[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා 90 කොටස: යුද්ධ මණ්ඩල තීරණ ගැන ක්‍රිෂ්ණා කුමරියට සැකයක්

දුටුගැමුණු මහ රජතුමා 90 කොටස:

යුද්ධ මණ්ඩල තීරණ ගැන ක්‍රිෂ්ණා කුමරියට සැකයක්

ත්‍රිපිටක තිස්ස මහ තෙරුන් වහන්සේ සියල්ල බලා සිටියා මෙන් සත්‍ය ප්‍රකාශ කළ ආකාරය උපතිස්සගේ පුදුමයට හේතු විය. ඔහු නැඟිට ගොස් නැවතත් මාහිමිපාණන් වහන්සේගේ දෙපා නමැද බිම හිඳ ගත්තේ ය.

“මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සියලු සත්‍ය ප්‍රකාශ කළ හැටි පුදුමයි. බොහෝ කාලයක සිට කලකිරීම් මැද සිටි මට, අප සිටිය යුතු පිල ගැන නිතර පෙන්වා දුන්නේ එළාර රජ කුමරියයි.”

“හොඳයි, උපතිස්ස සෙනෙවිතුමනි, අද තොපගේ පලා ඒම සිදුවූයේ කුමන කරුණක් නිසාදැ”යි අපි මුලින් ම දැන ගන්නට කැමතියි.

“මහ තෙරුන් වහන්ස, විජිතපුර බලකොටුවේ සේනාංක භාරව සිටියේ මමයි. එහි සංවිධාන කටයුතු ගැන එළාර මහ රජතුමා බොහෝ පැහැදුණා. දීඝාභය මහ සෙනෙවිතුමා විජිතපුර බලකොටුවේ නායකත්වයට මා පත් කළේත් ඒ පැහැදීම නිසා යි.

“මේ අතර සිරිනාග නමින් සිටි උප සෙනෙවියෙක් මිත්‍ර මහ සෙනෙවිගේ උපාය මත චරපුරුෂයකු වශයෙන් මාගමට ගොස් දුටුගැමුණු රජතුමාගේ සේනාංකයට ඇතුළු වී රහස් ඔත්තු පරවියකු මඟින් එවන්නට පටන් ගත්තා. මේ නිසා එළාර රජු බොහෝ සතුටට පත්වුණා. ඔහු ආපසු ආවේ රහස් ඔත්තු ලබා ගැනීමට මාගම සෙනෙවිවරු හතර දෙනෙකුත් යොදාගෙන.

මිත්‍ර මහ සෙනෙවිගේ මරණයෙන් පසු මහ සෙනෙවි තනතුරට පත් මොහු මම මාගම රාජ්‍යයට ඔත්තු සපයන්නකු ලෙස පෙන්වා දෙන්නට නොයෙකුත් උපාය යෙදුවා. රජතුමා මේවා පිළිගත්තේ නැහැ. නමුත් දීඝජන්තු මහ සෙනෙවි පිළිගත්තා. එහි ප්‍රතිඵලය වුණේ තුණ්ඩිල නම් සෙනෙවියකු මහ සෙනෙවි තනතුරට උසස් කර විජිතපුර බලකොටුව ඔහුට භාර දීමයි.”

“මෙවැනි සිදුවීම් නිසා මගේ කලකිරීම තවත් වැඩිවුණා. මේ නිසා දීඝාභය මහ සෙනෙවිතුමාටවත් නොකියා හොර රහසේ ම ආවේ රට ජාතිය ආගම වෙනුවෙන් උපරිම සේවය කරන්නයි.”

“සිරිනාග, නුඹට මේ තරම්ම හතුරුකම් කළේ ඇයි? දෙදෙනා අතර විරසකකම් තිබුණාද”?

“නැහැ, මහා නාහිමියනි, ඔහුගේ දක්ෂකම් ගැන දීඝාභයගේත් මගේත් ලොකු පැහැදීමක් තිබුණා. දීඝජන්තු මහ සෙනෙවි ඔහුට විශේෂ වරප්‍රසාද ලබා දුන්නා. ප්‍රභූන් ඉදිරියේ අවස්ථා කිහිපයක දී ම රජතුමා ඔහුට සම්මාන පිරිනැමුවා. ඔහු ඒවාට කෑදරකමින් අපට අභූත චෝදනා එල්ල කරන්නට පටන් ගත්තා.”

