[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැවෙන බව දැන දැන ම ගිනි ගොඩට පනිනවා ද?

දැවෙන බව දැන දැන ම ගිනි ගොඩට පනිනවා ද?

“සුපින්වත්නි”, අප බුදුරදුන් ජීවමානව වැඩසිටින සමයේ දෙව්රම් වෙහෙරට නොයෙක් දෙසින් මහා සංඝරත්නය නිතර වැඩම කරවති. එසේ වැඩමවන කීප නමකට එක් ගමක සැදැහැවත් පිරිසක් දන් පිළියෙළ කළහ.

එසේ දන් පිසින කාන්තාවක් මාළු බදින කල පියස්සට ගිනි ඇවිලී ගත්තේ ය. එයින් අහසට නැඟි ගිනි දැලක් වැදී කපුටෙක් දැවී බිමට වැටුණේ ය. මේ සිද්ධිය දුටු භික්ෂු පිරිස එම කපුටා පෙර කළ කර්මය බුදුරදුන්ගෙන් විමසා දැන ගැනීමට සිතූහ.

තවත් කීප නමක් නැව් නැඟ යන අතර නැව මුහුද මැද නැවතී සිටියේ ය. මෙහිදී බොහෝ දෙනා මේ නැවේ පිරිස අතර අභාග්‍ය පුද්ගලයෙක් ඇතැයි අවධාරණය කළහ. නැවියා එම අදහස අනුව පිරිස පරික්ෂා කරන්නට කුසපත් ඇද්දේ ය.

එම කුසපත හෙළුණේ නැවියාගේ බිරිඳටය. දෙවැනි තුන්වැනි වරද ඇයට ම හෙළුණේ ය. නැවියා පිරිසකගේ ජීවිත බේරා ගැනීම සඳහා තමාගේ රූමත් බිරිඳගේ ගෙල වැලි කළයක් බැඳ මුහුදට දැම්මේ ය.

භික්ෂූන් වහන්සේ මේ කාරණයට සම්බන්ධ ඇයගේ පෙර කළ කර්මය බුදුරදුන්ගෙන් දැන ගන්නට සිතූහ.

තවත් සත් නමක් මග ගල්ලෙනක ලැගුම් ගෙන රාත්‍රියෙහි සැතපුණහ. මැදියම් රාත්‍රියෙහි මහ ගලක් ගැලවී, පෙරළී ගල්ලෙන දොර වැසී ගියේ ය. අවට ජනයා එම ගල අයින් කරන්නට ඉමහත් වෙහෙසක් ගත් නමුත් නොහැකි විය. එම හත්නමට හත්දිනක් ගතවන තුරු කිසිම ආහාරයක්, පැන් ටිකක් ගැනීමට නොහැකිව කුසගින්නේ හිරවී ඉන්නට සිදුවිය. සත්වැනි දින ගල ඉබේම ඉවතට පෙරළිණ. එයින් සොම්නසට පත් සියලුදෙනා එම සඟුනට දන් පැන් පූජා කළහ. එම භික්ෂූන් වහන්සේ එවැනි ගැහැටක් විඳීමට පෙර කළ කර්මය බුදුරදුන්ගෙන් දැන ගැනීමට සිතූහ.

මෙම භික්ෂූන් වහන්සේ සියලු දෙනාම තමන් විසින් අතරමඟ දී දුටු සිද්ධීන් ප්‍රකාශ කොට එම කර්මවලට හේතු මොනවාදැයි බුදුරදුන්ගෙන් විමසූහ. අප බුදුරජාණන් වහන්සේ එකින් එක විස්තර කර පහදා දුන් සේක.

පෙර කලෙක සීසෑමේ යෙදී සිටි ගොවියෙක් අලසව සීසෑමට නොඑන හරකකු දැක කුපිතව හරකාට තළා පෙළා පිදුරුවලින් ගෙල ගිනිලා නැසීය. එම ගොවියා මරණින් මතු නිරයේ දුක්විඳ යළි කවුඩුව ඉපිද සියක් අත්බැව්හි ගින්නෙන් දැවී නැසුණ බව වදාළ සේක.

එමෙන්ම පෙර එක් ගෘහපතියෙක් සුනඛයෙක් ඇති කළේ ය. ඒ සුනඛයා ගෙදර හොඳින් ආරක්ෂා කරගෙන සිටින අතර, ගෙදර ගෘහපතියාට වඩා බිරිඳට ආදර කළේ ය. ඒ සුනඛයා මෙයට තෙවන ආත්ම භාවයක ඇගේ සැමියා ය. එමෙන්ම සුනඛයා ඈ පසුපස ම යනෙන බැවින් ඇයට බලුවැදි යැයි නමක් ආරෝපණය විය. මෙයට ලජ්ජාවට හා කෝපයට පත් ගෘහපතිනී, සුනඛයා ගෙල වැලි කළයක් බැඳී දියේ ගිල්වා මැරීය. එම පාප කර්මයේ විපාක වශයෙන් ගැහැණියක් ව ඉපිද ආත්මභාව සියයක් වැලි කළ ගෙලේ බැඳ මරණයට පත්වීයැයි වදාළ සේක.

