවතින අසමානතාව යි. මේ විෂමතා ජන්මය, පරිසරය, ස්වභාවධර්මය මෙන් ම කර්මය හෙවත් අපේ ම ක්‍රියාවන් නිසා වූවකි.

ඇත්ත වශයෙන් අපේ ජීවිතයේ ජයග්‍රහණයට හෝ පරාජයට වගකිවයුතු සාධකයන්ගෙන් කර්මය ද එකකි. කර්මය අදිසි බලවේගයක් බැවින් එහි ක්‍රියාකාරිත්වය මසැසිත් දකිනු බැරි ය. කර්මය ක්‍රියාත්මක වන අයුරු අවබෝධ කර ගැනීමට නම් බිජුවටට හා සැසඳිය යුතු ය.

කර්මයේ ප්‍රතිඵල අපේ උප විඥානයේ හෙවත් භවාංග විත්තියෙහි තැන්පත් වී ඇත. ඒ කෙසේද යත්, කිසියම් වී ඇටයක් තුළ ඉන් හටගන්නා ශාඛයේ කඳ, අතු, කොළ, මල්, ගෙඩි ඇතුළත් වන්නා සේ ය. යෝග්‍ය තත්ත්වයන් තුළ කර්මය ද ඵල දරයි. එනම් තෙතමනය හා ආලෝකය සමඟ කුඩා බීජය පැළ වී දළු රිකිලි දමා කඳ කොළ අතු පතර සැදෙන්නා සේ ය.

කර්මයේ ක්‍රියාකාරීත්වය බැංකු ගිණුමක් හා සැසඳිය හැකි ය. මේ ජීවිතයේ දී සත්පුරුෂයා පින්වතෙකි. ත්‍යාගශීලියෙකි. ඒ තැනැත්තා ඔහු ගේ යහපත් කර්මයට තව තවත් එකතු කරයි. මෙසේ ලබාගත් යහපත් කර්මය හේතුකොටගෙන කරදර රහිත ජීවිතයක් කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.

නමුත් ඔහු ගත් දේ නැවත තැන්පත් නොකළහොත් ඔහුගේ ගිණුම හීන වී බංකොලොත් වේ. ඔහුගේ එවන් දුක්ඛිත තත්ත්වයට වරදකරු වන්නෝ කවුරු ද? දොස් පැවරිය හැක්කේ කාට ද? අනුන්ට හෝ තමාගේ ඉරණමට දොස් පැවරිය නොහැකි ය. ඔහුම එයට වගකිව යුතු ය.

මේ අනුව යහපත් බෞද්ධයකුට පලායන්නකු හෝ, ඇඟ බේරාගන්නකු හෝ නො විය හැකි ය. කර්මානුකූල බලවේගය අකර්මණ්‍ය වීමෙන් පාලනය කළ නොහැක්කේ ය. වීර්යවත් යහපත් ක්‍රියාකාරකම් කෙනකුගේ වාසනාව සඳහා නැතුව ම බැරි දෙයකි. පලායෑම දුර්වලයා ගේ සිරිතකි. එසේ පලායන්නහුට “කර්ම න්‍යායේ විපාකයන්ගෙන් ගැලවෙනු පිණිස සැඟවීමට තැනක් නැත්තේ ය.”

උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]