[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

උඳුවප් මහේ

උඳුවප් මහේ පසළොස්වක පොහොය සමේ
සිරිපා සමය එළැඹේ බැති සිරස නැමේ
සුමන සමන් දෙවිඳුන් වැඩවසන හිමේ
අරුණා ලෝකයේ බැතිමල් සුවඳ හැමේ

බුදුහිමි වැඩම කොට වම් සිරිපා පියුම
සටහන් කළහ නිල් මැණිකක තිර ලෙස ම
එ දවස පටන් තිලොව. අසදිස කුසුම
නමදින්නට ලැබුණි තුන් සිංහලයට ම

****

අපගේ පිනට

සඟමිත් උත්තමාවිය සිංහලය වෙත
වැඩමෙව් මහා කප් රුක සලසවන සෙත
බොදු ජනතාව උතුරන තුටු කඳුළු නෙත
ජයසිරි බෝ සමිඳු රැකුමට කෙනෙකු ඇත

රජරට නොවේ තුන් හෙළයට යතිවරය
දිවමන් බුදුරදුන් රැකුමට ඇත වරය
අපගේ පිනට උත්තම නාහිමි වරය
ඉර හඳ ලෙස දිලේවා අනුරාපුරය

****

නිවන් දකින්නට

මගේ කය බුදුන් ඉදිරියේ සංවර වන්නේ
දෙදණ දෙවැලමිට නළල බිම තබන්නේ
පසඟ පිහිටා සම්බුදුන් වඳින්නේ
සාධු.... සාධු සිතට සැනසීම දැනෙන්නේ

මට ම මම ගැන මගේ කය ගැන කළකිරෙන්නේ
කුණප කොටස් තිස් දෙක ගැන පැවසෙන්නේ
නිතර දොරවල් නවයකින් කුණප ගලන්නේ
සසර දුකකි දැන්නම් මා හට වැටහෙන්නේ

සම්බුදු ගුණයෙන් සම්බුදු සරණින්
සම්බුදු දහමින් සසර දකින්නේ
අනියත බව එහිදිම වැටහෙන්නේ
දහම් අසා නිවන් අවබෝධයට පැමිණෙන්නේ

****

සැනසීම

දස මසක් කුසේ සිට
මෙලොව දුටු දිනයෙ හිඳ
විඩාබර ජීවිතය
ඇරඹුවේ සැම දෙනම...

ගන්න හුස්මක් ගානේ
වෙහෙස වෙන ජීවිතය
අවසනක් කෙදින වෙද
මේ මහන්සිය හරින

උමතුවෙන් වගෙ සැවොම
මොනවාද සොයනවා
අහිමි වූ කල නිතර
දෙස් දෙවොල් තියනවා

නේක දේ හඹා ගිය
ජීවිතේ මහන්සියි
තව නොයෙක් දේ ඇතත්
සිත වෙහෙස බව කියයි.....

ගව් ගණන් දිව ගියත්
හමුවූයේ මිරිඟුවද
දුවන මේ ජීවිතේ
කතිකාව කුමක් වෙද?

අවසන
නිවන වේ
සැනසීම....

****

බුදු ගුණ සිහිවුණා

නිනව්වක් නොමැත මා හට කළ යුත්තක්
ඇසිල්ලක් පවා නෙත සිත පිනවිල්ලක්
නිමාවක් වෙතොත් දිවියට දෙයි අරුතක්
බවුන් වඩන්නට වෙහෙසෙමි සැනසිල්ලක්

බෝපත් සිසිල හමනාවිට උඩමළුවේ
චන්දන සුවඳ දැනුණා මට සඳඑළියේ
පුන්සඳ නැඟෙනවිට ඉහළින් රන්වැලියේ
බුදුගුණ සිහිවුණා නිතැතින් හද ගැඹුරේ

****

සිරසා නමාමි

පුරා පාරමී දම්
වෙහෙස වී අප නිසා
බුදු බව ලබා ගත්
දුක සේ ම සැපයෙ දී
පැසසුමත් ගැරහුමත්
ඉදිරියේ නොසැලී
දුප්පතා පොහොසතා
කුලීන කුලහීනයා
සැම දෙනා එකලෙසා
සිතා දම් රසය පෙව්
ඒ ගෞතම බුදුරදුන් වෙත
නැමේ හිස සැදැහෙන්

****

පෝදා අසිරිය

දින හතකින් සාගර තරණය පසුවන්නයි
සඟමිත් තෙරණිය පිරිවර සමඟ වඩින්නයි
පියතිස් නිරිඳුන් දඹකොළ පටුනට යන්නයි
සාධු සාධු ජය ශ්‍රී මහ බෝ පිළිගන්නයි

සඟමිත් තෙරණිය එකොළොස් කැටුව පිරිවරින්
වැඩමකරයි අනුරපුරයට පෙරහරකින්
රෝපණයයි මහමෙව්නාවේ බෝ සමිඳුන්
සාධු සාධු අපි නමදිමු මහ බෝ සමිඳුන්

ලාංකීය ඉතිහාසය බැබළෙන යුගයයි
සඟමිත් තෙරණිය ගෙනදුන් දහම් උදානයි
මෙහෙණි සසුන පිහිට වූ ඒ උදාර දිනයයි
සාධු සාධු ලක බැබළෙන උඳුවප් පොහොයයි

****

කාටත් හිමි දෙය

පිදිය යුතු අය බසයට නඟින විට සිතේ තරහක් ඇති කරන්න එපා
ආබාධිත අය නගින විට අසුන දෙන්නේ කවුදැයි බලනු එපා
ගැබිනි මව්වරු දකින විට බොරු නින්දකට යනු එපා
මිනිසුනේ කරගන්න නිති පින් කම්මැලි වෙන්න එපා

අසුනක් පිදුවොත් පින් සිදු වෙනවා
පින් කර ගැනුමට ඇයි අකැමැති වනවා
මරණය අප කාටත් හිමි වනවා
එය දැන දන් පින් කළ යුතු වනවා

****

බියකරු බව දැක

බවයෙන් බවේ ඉපැදී මියැදී
යනෙනා සංසාර ගමනේ
උපත ලබා ඔබ මිනිසත් බවයේ
බුදුන් වැඩිය පින්කෙත හෙළ රන් දෙරණේ

සංසාරේ ඇති බියකරු බව දැක
පින් දම් කුසල් රැස් කර
මිනිසත් ලොව ජයගෙන
බව දුක දුරු කර නිවනට යන්න උතුම්

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]