[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විරූපී රූපය ක්‍රෝධයේ විපාකයයි

විරූපී රූපය ක්‍රෝධයේ විපාකයයි

ඔබ අප ජීවත්වන මේ සමාජයේ කිසි විටෙකත් දෙදෙනෙක් එක හා සමාන නොවන බව විශ්වාසයයි. යම් පුද්ගලයකුගේ දේහ ලක්ෂණ සමාන වුව ද ලැබීම්, නොලැබීම් ආදිය අතින් එකිනෙකාට වෙනස් හේතුව කුමක්ද? යන්න පිළිබඳ සුභ මානවකගේ කතා වස්තුවෙන් පැහැදිලි කර ගනිමු.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින සමයේ සුබ නම් මානවකයෙක් විසී ය. ඔහු දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සතුටු සාමීචියේ යෙදුණේ ය. ඒ පිළිසඳර කතා අතරතුර සුබ මානවක “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුවන්නා වූ කරුණු මොනවාදැයි පැහැදිලි කර දේශනා කරන ලෙස ඉල්ලා සිටියේ ය.

මේ ලොවෙහි ආයුෂ අඩු මෙන්ම වැඩි අය වෙති. දුප්පතුන් මෙන්ම මහත් වස්තු සම්පත් ඇත්තෝ වෙති. පහත් කුල, උසස් කුල ඇත්තෝ මෙන්ම ප්‍රඥාවන්තයෝ වෙති. අඥානයෝ ද වෙති. ඒ වගේම බොහෝ ආබාධ, ලෙඩ රෝග ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇති මෙන්ම නැති අය ද වෙති. ඊට හේතු මොනවාදැයි දේශනා කරන ලෙස ඉල්ලා සිටියේ ය.

මේ ලෙසින් මෙලොව උපදින සත්ත්වයා යම් වූ ද උස් පහත් බවක් වේ නම්, එය කර්මයෙන් ම වන්නේ ය. කර්මයම සත්ත්වයන් උසස් පහත් බවට බෙදා වෙන් කරන්නේ යැයි වදාළ සේක. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි කර්මය අනුව සත්ත්වයා දහහතර ආකාරයක් වන බව පෙන්වා වදාළ සේක.

මෙලොව ජීවත්වන යම් වූ ද ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසියම් වූ අනුකම්පාවක්, දයා සිතක්, කරුණා ගුණයක් නැතිව ප්‍රාණඝාතය කරයි නම්, ඒ සිදු කරන්නා වූ අකුසල් කර්මයේ විපාකයෙන් මරණින් මතු අපායෙහි උපදියි. යම් වූ ද කර්ම ශක්තියක බල මහිමයෙන් මනුෂ්‍යාත්මභාවයක් ලබයි ද ඔහු හෝ ඇය අල්පායුෂ ඇත්තෙක් වන්නේ ය.

යමෙක් සියලු සත්ත්වයන් කෙරෙහි දයාව, කරුණා, මෛත්‍රිය පතුරවමින් ප්‍රාණඝාතයෙන් වළකින්නේ වේ ද, ඒ කුසල බල මහිමයෙන් මරණින් මතු දෙව්ලොව උපදියි. මරණින් මතු මනුෂ්‍යාත්ම භාවයක් ලබයි ද, දීර්ඝායුෂ ඇත්තේය.

ඒ වගේ ම යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින්, පයින් හෝ දඬු මුගුරුවලින් මෙන්ම ආයුධවලින් සත්ත්වයන්ට හිංසා කරයි ද? එම අකුසල කර්මයේ බලයෙන් අපායෙහි ඉපිද දුක් විඳියි. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයක් ලැබ යම් තැනක උප්පත්තිය ලබයි ද බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේ ය.

එලෙසම අතින්, පයින් හෝ ආයුධවලින් ද, දඬු මුගුරුවලින් සත්ත්වයන්ට හිංසා නො කරයි ද, ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපදියි. යමෙක් මනුෂ්‍යාත්මභාවයකට උපතක් ලබන්නේ ද නීරෝගී සම්පත් ඇතිව උප්පත්තිය ලබයි.

මෙලොව යමෙක් ක්‍රෝධ කරන්නේ ද, සිත් තැවුලෙන් පෙළෙන්නේ ද, සුළු වරදක් පෙන්වා දෙන විටක ක්‍රෝප ගෙන තරහ ගන්නේ ද, කෝපය, ද්වේශය නො සතුටු බව ප්‍රකාශ කරයි ද? ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේ ය. යම් ලෙසකින් මනුෂ්‍යයෙක්ව උපතක් ලබයි ද විරූපී සහ දුර්වර්ණ වූවෙක් වන්නේ ය.

මෙලොව යමෙක් ක්‍රෝධ නොකරන්නේ ද? සිත් තැවුලෙන් යුක්ත නොවේ ද? ඒ වගේම තමන්ගේ වරදක් පෙන්වා දුන් අවස්ථාවක දී නොකිපෙයි. කෝපය, ද්වේෂය, නොසතුටු බව ප්‍රකාශ නො කරයි ද, එම කුසල කර්මයේ ආනිශංසයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබයි. ඒ තැනැත්තා මනුෂ්‍යාත්මභාවයක් ලැබ නැවත ඉපදීමක් ලබන්නේ ද ඔහු හෝ ඇය පියකරු, රූප සම්පත්තියක් ලබන්නේ ය.

