[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර පසළොස්වක 2022-12-07

පිරිසුදු සිත දෙලොවට ම සුව සදයි

පිරිසුදුකම පි‍්‍රයමනාප ය. අපිරිසුදුකම පිළිකුල් ය. එහෙත් ඒ වෙනස දැනෙන්නේ පිරිසුදු පුද්ගලයාට පමණය. අපිරිසුදු වූවනට එහි වගක් නැත. පරිහානිය ඇත්තේ ද එතැන ම ය.

අපිරිසුදු ගේ දොර එහි ජීවත්වන අයගේ චර්යාවේ කැඩපතකි. අපිරිසුදු ගත ඒ ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම්වල කැඩපතකි.

පෙනෙන නොපෙනෙන දේ තුළ සමාජය මේ දෙවගය මැන්න ද පුද්ගලයකුගේ සැබෑ පිරිසුදු බව එසේ මනින්නට නොහැකි ය. ඒ ආධ්‍යාත්මික පිරිසුදු බවයි.

ගත අපිරිසුදු කල එය තමනට සේ ම අනුන්ට ද දැනේ. එහෙත් අපිරිසුදු සිත තමන්ටවත්, අනුන්ටවත් පහසුවෙන් නොපෙනේ. එහි හානිකර තත්ත්වය එයයි. එහෙයින් සිත අපිරිසුදු වන ආකාරය ගැන දැඩි අවබෝධයෙන්, විමසිල්ලෙන් සිටිය යුතු ය. සිතේ අපිරිසුදුකම නිසා තමන්ට සේ ම අනුන්ට ද වන අනර්ථයන් වළක්වාගත හැකි එවිට ය.

සමාජය ගැන විමසන විට, ඇහෙන දකින බොහෝමයක් දේ තුළ අපට නිගමනය කළ හැකිවන්නේ අප අතර වැඩි පිරිසක් ගත පිරිසුදු කළ ද සිත පිවිතුරු නොකරන බව ය. සම්බුදු දහම අපට නිරතුරුව ම අනුශාසනා කරන්නේ නොකිළිටි සිතක් ගොඩනඟා ගන්නා ආකාරය පිළිබඳව ය. එහෙයින් බෞද්ධයකු ගේ සිත පරම පිවිතුරු වූවක් ම විය යුතු ය. ගැටලුව ඇත්තේ ද එහිම ය. එවැන්නක් දැකීම ඉතා අහම්බයක් වන බැවිනි.

වරදක් වූ තැන ඒ ගැනම සිතමින්, දැවෙමින්, තැවෙමින් කම්පා වනවාට වඩා, වරදෙහිම ගිලෙනවාට වඩා එයින් නිදහස්වීම වැදගත් ය. එවැනි පුද්ගලයා වළාකුළෙන් මිදුණු සඳ සේ බබළන බව ය, දහමේ විස්තර කෙරෙන්නේ. ඒ නිසා අප සිතට වැරදෙන හැම මොහොතක ම නිවැරැදි වන්නට පුළුවන. ඒත් එකම වරද නැවත නැවත නොකිරීමට ද වග බලාගත යුතු ම ය.

සිතින් වැරැදි වන්නේ සිත කිළිටි වූ විටය. සිත කිළිටි වන්නේ රාග, දෝෂ, මෝහ ආදි කෙලෙස් දුහුවලි හේතුකොට ගෙන ය. මෙසේ කෙලෙස් නිසා අපිරිසුදු වන සිතින් කරන කියන කටයුතුවලින් සුවයක්, සැනසීමක් නම් නොලැබේ. ඒවායෙහි අහිතකර පල තමන් පසුපස ම පැමිණේ. හරියට කරත්තය බැඳි ගොනාගේ පියවර අනුව කරත්ත රෝදය ගමන් කරන්නාක් මෙනි.

පභස්සර මිදං භික්ඛවේ චිත්තං තඤ්ච ඛො

ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්ඛිලිට්ටං”

සිතේ ස්වභාවය පිළිබඳ තථාගතයන් වහන්සේ විස්තර කළේ එසේ ය. ඒ අනුව මේ සිත ප්‍රභාෂ්වරය. එහෙත් පිටතින් ඇතුළුවන කෙලෙස් නිසා කිළිටි වන්නේ ය.

බිළිඳකු දුටු කල ඕනෑම කෙනකුගේ සිත ඒ දරුවා වෙත ඇදී යයි. ඒ බලපෑම ඇතිවන්නේ දරුවාගේ බාහිර ස්වරූපයෙනි. ළදරු සිත පැහැදිලි ය. පිරිසුදු ය. බැබළෙන සුළු ය.

ඒ නොකිළිටි සිතේ ආලෝකය සිරුර විනිවිද පිටතට එයි. දුටු මතින් අන්‍යයන්ට ආකර්ශනය වන්නේ එහෙයිනි. එහෙත් දිනෙන් දින වයසින් වර්ධනය වෙත් ම ඒ බිළිඳු සිතට තරහව එයි. ආශාවන් ඇතිවෙයි. එවිට ටිකෙන් ටික සිත අපිරිසුදු වෙයි. කරන කියන දෙයට එය ඍජුව ම බලපායි.

මේ බව හැම පුද්ගලයකු ම තේරුම් ගෙන ඒ කිළිටි ධර්ම මඟ හරින්නට, පාලනයකට නතු කරන්නට උත්සාහ ගත යුතු ය. වරදින්නේ එසේ පාලනයක් නොවන තැනදී ය.

කාමරාග, භව රාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, අවිජ්ජා ආදී සිතිවිලි ද පුද්ගලයා අපිරිසුදු කරයි. ඒ තුළින් මෙහෙයවන පුද්ගල ක්‍රියාකාරකම් ද අපිරිසුදු කරයි. ඒවායෙහි අවසන් ඵලය පව් රැස් කර ගැනීම යි. අකුසල් රැස් කර ගැනීම යි. එවැනි පුද්ගලයාට මේ ජීවිතයේ සැනසීමක් නැත. පරලොව ද එපරිදි ම ය. මේ සියලු අකුසලින් මිදෙන්නට නම් සිත, කය, වචනය සංවර කර ගත යුතු ම ය. ජීවිතය දැන යා යුතු ගමනකි.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]