“දැන් සිරිනාග අනුරාධපුරයේ නැද්ද?” “ඔහු ඉතා කපටි පුද්ගලයෙක් රජතුමනි, මහවැලි ගං තීරයේ සටන් ආරම්භ වෙන විටම ඔහු දීර්ඝ නිවාඩුවක් ගෙන සියලු වගකීම්වලින් පැන ගියා.”

එය ඇසූ සියල්ලෝම සිනහ නැඟූහ. සෑම දෙනාම සිනහ වෙන බව දුටු උපතිස්ස කෝපයට පත්විය.

“හොඳයි උපතිස්ස, සිරිනාග උත්සාහ කළේ තොප විජිතපුර බලකොටුවෙන් පන්නා දමා බලකොටුව තුළ අර්බුදයක් ඇති කරන්නට යැයි කීවොත් එය පිළිගන්නවාද?”

“ඔව්, දීඝාභය සෙනෙවිතුමා නැවතත් විජිතපුර බලකොටුවේ ප්‍රධානියා ලෙස පත් නොකොළොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවේවි.”

“දීඝාභය, අපට මෙහි ගෙන්වා ගන්නට බැරිද?”

“ බැහැැ, මහ නාහිමියනි, ඔහු ගැමුණු රජතුමා කෙරෙහි දැඩි විරුද්ධ ආකල්පයක් දරනවා.”

“අපි ඒ ගැන පසුව සාකච්ඡා කරමු. දැන් තොප දුටුගැමුණු රජතුමාගේ සේනාංකයට බැඳී රට, ජාතිය, ආගම බේරා ගැනීමේ සටනට අවංකම සහාය දෙන්නට කැමති ද?”

“එසේය, මහ නාහිමියනි, බොහෝ කාලයක සිට මගේ සිතේ පැවති ආශාවක්.”

“මහා ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලා ආපසු මාගම බලා වඩින්නට පෙර අපේ යුද මණ්ඩලය ඉදිරියේ උපතිස්ස මහ සෙනෙවියකු ලෙස පත්කර ඔහු අපට කළ සේවයට උපහාර දක්වන්නට කටයුතු කරන්න. ඒ සඳහා මෑණියන් වහන්සේගේ කැමැත්තත් ලැබේවි.”

“සියල්ල සිදුවන්නේ හොඳටයි. උපතිස්ස අපට ලබා දුන්නාක් මෙන් තව නොබෝ දිනකින් දීඝාභය ද අපේ කඳවුරට ගෙන්වා ගන්නට සිරිනාගට හැකි වේවි.”

මහාසිව මාහිමිපාණන් වහන්සේගේ ප්‍රකාශයෙන් උපතිස්ස පුදුමයට පත්විය.

“මහරජතුමනි, හෙට සවස් වරුවේ මහසෙනෙවි තනතුරු ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වෙනවා. එතෙක් උපතිස්ස සෙනෙවිට අප සමඟ රැඳී සිටීමට ඉඩ දෙන්න. අපට ඔහුගෙන් බොහෝ දේ දැනගන්නට හැකි වේවි. ඉදිරි සැලසුම් සකස් කිරීම සඳහා දාව ආචාර්යතුමාට ඒ කරුණු බොහෝ වැදගත් වේවි.”

පසුදා හිමිදිරියේ එළාර රජුගේ දියණිය, ක්‍රිෂ්ණා කුමරිය හමුවීමට තුණ්ඩිල පැමිණියේ ය. යුද කටයුතු ගැන සාකච්ඡා කිරීම ඔහුගේ අරමුණ විය.

