[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර භාෂා ඉගෙනීමෙන් බුදු දහම ලෝකයට දායාද කිරීමේ අවස්ථාව ලැබෙනවා

ජාත්‍යන්තර භාෂා ඉගෙනීමෙන් බුදු දහම ලෝකයට දායාද කිරීමේ අවස්ථාව ලැබෙනවා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශ්‍රී ලංකා අමරපුර කල්‍යාණවංශ පාර්ශ්වයේ කොරියාවේ ප්‍රධාන සංඝනායක හබරාදූව කොක්වත්ත ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති හිටපු පරිවේණාධිපති ශාසන කීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍ය අත්තරගොඩ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ශ්‍රී ලංකා අමරපුර කල්‍යාණවංශ පාර්ශ්වයේ කොරියාවේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවමින් කටයුතු කරන ඔබ වහන්සේ සසුන්බඹසර රැකීමට පෙළඹුණු මුල් අවධිය පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙනවා නම් නායක හාමුදුරුවනේ,

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයිති “අත්තරගොඩ” නමින් හඳුන්වන ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ඉතාම රමණීය ගැමි පරිසරයක තමයි මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේ. ඒ 1966 වර්ෂයේ ජූලි 11 වැනි දා. කළහේ ලොකුගේ නිකොළස් පියාණන් වගේම හිනිදුම ලියනගේ රූපාවතී මෑණියන් තුනුරුවන් කෙරෙහි බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කළ මව්පිය දෙපළක් නිසාම ඔවුන්ගේ ජීවිත තුළ තිබුණු ආදර්ශවත් බව මගේ ජීවිතයටත් ආශිර්වාදයක් වුණා. මගේ මෑණියන් මම පැවිදි වෙනවා දකින්න බොහොම කැමැත්තක් දැක්වූවා වගේ ම, පැවිදිවීමටත් උනන්දු කළා.

කළහේ ගැමුණු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගෙන, ගිංතොට මේධංකර මහා විද්‍යාලයෙන් ද්විතීක පාසල් අධ්‍යාපනය ලබමින් සිටි කාල පරිච්ඡේදයේ දී ම පැවිදිබිමට පත්වීමේ පුණ්‍යවන්ත අවස්ථාව උදාවුණා. ඒ අනුව ගාල්ල හබරාදූව කොක්වත්ත නිග්‍රෝධාරාමාධිපති අපවත්වී වදාළ පූජ්‍ය හරුමල්ගොඩ ධම්මානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ගාල්ල අත්තරගොඩ ශ්‍රී රත්නගිරි විහාරාධිපති විෂ වෛද්‍ය විශේෂඥ පූජ්‍ය ජුලම්පිටියේ ධම්මරක්ඛිත නායක හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදයෙන් අත්තරගොඩ පියනන්ද යන ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් ප්‍රව්‍රජ්‍යා භාවයට පත්වුණා. 1980 වර්ෂයේ දෙසැම්බර් 04 වැනි දා ගාල්ල අත්තරගොඩ ශ්‍රී රත්නගිරි විහාරස්ථානයේ දී ඒඋතුම් පැවිදි පුණ්‍යොත්සවය සිදුවුණ බවත් සිහිපත් කළ යුතුයි.

පැවිදිවීමෙන් අනතුරුව, ගෞරවනීය ගුරුදේවෝත්තම පාදයන් වහන්සේ යටතේ සාමණේර බණ දහම් වත් පිළිවෙත් හොඳින් ප්‍රගුණ කරගෙන උන්වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ මූලික ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණ ලබා ගැනීම සඳහා අහංගම ධර්මෝදය පිරිවෙනට ඇතුළත් වුණා. එහිදී වසර 5ක් හොඳ ධර්ම අධ්‍යාපනයක් ලබාගෙන පිරිවෙන් විභාග සමත් වීමත් සමඟ වැඩිදුර ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු වෙනුවෙන් කොළඹ ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වුණා. සසුන් කෙත ආලෝකවත් කළ එම දීප්තිමත් පරිවේණාස්ථානවල වැඩ සිටි ධර්ම විනයධර අග්‍රගණ්‍ය වියත් පඬිවරුන් යටතේ සාර්ථක ලෙස පිරිවෙන් විභාග සමත්වීමෙන් අනතුරුව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනට අනුබද්ධව පැවැති පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු නැණ පිරිවෙන් ගුරු පුහුණුව ලබා ගත්තා.

ඒ වගේම මගේ උපසම්පදා පුණ්‍ය කර්මය සිදුවුණේත් පිරිවෙන් අධ්‍යාපනය ලැබූ කාලවකවානුවේදී ම යි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ස්වනිකායික ගරුතර මහා සංඝරත්නය වෙතින් අධිශීල සංඛ්‍යාත උපසම්පදා පුණ්‍යෝත්සවය කළපළුවාව ගෝතම තපෝවන මූලස්ථානයේ දී සිදුවුණු බවත් උන්වහන්සේලා වෙත ගෞරවයෙන් කෘතවේදීව සිහිපත් කළ යුතුයි. ඒ වගේම කොළඹ දේශීය ආයුර්වේද වෛද්‍ය මූලස්ථානයෙන් දේශීය වෛද්‍ය උපාධිය ලබා ගැනීමටත් කටයුතු කළා. ගමේ විහාරස්ථානයේ වැඩ සිටි ලොකු හාමුදුරුවන් වහන්සේ පන්සල ආයුර්වේද මධ්‍යස්ථානයක් බවටත් පත් කරගෙන කටයුතු කළ නිසා ම, උන්වහන්සේගෙන් ලැබුණු ආභාසය ආයුර්වේදය ඉගෙන ගැනීමට පෙළඹවීමක් ඇති කළා.

ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගැනීමට පසුබිම සකස් වුණ ආකාරය පැහැදිලි කරමින්ම ඔබ වහන්සේ සිදුකළ ජාතික, ආගමික, ශාසනික, සමාජීය සේවය කෙටියෙන් සඳහන් කරන්න අපේ හාමුදුරුවනේ,

උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දකුණු කොරියාවට වැඩම කිරීමට සිදුවුණා. එහිදී Seoul National විශ්ව විද්‍යාලයෙන් වගේම (Seoul Konkuk) විශ්ව විද්‍යාලයෙන් කොරියන් භාෂාව හැදෑරීමට කටයුතු කළා. කොරියාවේ අති පෞරාණික විහාරස්ථානයක් වන කප්සා විහාරය, මාගොක්සා විහාරය යන ආයතන තුළින් මහායාන ධර්මය, වැඳුම් පිදුම් ක්‍රම, සංස්කෘතිය, භාවනා ක්‍රම අධ්‍යයනය කළා. ඒ වගේ ම වසර ගණනාවක් කොරියාවේ වැඩ සිටිමින් කොරියන් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ සමඟ ඉතා සමීපව කටයුතු කරගෙන ගියා.

කොරියන් ශ්‍රී ලංකා බෞද්ධ පදනම හරහා ශ්‍රී ලංකා බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දරුවන් වරින්වර කොරියාවට කැඳවාගෙන ශ්‍රී ලාංකික සංස්කෘතික අනන්‍යතාව, වටිනාකම්, හර පද්ධතීන් කොරියන් ජාතිකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. ශ්‍රී ලාංකික සංස්කෘතික වටිනාකම් පිළිබඳ ඔවුන් පුදුමයට පත් වුණා. ඒ වගේම ලංකාවේ ස්වාමීන් වහන්සේ වැඩමවා ගෙන වෙසක් පොහොය පින්කම්, කඨින පින්කම් පවා සිදුකරගෙන යාමට කටයුතු කළා.

2000 වර්ෂයේ සිට සෝල්චිල් බුල්සා විහාරයේ ශ්‍රී ලංකා විහාරාධිපති වශයෙන් ලංකාවත්, කොරියාවත් අතර සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට කටයුතු කළා. කොරියන් රජයේ සහයෝගය මත හැපි සොසයිටි පදනම ආරම්භ කරමින් ඒ හරහා කොරියන් වෛද්‍ය කණ්ඩායම් ලංකාවට කැඳවාගෙන ලංකාවේ බොහෝ ස්ථානවල වෛද්‍ය සායන පැවැත්වීමට කටයුතු කළා. තවදුරටත් ඒ ආකාරයට එම සායන පවත්වා ගෙන යනවා. විදේශීය සහයෝගය මත හබරාදූව කොක්වත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් සියලු විහාරාරාංගයන්ගෙන් පරිපූර්ණ දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කර තිබෙනවා.

ගාල්ල ශ්‍රී ඤාණරතන පිරිවෙනේ පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් එම පිරිවෙන ගාලු ප්‍රදේශයට පමණක් නොවෙයි, ලංකාව පුරා ප්‍රසිද්ධ පිරිවෙනක් බවට පරිවර්තනය කළා. අවිවේකී බව නිසාම වර්තමානය වන විට පිරිවෙනින් ඉවත්වෙලා විහාරස්ථානයේ කටයුතු සිදුකරගෙන යනවා. ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් 2010 වර්ෂයේ දී ශ්‍රී කල්‍යාණවංශ දහම් පාසල ආරම්භ කළා. සියලුම දහම් පාසල් දරුවන්ට අවශ්‍ය පොත් පත්, ඇඳුම් පැළඳුම් වාර්ෂිකව නොමිලේ ලබා දෙනවා. වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනැමීමත් සිදු කරනවා. දහම් පාසල් දරුවන් සියලු දෙනා වෙනුවෙන් දෛනිකව ආහාර වේලක් ලබාදෙමින්, ජාත්‍යන්තර සම්බන්ධතා හරහා සුචරිතවත් දරු පරපුරක් ප්‍රදේශයට දායාද කිරීමට කටයුතු කරගෙන යනවා.

බුදු සසුනේ දියුණුව වෙනුවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ශාසනය වෙත දායාද කිරීමට කටයුතු කර තිබෙනවා. මේ වන විටත් මිර්යන් නගරයේ සාජොන්වොන් විහාරස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වශයෙන් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකර ගෙන යනවා.

1994 වර්ෂයේ සිට කොරියාවට වැඩම කරමින් පවත්වා ගෙන ගිය ජාත්‍යන්තර සම්බන්ධතා පදනම් කරගෙන සිදුකළ ශාසනික සේවය සම්භාවනාවට පාත්‍ර කරමින් අරමපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජනීය දොඩම්පහළ චන්දසිරි නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව විසින් කොරියාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමට කටයුතු කළා.

අත්දැකීම් පිරිපුන් යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් හැදෙන වැඩෙන පුංචි හාමුදුරුවන් වහන්සේට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම සිදුවන්නේ කුමන ආකාරයෙන් ද නායක හාමුදුරුවනේ?

සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් වගේම ජාත්‍යන්තර භාෂා දැනුමත්, පරිගණක පුහුණුවත් ලබා ගැනීම වැදගත්. ජාත්‍යන්තර භාෂා ඉගෙග ගැනීමෙන් බුදුදහම ලෝකයට ම දායාද කිරීමේ අවස්ථාව ලැබෙනවා.

උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]