ඒ වගේම යමෙක් ඊර්ෂ්‍යා කරන්නෙක් වේ ද අන්‍යයන්ගේ ලාභ, සත්කාර, ගරු කිරීම්, වැඳීම් පිදීම් ආදියට ඊර්ෂ්‍යා කරයි ද ඒ අකුසල කර්මයේ ඵලයෙන් අපායෙහි උපතක් ලබයි. පෙර කල පුණ්‍ය කර්මයක් හේතුවෙන් මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ ද? ඔහු හෝ ඇයට අල්පේශාක්‍ය සහපිරිවර නැත්තෙක් වන්නේ ය.

ඒ වගේ ම යමෙක් ඊර්ෂ්‍යා නො කරන්නේ ද එසේම අන්‍යයන්ට ලැබෙන ලාභ සත්කාර, ගරු සත්කාර වැඳීම්, පිදීම් කෙරෙහි ඊර්ෂ්‍යා නොකරයි නම් ඒ කුසලයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබයි. ඔහු හෝ ඇය මනුෂ්‍යාත්මභාවයක් ලබත් ද මහේශාක්‍ය සහපිරිවර ඇත්තේ වන්නේ ය. ශ්‍රමණ, බ්‍රාහ්මණ ආදීන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ නොකරයි ද? මරණින් මතු දුගතියෙහි උපදියි. එවන් අය මනුෂ්‍යාත්මභාවයක ලැබුව ද ඉතා දිළිඳු සහ අල්පභෝග ඇත්තෙක් වන්නේය.

ශ්‍රමණ, බ්‍රාහ්මණාදීන්ට දස දාන වස්තුවෙන් දන් දෙන්නේ ද ඒ කුසල බලයෙන් මරණින් මතු දෙව්ලොව උපතක් ලබන්නේ ය. ඒ වගේම මනුෂ්‍යාත්මභාවයක් ලැබූ උප්පත්තියක් ලබයි ද මහා භෝග සම්පත් ඇත්තේ ද, ධනයෙන් යුක්ත වන්නේ ය.

යම් වූ ද සත්ත්වයෙක් දර දඬු සිත් ඇත්තේ වේ ද, අතිමානයෙන් යුතු වේ ද, වැඳිය යුතු මව්පිය, ගුරුවරු ආදීනට නො වඳී ද වැඩිහිටියන් දුටු විට හුනස්නෙන් නො නැගිටීමේ ද, ආසනයක් දිය යුත්තාට ආසනය නො දෙන්නේ ද, සත්කාර කළ යුත්තාට, ගරු කළ යුත්තාට සැලකිය යුත්තාට පිදිය යුත්තාට නොපුදයි ද ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපත ලබයි.

මනුෂ්‍යාත්මභාවයකට පැමිණියේ වුව ද නීච කුල ඇත්තකු ලෙස පහත් වූ කුලයක උපත ලබයි. යම් සත්ත්වයෙක් දරදඬු සිත් නැත්තේ වේ ද, මානයෙන් යුතු නොවේ ද, වැඳිය යුත්තා පිදිය යුත්තා පුදන්නේ ද, ගුරුවරුන් දුටු කල හුනස්නෙන් නැඟී සිටින්නේ ද, හිඳ ගැනීමට ආසනය පරිත්‍යාග කළ යුත්තාට පරිත්‍යාග කරයි ද? සත්කාර කළ යුත්තාට සත්කාර කරයි ද? සැලකිය යුත්තාට සලකයි ද ඒ කුසල බලයෙන් දෙව්ලොව උප්පත්තිය ලබයි. මනුෂ්‍යාත්මභාවයක් ලබයි ද ඔහු හෝ ඇය උසස් කුලයක උපදින්නේ ය.

යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සමීපයට පැමිණි කුසලය, අකුසලය කුමක් ද? නිවැරැදි දේ කුමක් ද? ඇසුරු කළ යුතු, නොකළ යුතු කවුරුන් ද බොහෝ කලක් හිත සුව පිණිස කළ යුතු දෑ මොනවාද? යනුවෙන් නොවිමසන්නේ ද? ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු දුගතියෙහි උපදියි. එසේම ඔහු හෝ ඇය මනුෂ්‍යාත්මභාවයක් ලබා යම් ස්ථානයක උපතක් ලබයි ද ඔහු හෝ ඇය අඥාන තැනැත්තෙක් වන්නේය.

ඒ වගේම යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇසුරට පැමිණ කුසල් අකුසල් ඇසුරු කළ යුතු නොකළ යුතු තැනැත්තන් කවුරුන්ද? වැරැද්ද නිවැරැද්ද කුමක්ද? තමා හට බොහෝ කලක් හිතසුව පිණිස කළ යුතු කුමක්ද? යනුවෙන් විමසන්නේ මේ ද හෙතෙම එම කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපදියි. හෙතෙම මනුෂ්‍යාත්මභාවයකට පැමිණේ ද ප්‍රඥාවන්තයෙක් වන්නේය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ආකාර වූ උතුම් ධර්ම කරුණු තේරුම් ගනිමු. එසේ තේරුම්ගෙන තම තමන්ගේ ජීවිතයට ඒවා එකතු කර ගනිමු. එසේ එකතු කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගැනීමට අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]