“තුණ්ඩිල මේ රටේ මිනිස්සුන්ට යුද්ධයක් අවශ්‍ය නැහැ. ගොවිතැන් කටයුතු කරගෙන සාමයෙන් සහයෝගයෙන් ජීවත් වන්නට තිබෙනවා නම් ඒ ඇති. තමන් ළඟට එපා කාට වුණත් ඒ අය සුහදයි. උපකාර කරනවා.

තුණ්ඩිල, අපි ඒ සිංහලයන්ගේ සංස්කෘතිය විනාශ කරලා, ඉතිහාසය වෙනස් කරලා. මනුස්සකම නොසලකා හැරලා. හැදිච්චකම බාල්දුවට පත්කරලා. ඒ විතරක් නොවෙයි,

අපේ නායකයන් මේ රට සූරාගෙන කනවා. ගම්මාන කොල්ලකනවා. පන්සල් විනාශ කරනවා. රන්, රිදී, මුතු, මැණික් නැව් පිටින් තමන්ගේ රටට පටවනවා. මගේ පිය රජතුමා මිනිසුන් ජීවත් කරවන්න හදනවා. අනෙක් සියලු දෙනාම මිනිසුන්ට විපත් පමුණුවනවා.”

“යුද්ධය කියන්නේ සාමය නොවෙයි කුමරිය, යුද්ධයේ දී කරුණාවක්, දයාවක් නැහැ. අපි තුන් මාසයක් ඇතුළත දුටුගැමුණු රජතුමාගේ සේනාංක සියල්ල සමූල ඝාතනය කර අපේ රාජ්‍ය රැක ගන්නවා.”

“තුණ්ඩිල, මේ අපේ රාජ්‍යයක් නොවෙයි. මේක සිංහලයන්ගේ රජ රට. මෙය දුටුගැමුණු රජතුමාට පාරම්පරිකව අයිති රාජ්‍යය. ඔවුන්ගේ අයිතිය ලබා ගන්නයි ඒ අය එන්නේ.”

“ඒක කවදාවත් සිදුවන්නේ නැහැ කුමරිය. අපේ තිත්ථම්භ සෙනෙවියාගෙන් ඔවුන් දැනටමත් පාඩම් ඉගෙන ගෙන ඇති. දීඝජන්තු මහ සෙනෙවිතුමා අපේ විසි මහ යෝධයන් ඔවුන්ගේ සේනාංකත් සමඟ යැව්වේ ගැමුණු සේනාංක නවත්වන්නයි.”

“සිරිනාග මහ සෙනෙවිතුමා, හී පතකින් පියරජුට දන්වා එවා තිබුණේ දකුණු කඳවුර ඉවත් කරගෙන, ඇතුළත කඳවුරු ආරක්ෂා කරගන්න කියලා. කාගෙද ඔය මෝඩ තීරණය.”?

“යුද්ධ මණ්ඩලයේ”

“මහ රජතුමා, එය අනුමත කළා ද?”

නැහැ, එම යුද්ධ මණ්ඩල රැස්වීමට රජතුමා පැමිණියේ නැහැ. තීරණ ගන්නේ මහ සෙනෙවිතුමා විසිනුයි. විජිතපුර බලකොටුව මගේ අණසක යටතේ තිබිය යුතු බවත්, යුද්ධ මණ්ඩලය තීරණය කළා. විජිතපුර බලකොටුවේ මහ සෙන්පති මම.”

“එහෙමනම්, දීඝාභය මහ සෙනෙවිද?”

“ඔහු කාර්ය නියමයක් නැති මහ සෙනෙවි.”

“පියරජතුමා ඔය මෝඩ තීරණ ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ.”

“මහ රජතුමා යුද්ධ මණ්ඩල තීරණ වෙනස් කරන්නේ නැහැ.”

එළාර දියණියට ඇති වූයේ සැකයකි. පිය රජතුමාගේ අවසරයකින් තොරව මෙවැනි මෝඩ තීරණවලට එළැඹීමට මොවුන්ට බලයක් කොයින්ද?”

“තුණ්ඩිල, තොප තවමත් මහවැලි ගං තොටමුණු භාර මහ සෙනෙවි. එහි කටයුතුවලින් බැහැරව මෙහි කරන්නේ කුමක්ද?”

උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]