[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අව අටවක 2022-12-16

සිත හඳුනාගනිමු

සිත අපූර්වතම බලවේගයකි. ජීවිතයක් තීරණය වන්නේ ඒ බලවේගය ක්‍රියාත්මක වන ආකාරය අනුව ය. වෙනත් විදියකින් කියනවා නම් කෙනෙක් ජීවිතය ජය ගන්නේත්, පරාජයන් ලබන්නේත් සිතේ ක්‍රියාකාරිත්වයට අනුව ය.

සම්බුදු දහම අපට උගන්වන්නේ ජීවිතය පරාජය වීමට නොවේ. ජය ගැනීමට ය. එහෙදී ජය ලබනු පිණිස සිත හදා ගන්නා ආකාරය අපට පැහැදිලි කර දෙයි. එනම් අපවිත්‍ර නොකර, පිරිසුදු කර ගන්නා අයුරු උගන්වයි. එහෙත් බෞද්ධ යන නාමයට ගැනෙන බොහෝ දෙනෙක් එසේ සිත සාදා ගන්නා ආකාරයක් නම් නොපෙනේ.

දුක් පීඩා, මානසික කඩාවැටීම්, ගැටලු හා ප්‍රශ්න, වියවුල්, අඬදබර, කෝලාහල ආදි ලෙස පුද්ගල තත්ත්වයේ සිට අප ජීවත්වන පොදු සමාජය දක්වාත්, පරිසරය තුළත් ඇතිවන ගැටලු මිනිසා සිත සාදා නො ගැනීමේ ප්‍රතිඵල ය.

අප සෑම මොහොතකම උත්සාහ කළ යුතු දහම් දැනුම පොතට හෝ, දැනුමට හෝ, වචනයට හෝ සීමා කිරීමට නොවේ. ක්‍රියාවට නැඟීමට ය. ඒ ගැන අනුන්ට අවවාද අනුශාසනා දීම පමණක් ද ප්‍රමාණවත් නැත. එය තමන්ගෙන් ඇරඹිය යුත්තකි. එවිට තමන් අනුව යන දරුවන් ආදි තම සමීපතමයන් ද ඒ අනුව යනු ඇත. එවිට සමාජය හදන්නට අමුතුවෙන් මහන්සි විය යුතු ද නැත.

පරාජයන් ලැබෙන්නේ අපිරිසුදු සිත නිසා බව පෙර සඳහන් විය. සිත අපවිත්‍ර වන්නේ පාපකාරී සිතිවිලිවලින් හා කෙලෙස් සිතිවිලිවලිනි. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, අසීමිත තණ්හාව, ලෝභය ආදි සිතිවිලි පාපකාරි සිතිවිලිවලට අයත් ය. නිවැරැදි වන්නට ඒ හඳුනා ගැනීම අත්‍යවශ්‍යය.

බොහෝ දෙනෙක් තුළ අඩු වැඩි වශයෙන් පවතින වෛරී සිත ගැන බලමු. වෛරය විනාශකාරි වේ. තමන්ගේ ජීවිතය පමණක් නොව ඊට අදාළ කර ගන්නා අන් අයගේ ද ජීවිත වෛරී ගින්න නිසා දැවී හළු වන්නේ ය. එවන් තත්ත්වයක් තුළ පරාජය ම මිස දිනුමක් කෙසේ අපේක්ෂා කරන්න ද? එහෙයින් ඒ අපිරිසුදු සිතිවිල්ල ටිකෙන් ටික හෝ දුරු කරන්නට වෑයම් කළ යුතු ය.

වෛරී සහගත සිතිවිලිවල ඇරඹුම කිසියම් පුද්ගලයකු ගැන හෝ කිසියම් ක්‍රියාවක් ගැන හෝ සිතේ ඇතිවන විරුද්ධ ස්වභාවය යි. එසේ නැතිනම්, අපි‍්‍රය ස්වභාවයයි. එවැනි සිතිවිල්ලක සිට ක්‍රියාත්මක වන විට කිසිම දෙයක හරි වැරැද්ද පෙනෙන්නේ නැත. එය හරියට උණුකර නටවන ලද වතුර භාජනයක් තුළින් මුහුණ බැලුවහොත් එහි නියම තත්ත්වය දැකීම දුෂ්කර වන්නා සේ ය.

සිත ගැන හොඳ අවබෝධයකින් සිටිනවා නම් සිතේ වෙනස්කම් හඳුනා ගැනීම අපහසු නැත. තමන්ගේ සිතට අනුන් ගැන තරහක්, ද්වේෂයක් දැනෙන හැම මොහොතකම ඒ ගැන සැලකිලිමත් ව එය දුරු කර ගැනීමට තමන් ම සිතට බල කළ යුතු ය.

අපේ ශරීරය, එසේත් නැතිනම් වස්ත්‍රයක් අපිරිසුදු වූයේ නම් අපි වහා ම එය සෝදා පවිත්‍රකර ගනිමු. ඒ සඳහා භාවිත කරන්නේ පිරිසුදු ජලයයි. අපිරිසුදු සිත ද පිරිසුදු කළ යුතු ය. වෛරය නිසා සිත අපවිත්‍ර වූයේ නම් මෛත්‍රිය නමැති සිසිල් ජලයෙනි එය සෝදාහළ යුත්තේ.

ලෝකයට අවංකව ම මෙත් වැඩිය හැකි වන්නේ තමන්ට මෙත් වඩන පුද්ගලයාට ය. ඔහු කිසිදු සිතිවිල්ලකින් හෝ ක්‍රියාවකින් හෝ තමන්ට හානියක් කර ගන්නේ නැත. වෛරය ද එවැනි විනාශකාරි සිතිවිල්ලක් නිසා ඔහු එය දැනෙන සැණින් වහා සෝදා හරී. එවිට අපිරිසුදු සිත ක්‍රමයෙන් පිරිසුදු වී පරාජයන් වෙනුවට ජයග්‍රහණය කරා ඔහු ගෙන යයි.

අනෙකුත් කෙලෙස් සිතිවිලි ද මෙසේ ම දැනෙන මොහොතේ ම පිරිසුදු කර ගන්නට වෑයම් කළ යුතු ය. බෞද්ධයින් ලෙස අපට අපේ සිත ප්‍රභාෂ්වර කර ගත හැකි එවිට ය.

උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]