[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙස් විදෙස් සංචාරකයන්ගේ මන බැඳි ඇඹිලිපිටිය චන්ද්‍රිකා දේවාල විහාරස්ථානය

දෙස් විදෙස් සංචාරකයන්ගේ මන බැඳි ඇඹිලිපිටිය චන්ද්‍රිකා දේවාල විහාරස්ථානය


විහාරාධිපති ඉත්තදෙමලියේ ධම්මසිරි නාහිමි

රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඉදිවූ ප්‍රථම මහා වාරි ජලාශය වන ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් රාජිණියගේ සිරස බඳු වූ වැව් බැම්ම ආරම්භයේ ඇති මනරම් කඳු පියස මත මේ දේවාල පුදබිම පිහිටා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිට නෝනාගම මාර්ගයේ රත්නපුර දෙසට එන විට තුංකම නගරය පසුකළ විට හමුවන්නේ චන්ද්‍රිකා මහා ජලාශයයි. ප්‍රධාන මාර්ගයේ කිරලවැල්කටුව මහබෝ තුංමංසලින් වැව් බැම්ම මතට පැමිණ ඉහත පුදබිමට ළඟා විය හැකි ය. 1957දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් චන්ද්‍රිකා වැව ජලාශය ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලද්දේ මෙම උස් වූ කඳු මුදුන මත කතරගම දෙවියන්ගේ දේවාලයක් බඳින බවට කතරගම ගොස් දෙවියන්ට භාරයක් වීමෙනි. මෙහි චන්ද්‍රිකා ජලාශ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු එම ස්ථානයේ කුඩා දේවාලයක් ඉදිකොට භාරහාර ඔප්පු කිරීමට පියවර ගෙන ඇත. හැටේ දශකයේ මුල් භාගයේ දී එම ස්ථානයේ කුඩා බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර ප්‍රදේශයේ සිටි ජනතාව ආගමික කටයුතු ඉටු කර ඇත.

1965 වසරේ වන මැද පිහිටි මෙම ස්ථානය සොයා පැමිණි හොරවින්නේ බෝධිසීන හිමියෝ මැලේරියා වසංගතය හමුවේ ආහාර, ජලය, වැඩ සිටීමට හරි හැටි කුටියක්වත් නොමැතිව දැඩි දුෂ්කර දිවියක් ගතකර පසුව මෙම ස්ථානයෙන් බැහැරට ගොස් ඇත. අනතුරුව වත්මන් විහාරාධිපති ඉත්තදෙමලියේ ධම්මසිරි හිමියෝ එහි එවකට හේන්පිටි ගොවිතැන් කරමින් සිටි පිරිසකගේ ආධාර උපකාර මත වඳින පුදන, භාරහාර වන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීමට කටයුතු ආරම්භ කර වත්මන් තත්ත්වය දක්වා ගෙන ඒමට සමත්ව ඇත.

විහාර මන්දිරයේ දේවාල පද්ධතිය, දෙමහල් ධර්ම ශාලාව, දෙමහල් දාන ශාලාව, බෝධි ප්‍රාකාරය, චෛත්‍යය, භික්ෂු නේවාසිකාගාර සහිත සංඝාවාසය ආදිය ද මේ වන විට අලංකාර ලෙස ඉදි කොට ඇත. අඩුපාඩුවක්ව පැවති අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේට සමාන ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විශාල මුදලක් වැය කරමින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පරිත්‍යාග කළ අතර, මල් ආසනයේ කටයුතු අසංක චමින්ද මහතා විසින් සිදු කර ඇත.

ඇඹිලිපිටිය පසුකර යන දෙස් විදෙස් සංචාරක පිරිස් රමණීය කඳු මුදුන මත පිහිටි මෙම චන්ද්‍රිකා දේවාල පුදබිම දැක වැඳ පුදා ගැනීමට අමතක කර නොමැත. රත්නපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි සිද්ධස්ථාන අතර වලව කලාපයේ ජලාශයක් ආශි‍්‍රත ඇති ජන ආකර්ෂණීය පුදබිමක් ලෙස ඇඹිලිපිටිය චන්ද්‍රිකා දේවාල පුදබිම නිර්මාණය කිරීම මෙන්ම ජනතාවගේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට අඩසියවසකට එහා ගිය කාලයක සිට සුවිශාල මෙහෙවරක් කළ වත්මන් විහාරාධිපතින් වහන්සේ වන ඉත්තදෙමලියේ ධම්මසිරි නාහිමියන් හට සද්ධර්ම කීර්ති ශී‍්‍ර සෝනුත්තර යන ගෞරව නාම සම්මුතිය සහිත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොලොන්න කෝරලයේ ප්‍රධාන සංඝ නායක පදවිය ද පිරිනමන ලදී. ඉකුත් දින පැවති එම උත්සවයේ දී බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසින් අක්තපත්‍රය පිළිගන්වන ලදී.

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]