තවද පෙර කලෙක ගොපලුවන් හත්දෙනෙක් වනයේ හරකුන් කවා ඇවිදින අතර තලගොයින් වසන තුඹසක් දැක නොයෙක් කොළ රොඩු දමා තදින් වසා පසුදා අවුත් කොළ රොඩු ඉවත් කිරීමේ අදහසින් ගියහ. එහෙත් එම ගොපල්ලන්ට එම වනයට පැමිණීමට සිදුවුයේ හත්වන දවසේ ය. එදින කොළරොඩු ඉවත් කළ විට ආහාර නැතිව, පීඩිතව එම සත්තු පිටතට ඇදී ගියහ. එම පාපයෙන් තුදුස් ආත්ම භාවයක ම කුසගින්නේ හත්දින බැගින් දුක්විඳීමට සිදුවු බව වදාරා මෙම ගාථාවෙන් එම අකුසල්වල ප්‍රතිවිපාක නිදර්ශන සහිතව පහදා දුන් සේක.

යම් තැනෙක සිට පව්කමේ විපාකයෙන් මිදිය හැක්කේ නම්, එසේ වූ තැනක් අහස් තලයේ හෝ මුහුද මැද හෝ පර්වත විවරයක හෝ නැත්තේ ය.

මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මහා සංඝරත්නය සෝවාන් ඵලයට පැමිණියහ.

මෙම ගාථා ධර්මය පිළිබඳ, පින් පව් කර්මය හා විපාක, එය ජීවලෝකයට සම්බන්ධවීම යන කරුණු දැන ගත යුතු වන්නේ ය.

මේ ලෝකය සකස් වී ඇත්තේ උපන් සත්වයාට භවයෙන් භවයට රැගෙන එන පින් පව් අනුව ජීවත් වීමට ය. එය නුවණින් වටහා නොගෙන ක්‍රියා කරන සත්වයා, විශේෂයෙන් මිනිසා පින් පව් පිළිබඳ තැකීමක් නැතිව අනික් තැනැත්තන්ගේ සම්පත් හා ජීවයන් විනාශ කරමින් ජීවත් වන්නේ ය. එහි විපාක කවදා හෝ කොතැනක දී හෝ එම පවේ ප්‍රමාණයට ම ප්‍රතිවිපාක ලබන්නේ ය.

වර්තමාන ලෝකයේ වැඩියෙන් අපරාධ සිදුවන්නේ පින් පව් පිළිබඳ තැකීමක් හෝ ප්‍රතිවිපාකයක් හෝ විශ්වාස නොකොට නිර්මාණවාදයට හා භෞතික සම්පත්වලට ගැතිවීම නිසා ය. කර්මය සත්වයාගේ පෞද්ගලික ක්‍රියාවක් මිස, පොදු වශයෙන් ආරෝපණය වන නිර්මාණවාදි ශක්තියක් නොවේ. එය උපකල්පනය කොට දේව නිර්මාණවාදය ආගමක් බවට පත්කර ගන්නා අයට පරිසරය හා සත්ව ජීවය පිළිබඳ ඇගයීමත්, මානසික බරත් අවශ්‍ය නැත. ඔවුනට සතකු මැරීම සෙසු දෛනික ජීවන කාර්යයන් මෙන් සාමාන්‍ය සිද්ධියකි. මෙම පාප සංකල්පය තියුණු ලෙස ප්‍රසාරණය වන විට ඉමහත් වේදනාවක් දැනෙන අතර, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් යටපත්වී ලෝභාදි අකුසල චේතනාවන් සිත් සතන් තුළ තහවුරු වන්නේ ය.

භෞතික ලෝකය පවතින්නේ තාවකාලිකව පවත්නා සංකල්ප මත ය. එහෙත් එම සංකල්ප ඉතා කෙටිකලකින් වෙනස්වන බව යෝනිසෝ මනසිකාරයෙන් ආවර්ජනය කිරීමට බාධාවන්නේ නිර්මාණ වාදයෙන් මං මුළාවීම නිසා ය.

අවිද්‍යා දී මානසික දුර්වලතා නිසා වර්තමාන ලෝකයේ බොහෝ මිනිස්සුන් නිර්මාණවාදය නමැති බර උසුලාගෙන යති. එකිනෙකා කෙරෙහි වෛරයෙන්, සාංකාවෙන්, තෙරපෙන්නේ නැතිව කර්මඵල විශ්වාසය තම තමන්ගේ ජීවන ප්‍රත්‍යක්ෂයෙන් පින්පල අදහා ක්‍රියා කරන්නට කටයුතු කළ යුතුය.

දෙලොව ශාන්තිය උදාකර ගන්නට මෙම පින්බර ඉල් පුන් පෝදින අදිටන් කර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]