[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මවුපියන් රකින දරුවන් දෙලොව ම ජයගනී

මවුපියන් රකින දරුවන් දෙලොව ම ජයගනී

මතා පිතූ උපට්ඨානං – පුත්තදාරස්ස සංගහො
අනාකුලාච කම්මන්තා – ඒතං මංගල මුත්තමං

මේ කාමාවචර ලෝකය සදහම් ජලයෙන් ආලෝකවත් කළ, සියලු සතුන්ට මවක් වූ පියෙක් වූ අප ශාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයා සාදා නිම කළ ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ එක් දවසක් මධ්‍යම රාත්‍රියේ මුළු ජේතවනාරාමය ම ආලෝකවත් කරමින් එක්තරා දේවතාවෙක් ඇවිදින්, මංගල කාරණා කුමක්ද යනු විමසා සිටියා.

ලොව්තුරා ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ මෙලොවටත්, පරලොවටත් අදාළ කාරණා තිස් අටක් දේශනා කොට වදාළා. ලෞකික දියුණුව සඳහා වන කරුණු 32 යි, ලෝකෝත්තර දියුණුව සඳහා වන කරුණු 06යි.

මහාමංගල සූත්‍රයෙන් ළමා කාලය ගත කරන ආකාරයත් තරුණ අවදිය ගත කරන ආකාරයත්, මහලු අවදිය ගත කරන ආකාරයත් අපට පැහැදිලි කරනවා. මවුපියන්ට සැලකීම උතුම් මංගල කරුණක්. අතීතයේ අප රටේ රජකම් කළ පළවෙනි අග්බෝ රජතුමා තම මෑණියන්ට පාන්දර අවදි වී සියතින් පැන් උණු කර තම මෑණියන් ඔසවා ගෙන ගොස් රජතුමා ම නහවා ඇඟ බෙහෙත් ගල්වා ආහාර පාන සියතින් කවා පොවා දෙවනුව තම මෑණියන්ගේ ඇඳුම් සෝදා වේළෙන්නට දමා පසුව තම රජ ඔටුන්න අම්මාගේ ඇඳුම් සේදු ජලයෙන් සෝදා එය පැළඳ ගෙන තමයි සිංහාසනාරූඬ වන්නේ. ඒ, මව මියයන තුරු සැමදාම කළ ක්‍රියාදාමයක්. "අම්මාගේ ආශිර්වාදය මට ඇති" රජතුමා ප්‍රකාශ කරන්නේ එයයි. එදා සැරියුත් මහරහතන් වහන්සේ තම මෑණියන්ව සම්‍යක් දෘෂ්ඨිගත උපාසිකාවක් බවට පත් කළා. හොඳ යහපත් දරුවන් තමන්ගේ මවුපියන්ට සැලකිය යුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී අපේ බුදුපියාණන් වහන්සේ ඉතාමත් හොඳට පැහැදිලි කර වදාළා.

පින්වතුනි, අප ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ එනුවර ඉතාමත් දුප්පත් පවුලක අම්මයි, තාත්තයි පුතයි ජීවත් වුණා. මේ තුන්දෙනා දවසක් ජේතවනාරාමයට ගියා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. එදා මේ තරුණයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් උපදවා ගත්තා. මේ බව දැනගත් මව්පියන් විවාහ යෝජනාවක් කථා කළා. එකහෙලාම එයට විරුද්ධ වුණා. පසුව මව්පිය කැමැත්ත අනුව පැවිදි වුණා. ටික කලකින් හදිසියේ පියා මිය පරලොව ගියා. ඇස් අන්ධ වූ, කන් ඇසීම අඩු වුණ මහලු මව මේ මහණ පුතා පිණ්ඩපාත කර පෝෂණය කළා. මෙය දුටු අන් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත කර පවුල් පිටින් පෝෂණය කරනවා කියලා මේ හාමුදුරුවන්ට දෝෂාරෝපණය කළා. මේ කතාව බුදුරජාණන් වහන්සේ ළඟටත් ගියා. බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂූන් දහම් සභා මණ්ඩපයට කැඳෙව්වා. අර භික්ෂූන් වහන්සේට ප්‍රකාශ කළා ඇත්ත සිද්ධිය හෙළි කරන්න කියලා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට තුන් පාරක් පසඟ පිහිටුවා වැඳ නමස්කාර කර දෑත නළල මත තබා වැඳගෙන භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්ස, මාගේ මව්පියන්ට දරුවකුට සිටින්නේ මා පමණයි. මා පැවිදි දිවියට ආපසුව මගේ පියා මිය පරලොව ගියා. මගේ මවගේ ඇස් අන්ධයි. කන් ඇහෙන්නේ නැහැ. දැන් හොඳටම දිරාපත් වෙලා මම පිණ්ඩපාත කර අම්මා පෝෂණය කරනවා. පැවිදි දිවියෙන් ඉවත්වීමට අකමැතියි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මුළු තුන් වතවක් සාධු කාර දෙමින් එම භික්ෂුවට ප්‍රශංසා කර වදාළා.

නොබෝ දිනකින් මව මිය ගියා. මේ භික්ෂූන් වහන්සේ කැලයට වැඩම කර තේජෝ කසිණ භාවනාව වැඩුවා. ගින්න අරමුණු කොට කරන භාවනාව තේජෝ කසිණ භාවනාවයි. මේ භික්ෂූන් වහන්සේ දැල්වෙන පහනේ ගින්න අරමුණු කර භාවනා කිරීමෙන් උතුම් රහත්භාවයට පත්වුණා.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]